බූවලු ග්‍රහණය ලාංකේය සමාජයේ අනාගත ඉරණම විසඳයි ද ? (282 වන ලිපිය)

post-title

අද්‍යතනයේ දී මිනිසා ජීවත් වන්නේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවයන්ගෙන් සමන්විත ලෝකයක ය. අතීතයේ දී මානව සබඳතා වර්ධනය කර ගැනීම සඳහා උපස්ථම්භනය කර ගන්නා ලද තාක්ෂණය, වර්තමානයේ දී මානව සබඳතා වියුක්ත කිරීම සඳහා හේතුවීම තාක්ෂණය අභියස මිනිසා මුහුණ පා සිටින ප්‍රධානතම අභියෝගය කි. කෙසේ වුවත් අද වනවිට මානවයාගේ සෑම ක්‍රියාකාරකමක් ම තාක්ෂණය මූලික කරගනිමින් සිදු වේ. ඒ තුළින් මානව හැඟීම් සහ චෛතසිකයන් කෙරෙහි ද සිදුකළ හැකි බලපෑම අති මහත් ය. මෙහිදී මිනිසා විසින් තාක්ෂණය පාලනය කරන්නේ ද, එසේත් නැතිනම් තාක්ෂණය විසින් මිනිසා පාලනය කරන්නේ ද යන උභතෝකෝටිකය 21 වන සියවසෙන් පසු ලෝක ප්‍රජාවට නිරාකරණය කර ගැනීමට සිදුවන දැවැන්ත ම අර්බුදයක් වන බවට නම් සැකයක් නොමැත. එකී තාක්ෂණයේ ම දිගුවක් වන ජනමාධ්‍ය ක්‍රියාවලිය සහ තාක්ෂණයේ මහිමයෙන් නිර්මාණය වූ ගෝලීයකරණය ප්‍රපංචය මඟින් නූතන මානවයා තම ජීවිතවල ඉරණම විසඳා ගනිමින් සිටියි. 

ගෝලීයකරණය යනු රාජ්‍යයන්හි දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ථ ලෝකය ම එකම භූගෝලීය කලාපයක් ලෙස හැසිරීමට පටන්ගැනීම යි. ගෝලීයකරණය අද්‍යතන සමාජයේ වඩාත් පැතිරී පවතින, අතිශයින් තරඟකාරී වූ ක්‍රියාවලි සහ වර්ධනයවීම් ලෙස පෙන්වාදිය හැකිය. ගෝලීයකරණ ක්‍රියාවලිය කෙරෙහි බලපෑ ප්‍රබල තාක්ෂණික සාධක ද්විත්වය, අංකිතකරණය සහ අන්තර්ජාලයේ විශ්ව ව්‍යාප්තිය යි. මේ අතරින් අංකිතකරණය තුළින් වර්තමානයේ තොරතුරු සහ දත්ත හුවමාරුව වඩාත් පුළුල් සහ නම්‍යශීලී තත්ත්වයකට පත්කර තිබේ. එනම් අංකිතකරණයට පෙර ලෝකය තුළ භාවිත වූ ප්‍රතිසම (්බ්කදට) ක්‍රමවේදය තුළ එක් එක් උපාංග අතර දත්ත හුවමාරුකර ගැනීම සඳහා පොදු ක්‍රමවේදයක් නොතිබුණු හෙයින් තොරතුරු හුවමාරුව පැවතියේ ඉතාම මන්දගාමී තත්ත්වයක ය. එහෙත් අංකිතකරණය සමඟ මෙම තත්ත්වය උඩු යටිකුරු වූ අතර පරිගණකයේ සිට රූපවාහිනිය සහ අත් ඔරලෝසුව දක්වා එහි බලපෑමට නතු විය. එමනිසා අංකිත භාෂාව අවබෝධ කරගත හැකි සෑම උපාංගයක් අතර ම එකම ස්වරූපයෙන් තොරතුරු ඉතා වේගවත් ව හුවමාරුකර ගැනීමට හැකියාව නිර්මාණය වී ඇත. මේ අනුව අංකිතකරණය, හුදු තාක්ෂණික ක්‍රියාවලියක් පමණක් නොව තාක්ෂණයේ සිදු වූ දැවැන්ත විප්ලවයක් ද වන්නේ ය. සමස්ථ ජනයා අංකිත උපාංග භාවිතයට හුරුවීම මඟින් වර්තමානය වනවිට දේශසීමා සළකුණු බොඳවී යාම ද නොවැළැක්විය හැක්කක් බවට පත් වී තිබේ. එයින් පෙනීයන්නේ අංකිතකරණය, ගෝලීයකරණය වඩාත් වේගවත් කිරීමට දායක වී ඇති බව යි.

