ගීතයක ලියවුණ ජීවිතය: ඉතින් එහෙනම් නුඹට අවසර - මගෙන් ඈතට ඉගිලුණාවේ (261 වන ලිපිය)

post-title

හිමි වීම්, අහිමි වීම් මැද දරාගන්නා ජීවිතය පුදුමාකාරය. හමුවීම්, එවන් හමුවීම් නැවත කිසිදිනක එක් නොවෙන ලෙසම වෙන්වීම, සමහර විට ඒක ජීවිතයේ ලැබීම ම වෙන්න ඇති. සංසාරගත ප්‍රේමය හමුවූ තැන් වල මිනිස්සුන්ට නවතින්න පුලුවන් නම් ඒ තරම් වාසනාවන්ත මිනිස්සු තව නොයිදීවි. මුලු ආත්මයම සැනසීමක් කර ගත්ත ප්‍රේමය ඈත් වෙනකොට ඉවසන්න පුලුවන් කාටද....?

හැම හමුවීමකටම සහ වෙන්වීමකටම හේතුවක් තියනවා. සමහර හමුවීම් වල තියෙන්නෙ අසම්පූර්ණ වෙන්වීමක්. ඒත් සුන්දරයි කියලා හිතෙන හමුවීමකට වඩා අසම්පූර්ණ අහඹු වෙන්වීම් වල රිදුමක් හදවතේ තිබුනත් සමහර වෙලාවට ඒක සුන්දර වෙන්වීමක් වෙන්නත් පුලුවන්. මොකද ඒ මතක හැමදාම අපිව ජීවත් කරවනවා.

මේ එවන් සුන්දර හමුවීමක් තුළ අවසානය සුන්දර කර ගන්න බැරි වුන ප්‍රේමවන්තයන් දෙපලකගේ ඇත්තම කතාවක්. 

" මගෙ ජීවිතේ ගොඩාක් ලස්සනට වෙනස් කරපු පුංචි කෙල්ලෙක් හිටියා. ඒත් ඒ පුංචි කෙල්ල සදහටම මගෙන් ඈත් වෙලා යන්න හදන්නෙ බං"

ඒ මීට සති කීහිපයකට පෙර මගෙ මිතුරෙක් මා සමඟ පැවසූ කතාවක්. තමන් ආදරය කළ ඒ ගැහැණු ළමයා, නිවසේ දැඩි තීරණය මත වෙනත් පුද්ගලයෙකුට විවාහ කර දෙන්න සැරසෙන මොහොතකයි ඔහු මට ඒ කතාව කියන්නෙ. පැය ගානක් ඔහු ඒ කතාව මට කියනවා. හරියට නවකතාවක් චිත්‍රපටයක් වගේ. ප්‍රේමය වෙනුවෙන් ඒ තරම් කැපවුණ ප්‍රේමවන්තයෙක් මං දැක්කෙ ඇත්තටම නවකතාවක, චිත්‍රපටයක විතරයි. ඒත් හැබෑ ලෝකයෙත් එහෙම පෙම්වතුන් ඉන්නවා කියලා සාක්ෂි ලැබෙනවා. තමන් පණ වගේ ආදරය කරපු ප්‍රේමවන්තියට වෙන සුරතක පැටලිලා, ඔවුන් හීන මැව්ව මාවතේ යන්න ඔහු අවසර දෙනවා. පිරිමි හිතක් ඒක දරාගන්නෙ හරි අමාරුවෙන්. හැමදාම ඒ කතාව අහන මං එහෙම තීරණය කරනවා. මේ ලියමන ලියන මේ මොහොතෙත් ඔහු කතා කරලා ඒ ප්‍රේමය ඔහුගෙන් ඈත් වුණ එක ගැන විස්සෝප වෙනවා.

" ඉස්සර මේ වෙලාවට අපි කොයි තරම් දේවල් කතා කරනවාද. "RV" අපි මෙහෙම අපේ ජීවිතය හදා ගමු, අපි මේ දේවල් කරමු කිය කිය හීන මැව්ව කෙල්ල අද තනියම කාමරයකට වෙලා කදුලු බිබී ඇති කියලා ඔහු විස්සෝප වෙනවා. ඒ හැමදේම එක්ක ඈත මුහුද දිහා බලන් ඔහු තාමත් ඒ මතක මතක් කරනවා. ඒ මතක වල සැරිසරනවා.

