“ කතා කිරීම රිදී මෙන් ය. නිහඬව සිටීම රන් මෙන් ය ” (632)

post-title

මිනිස් ජීවිතයක් ලැබීම ඉතාම සුන්දර ය. එහෙත්, එය එසේ සිතුවත් මේ ලද මිනිස් ජීවිතය, ගෙවී යන සෑම දිනයක් තුළ ම, සෑම තත්පරයක් තුළ ම කිසියම් හෝ වෙනස් වීමකට ලක් වීමට පුළුවනි. ඒ, ජීවිතය යන්න මේ මිහිපිට කිසිවෙකුටත් එය තමාට අවශ්‍ය පරිදි හැසිරවීමට නොහැකි වන නිසාවෙනි. විටෙක සෝමනස්සයන්ගෙන් ද, විටෙක දෝමනස්සයන්ගෙන් ද, විවිධාකාර වූ ගැටලුවලින් ද ගහණ වූ මේ ජීවිත යාත්‍රාව ඔබ එගොඩට රැගෙන යා යුත්තේ මැදිහත් සිතින් යුතුවම ය.

එසේ මිනිස් ජීවිතයේ ඇතිවන බොහෝ ගැටලුවලට පිළිතුර වන්නේ සිනහව සහ නිහඬතාවය යි. සිනහවකින් ප්‍රශ්න විසඳීමට හැකිවන අතර නිහඬතාවයට බොහෝ ප්‍රශ්න මඟ හැරිය හැකිය. “ කතා කිරීම රිදී මෙන් ය. නිහඬව සිටීම රන් මෙන් ය ” යනුවෙන් චීනය, ජපානය වැනි රටවල ප්‍රසිද්ධ කියමනක් ද පවතී. ඒ තුළින් ද නිහඬතාවය තුළ පවතින වැදගත්කම පිළිබඳ ව මනාව ගම්‍ය වනු ඇත. අන් අයට ගෞරවය පෙන්වීමක් වශයෙන් ද, බුද්ධිමත්ව හා අවබෝධයෙන් ක්‍රියා කරන්නෙකුගේ ලක්ෂණයක් වශයෙන් ද, ගැඹුරින් කල්පනා කිරීම සඳහා උපකාරයක් වශයෙන් ද නිහඬතාවය වැදගත් වේ. ඇතැම් විටෙක කිසියම් වූ පුද්ගලයෙකු නිහඬ වනවා නම් ඒ තුළ කිසියම් හෝ කතාවක් සැඟවී තිබෙන්නට ද පුළුවනි. 

වර්තමාන සමාජ සංස්ථාව තුළ කෙතරම් යහපත් දේ සිදු කළ ත් එයට එල්ල වන දෝෂාරෝපණවල නම් අඩුවක් නොවේ. අයහපත් දේ සිදුකරන පුද්ගලයාට වඩා බොහෝ විට දෝෂාරෝපණයට ලක් වනුයේ යහපත් දේ සිදුකරන පුද්ගලයා ය. එය අද වන විට සෑම සමාජ සංදර්භයක් තුළ ම පවතින්නා වූ ක්‍රමවේදයකි. එසේ වුවත් තමා නොකළ වැරැද්දක් භාර ගැනීමට තරම් ඔබ අනුවණ නොවිය යුතුය. තමන් කෙතරම් නිවැරදි ද, අවංක ද යන්න කෙනෙකු නොපිළිගන්නේ නම් හෝ ඔබව අවිශ්වාස කරනවා නම් ඒ සඳහා කළ යුතු සුදුසු ම දේ වනුයේ තවදුරටත් තමා නිවැරදි බව ඔප්පු කිරීමට නොගොස් නිහඬ වීමයි. එසේ වුවත් නිහඬතාවය තුළ නිවැරදි නොවන බව යැයි ද ඇතැම් විටෙක කෙනෙකුට සිතෙන්නට පුළුවනි. නමුත් නිහඬ පුද්ගලයා යනු ම ඉවසීම ප්‍රගුණ කළ අයෙකි. ඉවසා බැරිම අවස්ථාවක දී වුවත් නැවතත් ඉවසීමට ඔහු අමතක නොකරයි. කෙසේ වෙතත් ඒ සියල්ලෙහි ම සීමාවන් අභිබවා ගිය කල්හි පෙර නිහඬතාවය තුළ පැවති සංසුන් බව කිසිවිටෙකත් ඔහු තුළ දකින්නට නොලැබේ. එහිදී ඔහු තුළ පවතිනුයේ කේන්තියක් සමඟ දුක්මුසු ස්වභාවයකි.