එමෙන්ම අංකිත තාක්ෂණය සමඟ ඒකාත්මික වී පවතින තොරතුරු තාක්ෂණය හෙවත් අන්තර්ජාල මාධ්‍යය ද අද වනවිට විශ්ව ව්‍යාප්ති මාධ්‍යයක් බවට පත් වී හමාර ය. එහිදී අන්තර්ජාල මාධ්‍යය ගෝලීයකරණයේ ප්‍රමුඛතම සන්නිවේදන මාධ්‍යය බවට පත් වී තිබේ. විශේෂයෙන් ම අන්තර්ජාලය මඟින් උපත ලද සමාජ මාධ්‍ය සංකල්පය, බ්ලොග්කරණය, විද්‍යුත් ලිපි හුවමාරුව, වාච්‍ය සහ දෘශ්‍ය ක්‍රමවේද ඔස්සේ සිදුවන සංවාද ක්‍රමවේද මඟින් එකිනෙකා අතර තොරතුරු හුවමාරුකර ගැනීම අතිශය සරල තත්ත්වයකට පත් වී තිබේ. එමඟින් නිර්මාණය වී ඇති ගෝලීය සමාජය තුළ ගෝලීය ආර්ථික ක්‍රමවේද සහ ගෝලීය සංස්කෘතික වර්ධනය ඔස්සේ අද්‍යතන මානව සමාජය ක්‍රියාත්මක වනු ඇත. මෙසේ අංකිතකරණය මඟින් තොරතුරු ව්‍යාප්තිය පුළුල් වීම සහ තොරතුරු තාක්ෂණය හෙවත් අන්තර්ජාලය ඔස්සේ එකම විද්‍යුත් රේඛාවක් වටා රොක්වී ලෝකවාසී ජනතාව පැය විසිහතර මුළුල්ලේ ම ට්‍රිලියන ගණනක දත්ත හුවමාරුකර ගනිමින් සිටියි. මෙම තත්ත්වය මත ජාතිකත්වය නැමැති සංකල්පය වියැකී යමින් ගෝලීය ප්‍රජාවක් බිහිවීමේ පදනම නිර්මාණය කර ඇති අතර එමනිසා විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ තම එදිනෙදා ජීවිතයේ දී මුදල් ගණුදෙනුව සහ භාණ්ඩ හුවමාරුව සිදුකිරීමට මිනිසාට හැකියාව ලැබී ඇත.

ගෝලීයකරණය යනු, ප්‍රජාව සහ සමාජයන් තොරතුරු යැවීමේ සහ බෙදා වෙන් කිරීමේ ක්‍රියා පටිපාටියේ විප්ලවයක් යැයි “ ගෝඩන් මැතිස් ” විසින් “පශ්චාත් නවමු ලෝකයේ තේරුම් ගැනීම” නම් වූ ඔහුගේ විශේෂ සිදුවීම් රැගත් ව්‍යාපෘතියේ අවිවාදයෙන් පිළිගෙන ඇත. 

එමෙන්ම “ ගෝලීයකරණය අපේ යුගයේ දැවැන්ත ම ආර්ථික පෙරළිය යි. මුළු ලෝකයේ ම ජනයාට පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රස්ථාවන් මෙමඟින් විවෘත වේ. ” යනුවෙන් “ මාර්ටින් වූල්ෆ් ” ද පෙන්වාදෙනු ලබයි. මේ ආකාරයට ගෝලීයකරණය යන්න විවිධ නිර්වචන ඔස්සේ ද ඉදිරිපත් වී ඇති ආකාරය හඳුනාගත හැකි අතර සරල ව, සමස්ථයක් ලෙස ගතහොත් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමය වශයෙන් හඳුනාගත හැකිය. 