 

" නුහුරු සැඩ රැස් සිප ගනිමි මම

වසන්තයෙ මල් නොපිපුණාවේ

මහ රෑට හිත් රිදුම් වැඩි වෙයි

අහස මැද සඳ නොතිබුණාවේ

ඉතින් එහෙනම් නුඹට අවසර

මගෙන් ඈතට ඉගිලුණාවේ

අපේ මතකය හෙමි හෙමින් මේ

අහස යටදිම වැළලුනාවේ" 

කලුවර රෑක ඇස් පියාගෙන ඒ වචන ටික අහනකොට මට සිහිවුණේ මගේ මිත්‍රයා. සමහර කෙනෙකුගෙ ජීවිත කතා එහෙම් පිටින්ම ගීතයක් වෙනවා කියන එක තව දුරටත් අරුමයක් නෙවෙයි දැන් මට. මේ වචන එකක් ගානෙ මං දැක්කෙ මගෙ සහෘදයාව. 

" ජීවිතේ හරි ලස්සන කාලයක් තිබුණා. ඇස් වලින් ඉඟි බිඟි කතන්දර කීව කාලය. ඊට පස්සෙ හෙමි හෙමින් අපි ළං වුණ හැටි. කැම්පස් එක පුරාවට අපේ මතකය ගොඩ නැගුව හැටි. ලස්සන අනාගතයක් ගැන ලස්සන හීන දැක්ක හැටි. ඒත් ඒ හැමදෙයක්ම අද හීනයක්, මතකයක් විතරක්ම වෙලා. මහ රෑ එළි වෙනකම් කාමරේ ජනේලය ළගට වෙලා ඈත මුහුද දිහා බලාගෙන මං එයා එක්ක මැව්ව හීන අද මං මතක් කර කර විදවනවා. අද ජනේලයෙන් එළිය බලනකොට ඈත පේන සිතිජය වගේ එයා. මට ඈත ඉදන් ඒ ලස්සන බලන් ඉන්න පුලුවන්. මං කොයි තරම් ළං වෙන්න උත්සහය කළත් එයා ඈතට යනවා තවත් මගෙන්. මේක දරාගන්න අමාරුයි. ඒත් අමාරුවෙන් හරි එයාට යන්න අවසර දෙනවා හැර වෙන කරන්න දෙයක් මට ඉතිරි වෙලා නෑ. "

මතක පිරුණු වසන්ත කාලය ඔහු ළග නෑ දැන්.

" දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න" මං ඔහුගෙ හිත සනසන්න එහෙම කියනව.

" මට ලැබුන හොදම දේත් නැති වෙනකොට ආයෙ කොහෙන්ද හොදම දෙයක් මට ලැබෙන්නෙ" ඒ ඔහුගේ පිළිතුර. ඉතින් ප්‍රේමයේ නාමෙන් ගිනි ගෙන දැවෙන හදවතක් විතරයි දැන් ඔහුට උරුම. ඒ වේදනාව දරාගෙන ලෝකයට පේන්න හරි හිනා වෙන්න ඔහුට පුලුවන්. ඒත් ඒ තමන්ගෙ ප්‍රේමවන්තියගෙ එක හිනාවක් ළග පමණයි.

වෙන්වීම් ඇතුලේ වේදනාවක් තිබුණත් ඒ අසම්පූණ වෙන්වීම් ළග ඉතිරි කරලා යන්නෙ මහ ප්‍රේමයක්. ඒ පුංචි කෙල්ලගේ ප්‍රාර්ථනය වුණේත් තමන්ට දැනුන ප්‍රේමය ළග සැනහෙන්න. ඒත් මෙයයි ප්‍රේමය කියා දැනගත් තැන අතහැර ඇයට ඈතට යන්න වෙලා.