මෙකී නිහඬතාවයෙහි පවතින සැනසීම අත්විඳිනුයේ නිහඬ ව ජීවත් වන මිනිසුන් ම පමණකි. එසේ අද නිහඬ ව සිටින සෑම මනුෂ්‍යයෙකු ම අතීතයේ දී තම ප්‍රශ්න, ගැටලු අභිමුව කෑ ගසා හඬා වැළපුණු මිනිසුන් විය හැකිය. නමුත් අද වන විට ඔවුන් තේරුම් ගෙන ඇති සත්‍ය වනුයේ එසේ හඬා වැළපුණ ද කිසිදා විසඳුමක් නොලැබුණ ප්‍රශ්න නිහඬතාවය විසින් ම සදහටම තුරන් කළ බවයි. එහෙයින් වැදගත් වනුයේ තමන් තමන්ගේ සිතට එකඟව ජීවත්වෙමින් නිහඬතාවයෙන් යුතුව දරා ගැනීම යි.

සත්‍ය වශයෙන් මෙම නිහඬ බවෙහි ප්‍රයෝජන නම් අපමණ ය. එසේ නිහඬව සිටින අවස්ථාවන්වලදී ඔබට ඔබ ගැන ම හොඳින් සිතා බැලීමට අවස්ථාවක් ලබාදෙනු ඇත. ඒ තුළින් වඩාත් යහපත් පුද්ගලයන් වීමට ද හැකියාව ලැබෙනු ඇත. නිහඬව සිටීමෙන් මනසෙහි සාමය වැඩිකර ගත හැකි අතර නිස්කලංක අවස්ථාවලදී ගැඹුරින් කල්පනා කිරීමට ද ඒ තුළින් අවස්ථාව ලැබෙන අතර විනීතකම සහ යටහත්පහත්කම වර්ධනය කර ගනිමින් ජීවිතයේ වඩාත් ම වැදගත් දේවල් මොනවාද යන්න පිළිබඳ ව හොඳින් අවබෝධ කර ගැනීමට ත් එමඟින් හැකියාව ලැබෙනු ඇත. මෙසේ නිහඬව සිටීම ප්‍රයෝජනවත් දෙයක් වන අතර ම පෙර කී පරිදි අවශ්‍ය අවස්ථාවේ දී කතා කිරීමට ත් කාලයක් තිබෙන බව ද ඔබ අමතක නොකළ යුතුය.

නමුත් වර්තමානයේ පවතින ලෝක ස්වභාවය නම් සත්‍ය පවසන පුද්ගලයා යටපත් කරමින් අසත්‍ය පවසන පුද්ගලයා අසත්‍ය ම ආයුධයක් කර ගනිමින් අසත්‍යයෙන් ම ජීවත්වීම යි. එසේ වුවත් ලෝක යථාර්ථය එය නොවේ. කිසියම් හෝ දිනෙක සත්‍යගරුක පුද්ගලයා ලෝකය ජය ගනු ඇත. එසේම අසත්‍ය හෝ බොරුවෙන් ම ජීවත් වන පුද්ගලයා ඉතා ඉක්මනින් ම අසත්‍ය නැමැති වේදනාවෙන් ම බැස යනු ඇත. ඒ නිසාවෙන් සත්‍යයට මුහුණ දෙමින්, හැකි සෑම විටම නිහඬතාවය අගයන්නට පුරුදු වන්න. එවිට නිහඬතාවයට ඔබේ බොහෝ ප්‍රශ්න මඟ හැරීමට ද හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම ජීවිතයට සිනහවෙන් මුහුණ දෙන්න. මුළු හදවතින් ම අවංකව සිනාසෙන්න. එවිට මේ මුළු ලොව ම සැබැවින්ම ඔබට සොදුරු ලෝකයක් ම වනු ඇත.

Top