මුනිබා මසාරි අපට කියන යළි යළිත් නැගී සිටීම (256 වන ලිපිය)

post-title

තමන්ට කුමන හෝ හිත් රිදවීමක්, බිඳ වැටීමක් සිදු වුන විට එයට සාර්ථකව මුහුණ දීමට නොහැකිව සියල්ල අත්හැර දමන ජීවිත අප අතර අප්‍රමාණයි. එයට හේතුව බොහෝ දෙනෙක් ඔවුන් වෙත පැමිණෙන ගැටලු, බාධකවලට ශක්තිමත්ව මුහුණ දීම විනා එය තමාගේ දෛවය යැයි සිතා බලා සිටීමයි. සිත් වේදනාවෙන් මිදීමට එක පියවරක් හෝ ඉදිරියට තබන්න ඔවුන් බයයි. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. තමා නොසිතූ තත්ත්වයක් එකවරම ඇති වූ විට ඔවුන්ට එය දරාගැනීමට අසීරු යි. මොකද ඔවුන් කවදාවත් මෙවැනි තත්වයකට තමාට මුහුණ දීමට වේයැයි කිසිදා සිතා නොසිටීමයි. නොසිතූ මොහොතක කිසිසේත් නොපැතූ ගැටලුවක් අප කරා පැමිණිය හැකියි යන්න අපට අමතක කළ නොහැකියි. එවිට එය ගැටලුවක් සේ නොසළකා අපව තවදුරටත් ශක්තිමත් කිරීමට වෙස් වළාගෙන පැමිණි ආශිර්වාදයක් සේ සළකන්න ඔබට පුළුවන්. 

“ඇයි මටම මෙහෙම වෙන්නේ?”

“මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ”

“මට ප්‍රශ්න විතරමයි, කිසි සතුටක් නැහැ”

මෙවැනි දේ ඔබට සිතෙන විට, කිසිම දෙයක් ස්ථිර නොවන බව ඔබ මතක් කරගන්න. සියල්ල තාවකාලිකයි. ජීවිතයේදී බිඳ වැටීම්, ප්‍රතික්ෂේප වීම්, රිදවීම්, අහිමිවීම් එක මොහොතකට හෝ උරුම නොවුන අයෙක් මේ ලෝකේ ඉන්න පුළුවන් ද? නැහැ. එකම වරක් හෝ ඇතුළාන්තයෙන් නොබිඳුණු පුද්ගලයෙක් සොයා ගැනීම පහසු වන්නේ නැහැ. ජීවිතය කිසිසේත් පහසු, සරල කාරණාවක් නොවේ. ජීවිතය දුක, සතුට දෙකම සමබරව උස් පහත් වන තරාදියක් වගේ. එය සමබරව පවත්වා ගෙන යාමට අපට පුළුවන් වෙන්න ඕනේ.

ඇතුළාන්තයෙන් බිඳ වැටුණ විට ඔබට තෝරා ගැනීමට මාර්ග දෙකක් තිබෙනවා. ඔබට පුළුවන් ගැටලුව තුළම ගිලී එය තුළම ජීවත් වෙන්න. නැතිනම්, ඔබට පුළුවන් ගැටලුව තුළින්ම නැවත නැඟිටින්න. ඔව්, අයෙමත් දළු ලන්න! සැමටම සෙවණ දෙමින් සිටි විසල් වෘක්‍ෂයක් සිත් පිත් නොමැති සේ කපා දැමූ විට නැවතත් තමා තුළින්ම නැඟිටින්න, හුස්ම ගන්න පුංචි අංකුරයක් දරන උත්සාහය ඔබ දුටුවානම් පුදුම වේවි. අධික සූර්ය රශ්මිය දරාගන්න, විටෙක මහා වර්ෂාව දරාගන්න, නැතිනම් ජලය නොමැතිව ශක්තිමත්ව දරන් ඉන්න එයට සිදුවේවී. එය ඇත්තටම අසීරු යි. නමුත් නැවත දළු ලන්න වන බලාපොරොත්තුව, කැපවීම, දරාගැනීම එය ජීවත් කරවනවා. ඇයි අපිටත් බැරි ප්‍රශ්නයක් ආවම ශක්තිමත්ව දරාගන්න, අයෙමත් හුස්ම ගන්න, ටිකෙන් ටික නැඟිටින්න. බැරි නැහැ අපිට පුළුවන්!

බිඳ වැටීම් තුළින් නැවත උපත ලැබූ පාකිස්තානයේ යකඩ ගැහැණිය මුනිබා මසාරිගේ ජීවිත කතාව ඔබ දන්නවා ද?