" අනේ අක්කි, මං දන්නෙ නෑ මගෙ ජීවිතේට මොනවා වෙයිද කියලා. මට ආදරය දැනුන තැන මට අයිති කර ගන්න පින නෑ. RV වෙනුවෙන් ජීවිතයම කැප කරන්න ඕනි වුණේ මට. ඒත් මට ආදරයක් දැනෙන්නෙ නැති මනුස්සයෙක්ගෙ ළගට යන්න මට වෙලා තියෙන්නෙ. කොටින්ම මේක මගෙ වෙඩින් එක නෙවෙයි. මට ඒක ගැන කිසිම හැගීමක් නෑ. එදාට එයාලාගෙ උත්සවේට මනමාලියක් විදිහට ඇදන් යනවා කියන හිස් හැගීම විතරයි මට තියෙන්නෙ "

ඒ මගෙ මිත්‍රයාගේ ප්‍රේමවන්තිය මට කීව කතාව. ඒ වචනත් එකී ගීතයේම හරි ලස්සනට රචනා වෙලා තියන අපූරුව දැක්කම මට හිතුනේ ගීත වල අපෙ ජීවිතය අමු අමුවෙම ලියවෙනවා කියලා. 

" එක්ව දුටු හීනයක සුලැඟිලි 

නුහුරු අත්ලක පැටලුණාවේ

පෝරු අශ්ඨක සිනා මැද්දෙම

අපේ ප්‍රේමය අළු වුණාවේ

ඉතිං මට අවසරයි කුමරුනෙ

නුඹේ ඇස් යළි නොරිදුනාවේ

පුරුදු ඉරහද යට ම ඔබ මා

හෙටින් පසුවට තනිවුණාවේ."

මතු දිනයක ඇය වෙනත් සුරතක පැටලිලා මනාලියක් වෙනවා. ඒ අහම්බකාරක ජීවිතය ඇයට නුහුරුයි. ඇය ජීවිතේ සුබ සිහින දැක්කෙ මේ ආගන්තුක තරුණයා සමඟ නෙවෙයි. සංසාරගත ප්‍රේමය යැයි දැනුන තැන. අනෙක් අය සතුටු කරන්න, මහමෙරක් බර දුක හිතේ දරාගෙන ඇයට හිනා වෙන්න සිද්ද වෙලා තියෙන්නෙ. මුලු ජීවිතයම නුහුරු උණුසුමක් ළග සින්න කරන්න සිද්ද වෙන මොහොතක ඒක දරාගන්න එක ඒ හිතට ඒ තරම් ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඒත් ඇයට වෙන කරන්න දෙයක් නෑ.

" ඔයාට ලස්සන ජීවිතයක් තියෙන්නෙ. මට නැතත් ඔයා ළග සැනසෙන වෙන වාසනාවන්ත කෙල්ලෙක් වෙනුවෙන් ඔයා ලස්සනට ජීවත් වෙන්න ඕනි. ඔයාගෙ හිනාව, ඔයාගෙ සතුට මට ඈත ඉදන් හරි බලන් ඉන්න ඕනි. තත්පරයකට හරි මට හිනා වෙන්න පුලුවන් වෙන්නෙ එතකොට" තමන්ගෙ ප්‍රාණසම ප්‍රේමවන්තයා වෙනුවෙන් ඇයගේ ප්‍රාර්ථනාව එහෙම එකක්.

" ජීවිතේ සාර්ථකත්වය කියන්නෙ, සල්ලි වාහන, දේපල, උගත්කම නම්.. අනාගතේ දවසක ඒ හැම දේකම සර්ව සම්පූර්ණ මිනිහෙක් වෙයි මං. ඒත් ප්‍රේමය කියන දේ අසල මහා හිස්තැනක් විතරක් ඉතිරි වෙයි මගේ ළග. මොකද ආදරේ දැක්කෙ, ආදරේ වින්දෙ, ආදරේ දුන්නෙ නුඹ ළඟ විතරයි. වෙන කෙනෙක්ට දෙන්න තරම් ආදරයක් මං ළග ඉතිරි වෙලා නෑ. මුලු ජීවිතේම සැනහෙන්න මට මේ මතක ටිකත් හොදටෝම ඇති. විටින් විට ඒ මතක මගේ පපුව කොනිති ගැහුවත් ඒ වේදනාවත් මට ජීවත් වෙන්න උත්තේජනයක්."