කෙසේවෙතත් ගෝලීයකරණය පිළිබඳ ව ඇතැමුන් සුබවාදී මතයන් දරන අතර ඇතැමුන් අසුබවාදී මතයන් ද දරනු ලබයි. අන් කවරදාටත් වඩා වර්තමානය වනවිට ගෝලීයකරණය කෙරෙහි බොහෝ පාර්ශවයන් විවේචනාත්මක ව කටයුතු කරනු ලබන කාලසීමාවක් බවට පත් ව ඇත. වේගවත් ව සිදුවන්නා වූ පරිසර විනාශය, රටක ජනතාව අතර පවතින්නා වූ ආදායම් විෂමතාවයේ වර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් අපගමනය, දුප්පත්කම ඉහළ යෑම, රෝග පැතිරයෑම යනාදී කරුණු හේතුකොටගෙන පුළුල් විරෝධයක් ලෝක සමාජය තුළින් නිර්මාණය වෙමින් පවතී. මෙසේ ශ්‍රීලංකාවට ගෝලීයකරණයෙහි අභියෝගයන්ට මුහුණදීමට සිදු වී තිබෙනුයේ දශක ගණනාවක රාජ්‍ය අවපාලනයක අමිහිරි ප්‍රතිඵල ත් සමඟ ය. එහිදී ක්‍රමානුකූල ව සිදුනොවූ ආර්ථික ලිහිල්කරණය සහ ආනයන ප්‍රතිපත්තීන් තුළ ශ්‍රී ලාංකේය දේශීය නිෂ්පාදකයා වර්තමානය වනවිට තිරයෙන් ඉවත් කිරීමට හේතු වී ඇත. එහෙයින් කුඩා ආර්ථිකයකට හිමිකම් කියනු ලබන ශ්‍රීලංකාවට ගෝලීය වෙළඳාමෙහි සාධාරණ කොටසක් හිමිකර ගැනීමට තවමත් නොහැකි ව ඇත. ශ්‍රීලංකාව ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන බාධක ලිහිල් කිරීම තුළ චීනය, ඉන්දියාව වැනි ඉහළ නිෂ්පාදනයක් සහිත රටවල් මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනුයේ ඉතාමත් සූක්ෂම ආකාරයට ය. එහිදී එවැනි විදේශීය ආනයනයන් හමුවේ මෙරට දේශීය නිෂ්පාදනයන් මරණ මංචකය වෙත ගෙන යනු ලැබූයේ නිරායාසයෙන් ය. විදේශ රටවල් සමඟ කරනු ලබන වෙළෙඳාමෙහි දී මෙරට අපනයන ආදායමට වඩා හතර පස් ගුණයකින් වැඩි ආනයන වියදමක් දැරීම, වර්තමානයේ දී ශ්‍රී ලාංකේය ආර්ථිකය වෙත ඉතා අහිතකර තත්ත්වයක් ගෙන දී ඇත. එමෙන්ම ශ්‍රීලංකාවෙහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙහි වූ ආයෝජනයන්හි පවතින්නා වූ දැඩි පසුබැසීම් හේතුවෙන් අන්තර්ජාතික වෙළෙඳාමේ දී ඉහළ ලාභදායි අංශයන් වෙත ළඟාවීමට නොහැකිවී ඇත. වර්තමානයේ තාක්ෂණික දැනුම වේගවත් ව හුවමාරු වුවත් මෙම පසුබැසීම හේතුවෙන් විදේශයන්හි පවතින දියුණුවේ ක්‍රමෝපායන් ශ්‍රීලංකාවට අනුකරණය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ තුළ ශ්‍රීලංකාව තවදුරටත් ගෝලීයකරණය දෙසට යොමුවීම සාධාරණ ද? යන්න ශ්‍රී ලාංකිකයාගේ හදවතෙහි බුර බුරා නැඟෙන ප්‍රශ්නය කි. 

