පුංචි අත්තටු සිඳින්නෙපා - කැකුලු මල් පෙති තලන්නෙපා (291 වන ලිපිය)

post-title

වර්තමානයේ අප ජීවත් වන්නේ තාක්ෂණයෙන්, දැනුමෙන්, ගෝලීයකරණයෙන් මෙන්ම නව්‍යකරණයෙන් ඉදිරියට පැමිණි යුගයක ය. විශ්වය ද හඹා යන යුගයක ය. නමුත් මෙතරම් දියුණු සමාජයක් තුළ මිනිසා වල්මත් වී අතරමංව, සදාචාරය ඉක්මවමින් නැවතත් මුල් යුගයටම පියමං කරනවාදෝ යන්න විටෙක අපගේ සිතට නැඟෙන ප්‍රශ්නයකි. ඒ මෑත කාලීන ව ශ්‍රීලංකාවේ කුඩා දරුවන් හැඟීම් විරහිතව භාවිතකිරීම බහුලව සිදුවන නිසාවෙනි. 

දරුවා යනු දෙවියන්ගෙන් ලද දායාදයකි. මිනිස් සමාජය තුළ මුදලින් මැනිය නොහැකි උපරිම වටිනාකමක් දරුවාට ලැබී ඇත. දරුවෙකුට මෙතරම් වටිනාකමක් ලැබෙනුයේ දරුවා තවත් එක් මිනිස් පරම්පරාවක ආරම්භක පුරුකක් වන නිසාවෙනි. පෘථිවි තලයෙන් මිනිස් පරපුර වඳවී යාම වළක්වාලන්නට හැකියාව ඇත්තේ ද දරුවන්ට ම පමණි. මෙතරම් වටිනා වස්තුවක් වුවත් දරුවාට අද සමාජයේ නිසිතැනක් ලැබී තිබේද? මේ ඒ පිළිබඳ සිතන්නට කාලය යි.

තම නිවස, මහමඟ, පොදු ප්‍රවාහන සේවාව, පාසැල් වෑන් රථය, පාසැල, රැකියා ස්ථානය යනාදී සියලු ස්ථානයන්හිදී දරුවන් කෙලෙසෙන්නේ ත්, කෲර වද බන්ධනවලට ලක්වන්නේ ත්, දූෂණ සිදුවන්නේ ත් මනුෂ්‍යත්වය සහ සමාජීය හර පද්ධතීන් වර්තමාන සමාජයෙන් දියාරු වී ගොස් ඇති පදනමක් තුළ ය.

සියලු ම ආකාරයේ කායිකව සහ මානසිකව දරුවාට සිදුකරන්නා වූ නොමනා ක්‍රියා, ලිංගික අපයෝජන, නොසළකා හැරීම හෝ කෲර ලෙස සැළකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකොටගෙන දරුවාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හා බලය යනාදී වූ සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ වියහැකි ලෙස ක්‍රියාකිරීම ” ළමා අපයෝජනය සහ ළමා හිංසනය යනුවෙන් ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග්‍රහ කර දක්වා ඇත. 

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙනු ලබන්නේ ශාරීරික අපයෝජනය, මානසික අපයෝජනය, ලිංගික අපයෝජනය සහ නොසළකා හැරීම යන කාරණාවන් ළමා අපචාර ගණයට අයත් වන බව යි. එමෙන්ම දරුවන්ට පහරදීම, වධහිංසා පැමිණවීම, මෙහෙකාර වෘත්තියේ යෙදවීම, සිඟමනේ යෙදවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම, ගණිකා වෘත්තියේ යෙදවීම සහ මව්පියන්ට හැකියාව ඇතත් දරුවාට පෝෂණය මෙන්ම ආරක්ෂාව ලබානොදීම යනාදී වූ කාරණාවන් ද ළමා අපයෝජන යටතට ගනු ලබයි. සමාජයෙහි කොයි මොහොතක, කවර ස්ථානයකදී දරුවන්ට අසාධාරණයක් සිදුවේදැයි අප කිසිවෙකුටත් කිව නොහැකිය. අද වර්තමානයේ බොහෝ නිවෙස්වල හොර රහසේම මෙහෙකාරකම්වල යොදවන්නේ ද දරුවන් ය. පොලීසියට හසු නොවන පරිද්දෙන් මත්ද්‍රව්‍ය, මත්කුඩු, දුම්වැටි ආදිය ප්‍රවාහනය කරන්නේ ද දරුවන් මාර්ගයෙනි. මාධ්‍යකරුවන් ද සන්නිවේදනයේදී තමාට ලැබෙන වාසිය තකා අතකොලු බවට පත්කර ගනිමින් බිල්ලට ගෙන ඇත්තේ ද ළමා පරපුර යි. එසේම නිසි අධ්‍යාපනයක් නොමැතිව මහමඟ සිඟමන් යදින වීදි දරුවන් ලංකාව තුළ කොතෙකුත් සිටී ද? එක බඩවැල කඩාගෙන ආ සහෝදරිය දූෂණය කරන්නට තරම් නිර්ලජ්ජිත වූ සහෝදරයන්, පිය පුතු දෙදෙනා එක්ව පියාට දියණිය වූත්, පුතුට සහෝදරිය වූත් බැඳීමක් ඇති තම ලෙයම හපකර රස බොන්නට තරම් ජුගුප්සාජනක පාපතරයන්, ශිල්ප ඉගෙනීමට සෙවණට පැමිණෙන දූ දරුවන් දූෂණයට, අපයෝජනයට ලක්කරන්නට තරම් තිරිසන් වූ ගුරුවරුන්, තම මුණුබුරු මිණිබිරියන් දූෂණය කර මරා දමන්නට සාහසික වූ අවුරුදු අසූව අනූව ඉක්මවූ වැඩිහිටියන් පිළිබඳ ව අද සමාජය තුළ අපට කොතෙකුත් අසන්නට ලැබේ. මොවුන් අතින් දූෂණයට, හිංසනයට පත් වූ දරුවන් කෙතරම්නම් සිටී ද? ඉපදීමට ත් පෙර කළලය විනාශ කරන මව්පියවරුන් සිටින යුගයක, ජීවත්වීමට තබා ඉපදීමට ඇති අයිතිය ද දරුවෙකුට අහිමිකර ඇත. නීත්‍යානුකූල නොවන සම්බන්ධතා හේතුවෙන් ඇතිවන දරුවන් මහමඟ දමාගොස් සතුන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද අද සමාජයේ නැතුවාම නොවේ. මෙකී සියලු කෲරකම් විඳ ගැනීමට සිදුව ඇත්තේ අහිංසක කුඩා දරුවන්ට ය. 