" ඉස්සර තනිකමක් දැනෙන හැම මොහොතකම මං ළග තනියට හිටියෙ සීතල බීර වීදුරුවක්. ජීවිතයට නුඹ ආව දවසේ ඉදන් ඒ බීර වීදුරුව තනි වුණා. මහ රෑට දුරකතනය හරහා එහා පැත්තෙ ඉදන් නුඹ හිනා වෙන තත්පරේ පවා මං නිවුණා. සැනසුණා. අද ඒ හිනා හඩ මට නෑසුනත්, තාමත් හීනෙනුත් මට ඇහෙන්නෙ නුඹේ කටහඩ, නුඹේ සිනහව. ඒක දරාගන්න අමාරුයි. හැම හීනෙකම හිටියෙ නුඹ. ඉතින් ඇස් දෙකට නින්ද නොදී ඇස් නොපියවා ඉන්නෙමත් නින්ද කියන්නෙත් සැනසුමක් නෙවෙයි. හැම හීනෙකටම නුඹ එද්දි මං කොහොමද ඇස් පියන් නිදා ගන්නෙ.

" හිනා වුණ ඒ නුඹේ ඇස් දෙක

විටින් විට මට රිද්දුවාවේ

නුඹ ව හොය හොය පපුව මැද්දට

හැම රැයේ මං කිමිදුණාවේ"

මගේ සහෘදයා අපූරු කවියෙක් වෙලාවකට. ඔහුගෙ පන්හිද හරි අපූරුවට කවි ගෙත්තම් කරනවා. ඔහු ඔහුගේ අත් හැරුණ ප්‍රේමවන්තිය වෙනුවෙන් මේ විදිහට කවියකම් ගොතනවා.

" සෙනෙහසක නපුරු හින වල

එකම සුබ ලකුණ නුඹ විතරයි සත්ත

නැතිවෙලා යද්දි වෙන්නත් බෑ නිශ්ශබ්ද 

නුඹ ළඟ ඉන්න කෙරූ පින් මදි වෙද්ද"

ඒ අකුරක් අකුරක් පාසාම ඇත්තේ ඔහුගේ හිත තුළ තියන වේදනාව. ඔය වගේ දහසක් කවි ලියයි. ඒත් ඒ එක කවියක්වත් ඔහුට සැනසුමක් දෙන එකක් නෑ. ඔහුට නැතත් කාට හරි සැනසුමක් ගෙනදෙයි ඒ කවි. ඔහු හිතන්නෙ එහෙම.

" පෑරෙද්දි හිත නුඹේ නාමෙන් 

කෝටියක් කවි ලියැවුණාවේ

එහෙව් කවියක් කියව කියවා

ලෝකයම හෙට සැනසුනාවේ"

අවසානය ට ඔහු ඇයට කියනවා. එන්න මං ළගට. ඔයාට සැනසුමක් නැති ජීවිතයක් හොයා ගෙන ගිහින් ජීවිතකාලයම දුක් විදින්න එපා. මං පුලුවන් උපරිම විදිහට ඔයාව බලාගන්නම්. විදවන ජීවිතයක් වෙනුවට මං ඔයාට විදින ජීවිතයක් කකුල් දෙක පාමුල ගෙනත් තියන්නම්.

ඇය තෝරාගැනීම් දෙකක් ළඟ දෝලනය වෙනවා. එකක් මේ සංසාරගත බෝසත් ප්‍රේමය. අනික අම්මාගෙ තාත්තාගෙ සතුට. ඒත් අවසානයේ ප්‍රේමවන්තිය තීරණය කරනවා, සංසාරගත ප්‍රේමය සමඟ තවදුරටත් එක්ව ගමන් නොකර ඒ සුවිශාල ප්‍රේමයට සමුදෙන්න, අම්මාගෙ තාත්තගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ ජීවිතය, තමන්ට කිසිම හැඟීමක් දැනෙන්නෙ නැති මනුස්සයෙක් ඉස්සරහ සින්න කරන්න. දෙමාපියන්ගෙ කැමැත්ත ඉස්සරහා මුලු ජීවිතයම විදවීමක් කර ගන්න හරි ඇය හිත හදා ගන්නවා.

" ඇයි තමන් ආදරය කරන ඒ ප්‍රේමය තමන්ගේ කරගන්න බැරි. අපේ දෛවය ඇයි ඒ තරම්ම කෲර. මේ භවයේ යළි කිසිදාක අපට අපේ වෙන්න වරම් නැති වෙයි. ඒත් මතුභවේ නුඹ නමටම කැප වෙන්නම්. මේ භවයට විතරක් ආගන්තුක ඔහුගෙ පතිනිය වෙන්නම් මං. ඉතින් අවසාන ප්‍රාර්ථනාව මතු භවේ සියල්ලටම ප්‍රථම මට නුඹ හමු වුනාවේ.