එමෙන්ම ගෝලීයකරණයේ බලපෑම මත නිර්මාණය වී ඇති ගෝලීය සංස්කෘතිය තුළ ශ්‍රී ලාංකිකයාගේ ආහාර සංස්කෘතියෙහි ද නව පිටුවක් පෙරලිණි. ඒ මැක්ඩොනල්ඩ්කරණය ලෙස සංකල්පගත කරනු ලබන ආහාර සංස්කෘතිය සහ එයට බද්ධ වී පවතින කෝලා පාන සංස්කෘතිය මඟිනි. එමඟින් ශ්‍රීලංකාව වැනි පරිධියේ රටවල ආහාර රටාවන් සඳහා එල්ල කරනු ලබන බලපෑම සුළු පටු නොවන්නේ ය. මෙහිදී සිදුවනුයේ ජනතාව දේශීය ආහාර රාටාවෙන් කෙමෙන් කෙමෙන් දුරස්තීකරණය කරමින් ශරීරයට අහිතකර විවිධ රසායනික ද්‍රව්‍යයන් සහිත ආහාරපානවලට හුරුකරවීම යි. මෙසේ ආර්ථික ලාභ අපේක්ෂාවෙන් බහු ජාතික සමාගම් මඟින් ගෝලීයකරණයේ ශක්‍යතාවයන් අධිභාවිතයට ගනිමින් සිදුකරන මෙම ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ ශ්‍රී ලාංකේය දේශීය ආර්ථිකය බිඳවැටීමට ලක්වීම ත්, පිළිකා ආදී වූ විවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවක් ඉතා සීඝ්‍රයෙන් මෙරට තුළ නිර්මාණය වීම ත් ය. මෙම තත්ත්වය තුළ වර්තමානයේ දී ගෝලීය ආහාර සංස්කෘතිය විසින් දේශීය ආහාර සංස්කෘතිය අතික්‍රමණය කරමින් කටයුතු කරනු ලබයි. ඒ හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට ගෝලීය නිෂ්පාදන සමඟ තරඟයක යෙදීමට ද සිදුව ඇත. 

එමෙන්ම නිෂ්පාදන ආර්ථිකයක සිට සේවා ආර්ථිකයකට යොමුවීම ගෝලීයකරණය ශ්‍රී ලාංකිකයා වෙත කරනු ලබන තවත් අභියෝගය කි. ශ්‍රීලංකාවේ බහුතර ජනතාව ග්‍රාමීයවාසීන් වීම තුළ ඔවුන් තම සාම්ප්‍රදායික ජීවන රටාව වන කෘෂිකාර්මික අංශයෙන් ඉවත් ව සේවා අංශය වෙත යොමුවෙමින් පවතී. ඒ තුළ දේශීය සංස්කෘතිය සහ වටිනාකම් රැකගැනීම සඳහා විශාල වෙහෙසක් දැරීමට අද වනවිට සිදු වී ඇත.

මාධ්‍ය අභිසාරිතාව නැමැති සංකල්පය හමුවේ ගෝලීය තොරතුරු ප්‍රවාහය දැවැන්ත සමාගම් මඟින් පාලනය කිරීම තු ළින් ද බිලියන ගණනක් වන ලෝකවාසීන්ගේ ඉරණම එමඟින් තීරණය වේ. ඒ ඔස්සේ අවවරප්‍රසාදිත සමාජ ස්ථර නියෝජනය කරනු ලබන බහුතරයකගේ සිතුම් පැතුම් අධිවරප්‍රසාදිත සුළුතරයක් මඟින් ඔවුන්ගේ ධනවාදී අපේක්ෂා අනුව විචලනය කිරීම මාධ්‍ය අභිසාරීතාවය ඔස්සේ ඉහළට නැංවී ඇති නූතන ලෝකය හමුවේ පවතින තවත් දැවැන්ත ම අභියෝගය කි. කෙසේ වුවත් මාධ්‍ය අභිසාරීතාව ඔස්සේ ඉහළට එසවී පවතින ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ අද වනවිට ලෝකයේ සෑම රටක් ම පාහේ මෙහි කොටස්කරුවන් බවට පත් වී හමාර ය. මෙහිදී නිදර්ශනයක් වශයෙන් අන්තර්ජාලය ඔස්සේ සෑම රටක් ම භාණ්ඩ මිලදී ගැනීමට සහ හුවමාරු කිරීමට යොමුවීම මෙම ගෝලීයකරණයේ ප්‍රතිඵල නිසා ඇති වූ තත්ත්වයක් වන බව පෙන්වාදිය හැකිය. මේ අයුරින් ශ්‍රීලංකාව ද ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ කිසියම් හෝ භූමිකාවක් ඉටුකරමින් සිටිනු ලබයි. 