 පාකිස්තානයේ ගතානුගතික පවුලකින් පැවත එන ඇයට අවුරුදු 18 දී පියාගේ බලපෑමෙන් විවාහ වීමට සිදු වනවා. එය කිසිසේත් ප්‍රීතිමත් විවාහයක් නොවූ බව ඇය ප්‍රකාශ කරනවා. විවාහ වී වසර දෙකකින් ඇයට දරුණු රිය අනතුරකට මුහුණ දීමට සිදුවන අතර ඉන් දරුණු ලෙස තුවාල ලබන ඇයට ඇවිදීමට නොහැකිව රෝද පුටුවකට සීමා වෙන්න සිදුවෙනවා. ඉන්පසුව ඇගේ සැමියා ඇයව හැර දමා යනවා. එපමණක් නොවේ ඇය බොහෝ ප්‍රිය කරන සිතුවම් ඇඳීම ඇයට අසීරු වෙනවා. කිසිම දිනක ඇයට දරුවකු බිහි කිරීමට නොහැකි බව ඇය දැනගන්නවා. ඇය ඉතාමත් රූමත් තරුණ කාන්තාවක්. මෙවැනි ඉරණමකදී ඇයට තිබූ ආශාවන්, බලාපොරොත්තු සියල්ල එකින් එක බිඳී යද්දී මෙසේ මවගෙන් විමසූ බව ඇය කියනවා. 

“ඇයි මටම? මට ඇවිදින්න බැහැ. මට හොඳින් චිත්‍ර අඳින්න බැහැ. මට මවක් වෙන්න බැහැ. මම ජීවිත කාලෙටම අසම්පුර්ණ කාන්තාවක්, මේ විදිහට ජීවත්වෙලා තියෙන අරමුණ මොකක්ද?”

මෙවැනි අසීරු බිඳ වැටීම්වලදී ඇයට තිබුණා එම වේදනාවන් තුළම ජීවත්වෙන්න. නමුත් ඇය එසේ කළේ නැහැ. ඇයට තමා සිටින තත්ත්වයෙන් පියවරක් හෝ ඉදිරියට ගමන් කර වර්ණවත් ජිවිතයක් දකින්න අවශ්‍ය වුණා. ඇය නැවත උපත ලැබුවා. ඇය ඇගේ බිය සමඟ සටන් කරමින් එකින් එක ඉවත දමනවා. දෙමාපියන් අහිමි පිරිමි දරුවකුට මවක් වන ඇය, ඉන් නොනැවතී විවිධ සංවිධාන සහ අනාත නිවාසවලට ඇගේ නම සහතික කරනවා. අබාධිතභාවය පිළිබඳව දැනුවත් කිරීමට රාජ්‍ය නොවන සංවිධානයක් පවා ඇති කරනු ලබනවා. පාකිස්තානයේ කාන්තා ජාතික සුහද තානාපතිවරිය ලෙස පත්වන ඇය, වර්තමානයේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. ඇගේ ගමන අද්විතීයයි. තමාට මුහුණ දීමට සිදු වූ බිඳ වැටීම් තුළින් නැවත උපත නොලැබූවා නම් ඇයට කිසිම දිනෙක මෙවැනි තත්වයක් ගොඩනඟා ගැනීමට කිසිසේත් නොහැකි වන්නට තිබුණා.

ඔබට වේදනාවක් ඇති වූ විට, ‘ඇයි මටම?’ යනුවෙන් කිසිම විටෙක කම්පා වෙන්න එපා. ගැටලු මතුවන්නේ මිනිසුන්ට තමයි. වේදනාවන් ඔබව ශක්තිමත් කරනවා. වේදනාවන් දරන් යළි උපත ලබන මිනිසුන් හරිම ශක්තිමත්. නැවත කිසිම විටෙකත් ඔවුන් වට්ටන්න අසීරුයි. වේදනාවන් කටුකයි. දරාගන්න අමාරුයි. නමුත් ඉන් ඔබට අලුත් පාඩමක් උගන්වනවා. ඒ පාඩම ඉගෙන ගන්න. යම් වරදක් සිදු වී ඇත්නම් නැවත එම වරද ඔබගෙන් සිදු නොවීමට වගබලා ගන්න.