" අයිති නැතුවට සඳට ජිවය

හිරුගෙනුයි එය සිහිවුණාවේ

ඉතිං තව දුක් සුසුම් කුමටද

වියෝ ගිනිදැල් නිම වුණාවේ

කුමරුනේ පතිනියයි දැන් මං

ඔහුට දිවියම කැපවුණාවේ

මතු භවේ හමුවන තුරාවට 

අපිට අපි යළි නොපෙනුනාවේ"

ඉතිං අවසානයේ සතුටින් ඉදපන් පුංචි කෙල්ලෙ. ඒ ප්‍රේමවන්තයාට කීමට ඇත්තේ එපමණයි. ඔහුගේ අවසාන ප්‍රාර්ථනාව ඇයගේ සුවය.

"අව්වෙ තියන රැස් මාලා අඩු වේවා

ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා"

සිදුහත් කුමරු තමන් හැරදා ගිය දා යශෝධරාව එතුමාගෙ සුවය සැනසුම ප්‍රාර්ථනා කළේ මේ ලෙස වෙද්දි මේ අපූරු ප්‍රේමවන්තයාත් තමන්ගෙන් ඈතට යන පෙම්වතියගේ සුවය සැනසුම ප්‍රාර්ථනා කරන්නෙ ඒ ලෙසමයි. ජීවිතේ හැමදාම මල් පිපියන්, ඒ පපුව මත්තේ මගෙන් දැනුනට වඩා සෙනෙහසක් නුඹට දැනියන්. නුඹට ආදරය කළ මගේ හිත සදාකාලයෙන් සහ ඉන් ඔබ්බටත් ප්‍රාර්ථනා කරන්නෙ නුඹේ සුවය පමණමයි. මට අත් හැරුණ තැන මේ ප්‍රේමයම බව මං වටහා ගත් තැන නුඹට අවසර, ඔහුගේ සොදුරු පතිනිය වෙලා ඔහුගේ ජීවිතය එළිය කරලන්න.

" නුඹ යනෙන ඒ පාර දිගටම

පයට පරසතු පෑගුණාවේ

නුඹේ පපුවේ මං උන්නු තැන

ඔහුගෙ සෙනෙහෙන් යටවුණාවේ

ඉදහිටකවත් නැගුණ හුස්මක 

මගේ සුවඳක් නොදැනුනාවේ

අත්හැරීමත් ප්‍රේමයක් වග 

අදින් පසු මට වැටහුණාවේ"

ඉතින් තවත් සංසාර ගත ප්‍රේමයක් එලෙස නිමවුණාවේ. අපි ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙන හැම හමුවීමකටම වඩා අසම්පූර්ණයි කියලා හිතෙන සමහර වෙන්වීම් අපේ ආත්මයේ සියුම් තැන් පෝෂණය කරනවා. එහෙම බැදීම් ජීවිතේ අවසන් හුස්ම හෙලන මොහොතකත් ජීවත් වෙන්න ලෝභකම් හදන උත්තේජන. ඉතින් ඒ ප්‍රේමය තුළ මුලු දිවිය පුරාම සැනසෙන්නම්.

ඉතින් එහෙව් සංසාරගත ප්‍රේමවන්තයන්ගෙ ශෝකාන්විත සමුගැනීම් ගැන වචන ඇමිණුම් කරන්නේ ශශික සංදීප් විසින්. ඒ වචන ඇමතුම් වලට සප්ත ස්වර රටා මුහුකර වචන වල දැනෙන වේදනාව තව දුරටත් සංගීතය හරහාත් හදවතට දනවන්න උත්සහ කරන්නෙ, දීපති ජයසූරියගෙ ස්වර රටා. එක්වෙන්නෙ බැරිව සමුගන්නා සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් හඩ මුසු කරන්නෙ තරිඳු ජයසිංහ. ඒ ප්‍රේමවන්තියන්ගේ වියෝව වෙනුවෙන් හඩ මුසු කරන්නෙ සුවිනි සුදස්නි. ඉතිං අවසානයේ ප්‍රේමය ලබන්නෝ ඒ ප්‍රේමය තුල සැනසුම ලබත්වා…..

Top