මෙසේ මෙම ගෝලීයකරණය හමුවේ සමාජයක් නව්‍යකරණය කිරීම පහසු නොවන්නේ සම්ප්‍රදායයන්, පෙර සිරිත්, සාම්ප්‍රදායික අදහස්, පැරණි ආයතන ව්‍යුහයන් හා පවතින ධූරාවලීන් විසින් සිදුකර ඇති බලපෑම යි. නමුත් ගෝලීයකරණය තුළ පවතින ධනාත්මක සහ ඍණාත්මක ලක්ෂණයන් පිළිබඳ ව ඇති අවබෝධය සමාජ නව්‍යකරණයේ දී සැලකිල්ලට ගතයුත්තකි. මෙහිදී දේශීය තාක්ෂණය කෙරෙහි ත්, දේශීය චින්තනය කෙරෙහි ත් පවතින විශ්වාසය අනාගත ලෝකයේ සිදුවන වෙනස්වීම් සමඟ සමපාත කරමින් නිර්මාණය කරගන්නා වූ නව දැනුම් පද්ධතියකින් ලංකාව තුළ අධිපතිවාදී සංවර්ධන ආකල්පයන් වෙනස්කර ගනිමින් වෙනස් සංවර්ධන අපේක්ෂාවන් දැල්විය හැකිවිය යුතුය. මෙම ගෝලීයකරණ සංකල්පය ශ්‍රීලංකාව වැනි රටකට ගැටලුවක් වුවත් ඩෙන්මාර්කය, නෝර්වේ, පින්ලන්තය වැනි රටවල්වලට එය ගැටලුවක් නොවන්නේ මෙවැනි සංවර්ධනයක් ඔවුන් අත්කර ඇති හෙයිනි. 

මේ අනුව බලන කල ශ්‍රීලංකාවට ගෝලීයකරණ ක්‍රියාවලියෙන් වියුක්ත ව කටයුතු කිරීමට කිසිවිටෙකත් හැකියාවක් නොමැත. ඒ ගෝලීයකරණය බූවල්ලෙකු මෙන් තම අඬු විහිදුවමින් ශ්‍රී ලාංකේය සමාජය ග්‍රහණයට නතුකරගෙන ඇති හෙයිනි. විශේෂයෙන් ම තුන්වන ලෝකයේ රාජ්‍යයක් ලෙස සැලකෙන ශ්‍රීලංකාව වැනි පරිධියේ රාජ්‍යයන්ට කිසිසේත් ම ගෝලීයකරණයෙන් මිදී කටයුතු කළ නොහැකිය. ශ්‍රීලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ලෝක මට්ටමේ මූල්‍ය සමාගම් සමඟ ගිවිසුම්ගත ව ණය මුදල් ලබාගෙන තිබීම ත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන මඟින් ශ්‍රීලංකාව තුළ විවිධ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ණය ආධාර ලබාදීම ත් නිසා ශ්‍රීලංකාවට ගෝලීයකරණයෙන් වියුක්ත ව කටයුතු කිරීමට පවතින මඟ අහිමිකර ඇත. එමෙන්ම ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රාජ්‍යයන්වල න්‍යාය පත්‍රයට අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ත්‍්ජැඉදදන වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතයට ලාංකික තරුණ තරුණියන් බහුල වශයෙන් යොමුවීම තුළ ද වර්තමානය වනවිට මෙම තත්ත්වය නොවැළැක්විය හැක්කක් බවට පත් වී තිබේ. ඒ අනුව ගෝලීයකරණය අද්‍යතනයේ ශ්‍රීලාංකිකයාට අත්විඳීමට සිදු වී ඇති අනිවාර්යය සමාජ ක්‍රියාවලියක් බවට අවිවාදිත ය. 

මේ අනුව ගෝලීය සබඳතා මෙන්ම මානව සබඳතා පිළිබඳ ව එසේ නැතහොත් ගෝලීයකරණය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් නොමැති නම් රටකට අනාගතයක් නොමැති බව නම් ස්ථිර ය. කුමන හෝ රටකට වුවත් ගෝලීයකරණයෙන් වියුක්ත වීමට කිසිසේත් ම නොහැකි වන හෙයින් ශ්‍රීලංකාව ද සිදුකළ යුත්තේ ගෝලීයකරණයට සැලසුම් සහගත ව ඇතුළු වී ගෝලීයකරණය ජය ගැනීම යි. මේ සඳහා වෙනත් විකල්පයක් නොමැති තැන එසේ සැලසුම් සහගත ව කටයුතු කර ශ්‍රී ලාංකේය සමාජය බේරා ගැනීම ශ්‍රී ලාංකික සියලු දෙනා සතු යුතුකමක් ම වන්නේ ය. 

Top