අපි හැමෝම අපේ ජිවිත හරිම සුන්දර ක්‍රමානුකූල රාමුවකට කොටු කරලා ඒ තුළයි ජීවත් වෙන්නේ. අපේ සැලසුම් සියල්ල අපි සකස් කරගන්නේ ඒ රාමුව ඇතුළත සිටයි. ඉන් එහාට කිසිම දෙයක් අපි සිතන්නේ නැහැ. අපේ සැලසුමට අනුව සියලු බලාපොරොත්තු සපුරා ගැනීමටයි අපට අවශ්‍ය වන්නේ. යම් හෙයකින් අපේ සැලසුමේ අන්තර්ගත නොවූ, අපි බලාපොරොත්තු නොවූ සිදු වීමකට අපට මුහුණ දීමට සිදු වුණා යැයි සිතන්න. එවිට ඔබ කුමක් කරාවි ද? ඔබේ සැලසුමට අනුව සියල්ල සිදු නොවේනම් ඔබ එය අත්හැර දමනවා. ඔබේ සැලසුමෙන් එහාට ක්‍රියාත්මක වීමට ඔබට ශක්තියක් නැහැ. එයට මුහුණ දිය යුතු ආකාරය ඔබ දන්නේ නැහැ. ඒකයි ගොඩක් ජිවිත බිඳ වැටීම් වලදී පරාජිතයන් බවට පත් වෙන්නේ.

ඔබ ජීවිතයේ දී කිසිසේත් පරාජිතයකු වීමට අවශ්‍ය නැහැ. අප්‍රමාණ බිඳ වැටීම් තුළින් නැවත උත්සාහයෙන් ඉපදුණු ජීවිත ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. බිඳ වැටීමකදී නැවත කෙසේ හෝ නැඟිටීමට අපි උත්සාහ කළ යුතුයි. ගසක් කපන්න කපන්න නැවත එය දළුලනවා. අපිත් ඒ වගේ වෙන්න අවශ්‍යය යි. ඔබව යමක් නිසා බිඳ වැටී ඇත්නම්, නැවතත් ඇතුළාන්තයෙන් නැඟී සිටීමට ඔබ මහන්සි වෙන්න ඕනේ. පළමුව ඔබ සන්සුන්ව සිදු වී ඇති යථාර්තය අවබෝධ කර ගත යුතුයි. තමාට එසේ වීමට හේතුව හඳුනාගැනීම ඊළඟට වැදගත් වෙනවා. එවිට ඔබට ගැටලුව සඳහා පිළියම් සොයා ගන්න පහසුයි. එය එකවරම කිරීම අසීරුයි. නමුත් ඔබට පුළුවන් පියවරෙන් පියවර ඔබව සුවපත් කරගන්න. ඔබට නැවත දළුලන්න අවශ්‍ය බීජ, ජලය, පොහොර අවශ්‍ය පමණට ඔබ භාවිතා කිරීම වැදගත් වෙනවා. ඔබ ඒ සඳහා කිසිඳු උත්සහයක් නොගන්නවා නම් ඔබට වෙන්නේ වේදනාවන් මත සිරවී පරාජිතයෙක් මෙන් කල් ගෙවන්න.

අපි කිසිදා බලාපොරොත්තු නොවූ සිදුවීම්වලට අපට මුහුණ දීමට සිදුවනවා. කිසිවිටෙක පහසු ජීවිතයක් අපේක්ෂා කරන්න එපා. සර්ව සම්පුර්ණ යැයි පැවසිය හැකි කිසිවෙක් මේ ලෝකයේ නැහැ. ජීවිතයට පැමිණෙන සියලු අභියෝග ශක්තිමත්ව දරාගන්න. එයට මුහුණ දෙන්න. එය ඔබව තව තවත් ශක්තිමත් කරාවී. කිසිම දිනෙක අත්හරින්න එපා. සියල්ල අහිමි වුනත් ඔබ ඔබට ආදරය කරන්න. ඔබට හිමි ජීවිතයට කෘතඥ වන්න. එය සතුටින් බාරගන්න. පියවරෙන් පියවර නැවත නැඟී සිටින්න. අයෙමත් දළු ලන්න!!!

“ජීවිතය අත්හදා බැලීමක්. බය උනාට කමක් නැහැ. හැඬුවට කමක් නැහැ. හැමදේම නිවැරදියි නමුත් අත්හැරීම විකල්පයක් නොවිය යුතුයි. ඔවුන් සැමවිටම පවසන්නේ අසාර්ථක වීම විකල්පයක් නොවන බවයි. අසමත් වීමෙන් විකල්ප සෙවිය යුතුයි. ඔබ වැටෙන හැමවිටම නැඟිටින්න..! වැටෙන හැමවිටම නැඟිටින්න..! එවිට ඔබට එය පුරුද්දක් වේවි!”

මුනිබා මසාරි 

Top