ලිංගික සූරාකෑමෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය, හානිකර දේවල්වල යෙදවීමෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය, වදහිංසා හෝ කෲර ලෙස සැළකීම හෝ දඬුවම්වලින් මිදීමට ඇති අයිතිය, නිදහසට හා සුරක්ෂිතභාවයට ඇති අයිතිය 1992 දී ශ්‍රීලංකාවේ සම්මත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියෙන් දරුවන්ට ලබා දී ඇත. එහෙත් එදා මෙන්ම අදත් මෙරට බොහෝ දරුවන් ලිංගික අපයෝජනයට සහ විවිධ හිංසනයන්ට බඳුන්වීම නිරන්තරයෙන් ම දැකගැනීමට හැකිවන්නකි.

අන්ත දුගීභාවය, දරුවන්ට මව්පිය රැකවරණය හා ආරක්ෂාව අහිමිවීම, මව්පියන් විදෙස්ගත වීම, මව්පියන්ගේ අනියම් සබඳතාවයන් පැවතීම, දරුවන් හුදෙකලාවීම, දරුවන් කෙරෙහි වැඩිහිටි පාර්ශවයන්හි අවධානයේ හා සැලකිලිමත්කමේ අඩු බව, දරුවන් අනාථභාවයට පත්වීම, මව්පිය ආදරය නොලබන දරුවන් එම ආදරය සමාජයේ වෙනත් පාර්ශව වෙතින් සොයායාම, අයහපත් මිතුරු ඇසුර, මාධ්‍ය අවභාවිතය යනාදී වූ විවිධ හේතූන් දරුවන් අපයෝජනයට පාත්‍රවීමට පසුබිම සකස්කරනු ලබයි. 

මාධ්‍ය භාවිතයේදී ෆේස්බුක්, ස්කයිප් වැනි වර්තමාන සමාජ ජාලා, වෙබ් අඩවි හරහා බෙදාහරිනු ලබන අසභ්‍ය දේ හේතුකොටගෙන ළමා මනස දූෂණයට සහ විකෘති තත්ත්වයට පත්වේ. දරුවෙකු යොවුන්වියට එළඹීමත් සමඟ ඔහු හෝ ඇය සතුව පවතින ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම අවමවීම සහ කුතුහලය හේතුවෙන් තම ජංගම දුරකතන හරහා හෝ වෙනත් ක්‍රමයන් මඟින් අන්තර්ජාලයට පිවිස අසභ්‍ය දේ බැලීමට යොමුවන අතර එමඟින් අපයෝජනයන්ට ප්‍රථම වරට දරුවා යොමුවන්නේ නොදැනුවත්වමය. එමෙන්ම මාධ්‍ය වාර්තාකරණයන් තුළින් ද දරුවන් අපයෝජනයට ලක් වූ ආකාරය පියවරෙන් පියවර හෙළි කිරීමත් නිසා සමාජය තුළ එවැනි අපචාරයන් සිදුකිරීමට උද්දීපනයක් ඇතිකරනු ලබයි. මෙහිදී මාධ්‍ය ආයතනයන් සිදුකරනු ලබනුයේ දැනුවත්ව හෝ නොදැනුවත්වම තවත් අපයෝජනයකට උත්ප්‍රේරකයක් සැපයීම ය. කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය, යාපනයේ විද්‍යා දැරිය ඉතා බරපතල ලෙස ලිංගික අපයෝජනයන්ට ලක්කර ඝාතනයට ලක්වීම මෑතකදී අපට වාර්තා වූ ඛේදජනකම සිදුවීම් ය. නමුත් ලාංකේය මාධ්‍ය සිදුකරනුයේ එම සිදුවීම නිතර නිතර වාර්තා කරමින් ඝාතනය වූ පුද්ගලයාව නැවත නැවතත් ඝාතනයට ලක්කිරීම ය. මේ ඔස්සේ සිදුවනුයේ එය මිනිස් මනස තුළ අවිඥානගත වී අපයෝජනයන්ට උත්ප්‍රේරකයක් සැපයීම යි. සත්‍ය වශයෙන් ම මෙය ඛේදනීය තත්වයකි. ආකල්පමය වශයෙන් සමාජ පරිවර්තනයකට ලක්විය යුතු තීරණාත්මක ප්‍රවේශයකට අද අප අවතීර්ණ වී ඇත. ඒ පිළිබඳ ව කිසිඳු තර්කයක් නොමැත. එහෙත් එය ප්‍රායෝගිකත්වය මත යථාර්ථයක් බවට පත්කර ගැනීම සරල පහසු කාරණයක් වන්නේ ද නැත. 

1989 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කරගත් අතර එමඟින් අවුරුදු 18ට අඩු සෑම දරුවෙක්ම ළමයා යනුවෙන් මූලික නිර්ණායකයක් ගොඩනඟා ගන්නා ලද අතර ශ්‍රීලංකාව ද එම ප්‍රඥාප්තියෙහි කොටස්කරුවෙකි. ඒ අනුව ලංකාවෙහි ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉතාමත් ශක්තිමත් ජාතික නීති පද්ධතියක් නිර්මාණය වී ඇත. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හා පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබූ නීති තුළ ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන ගැබ්ව ඇත. ලංකාව තුළ පවතින නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු දැරියක් සිය කැමැත්ත ඇතිව ලිංගිකව එකතුවීම හෝ අකමැත්තෙන් ලිංගික අපචාරයේ යෙදවීම සලකනුයේ ස්ත්‍රී දූෂණයක් ලෙසට ය. එවිට ඇයගේ කැමැත්තට එරෙහිව එම ක්‍රියාව සිදුවී ඇති බව පැමිණිල්ලෙන් ඔප්පු කිරීම ද අවශ්‍ය නොවේ. අදාළ දූෂණය නිශ්චිත වශයෙන් සිදුවී ඇති බවට පමණක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම පමණක් ප්‍රමාණවත් ය. මෙවැනි නීති සම්පාදනය කිරීම තුළින් රජයක් ලෙස බලාපොරොත්තු වන්නේ අපයෝජනවලට මෙන්ම අපචාරවලට දරුවන් නතුවීම වළක්වා ගැනීමට ය. 

මෙකී හිංසනයන්ගෙන් ආරක්ෂා වීමට දරුවන් තුළ නිවැරදි දැනුමක්, අවබෝධයක් ඇතිකිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය ම වන්නේ ය. එමෙන්ම දරුවන් සුරක්ෂිත කරගැනීම සඳහා ගතයුතු පියවර පිළිබඳ ව මව්පියන් ව දැනුවත් කළ යුතුය. හිංසනයකදී, අසාධාරණයකදී එයට එරෙහිව නොබියව හඬ නැඟීමට හැකි පෞරුෂයක් දරුවන් තුළ ගොඩනැගීමට මව්පියන් වගබලා ගත යුතුය. දරුවන්ට නිසි ආදරය, ආරක්ෂාව, රැකවරණය නිරතුරුවම ලබාදෙමින් සෑම විටම දරුවන්ගේ හඬට ඇහුම්කන් දිය යුතුය. දරුවන් සම්බන්ධ කාරණාවලදී සංවේදී වෙමින් සමාජ වගකීමක් ලෙස දරුවන් සුරැකීම අදාළ බලධාරීන්ගේ මෙන්ම පුරවැසියන් ලෙස මහජනතාවගේ ද යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. පරගැති සංස්කෘතියට අත වනමින්, ලෞකික තාවකාලික ආශාවන් නැමැති මිරිඟුවේ දැවටෙන ජනයා බහුල අද වැනි සමාජයක ළමා පරපුර සුරක්ෂිත කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එය සැපිරෙන කල්හි දරුවන්ට මේ ලෝකය අදට වඩා හෙට සුන්දර තොටිල්ලක් වනු නොඅනුමානයි. 

පුංචි අත්තටු සිඳින්නෙපා....

කැකුලු මල් පෙති තලන්නෙපා....

බඹර ගී ගොළු කරන්නෙපා...

සෙල්ලම් ගෙයි බිඳින්නෙපා...

Top