විශ්වීය අභියෝගයක් බවට පත්ව ඇති පොලිස් දූෂණය (782)

post-title

දූෂණය යන්න වර්තමාන සමාජ සන්දර්භය තුළ සාමාන්‍යකරණයක් බවට පත්ව ඇති දෙයකි. එදිනෙදා සමාජය තුළ පුද්ගල වශයෙන් සහ ආයතනික වශයෙන් විවිධ මට්ටම් ඔස්සේ දූෂණය ක්‍රියාත්මක වේ. දූෂණය හරහා පුද්ගල අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අගයන් පිරිහීමකට ලක්වෙයි. සමාජ ප්‍රගමනය, සමාජ සංවර්ධනය, සමාජ සභ්‍යත්වයන් දූෂණය හේතුවෙන් නැවත හරවා යැවීමක් සිදුකරනු ලබයි. ඒ නිසාවෙන් දූෂණය තුරන් කිරීම අත්‍යන්ත සමාජ අවශ්‍යතාවයකි. සමාන්‍යය පොදු සම්මතය අනුව දූෂණය තුරන් කිරීමේ වැඩි බර තැබීමක්, වැඩි වගකීම් කොටසක් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ට හිමිවේ. එය නීතිමය වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද පිළිගනු ලබන තත්ත්වයකි. එවැනි නීතිමය හා සදාචාරාත්මක වගකීමක් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ට හිමිවීම තුළ ඔවුන් එය පිළිපැදීමේ වගකීමෙන් නිදහස් කිරීමකට ලක්කර නොමැත. ඔවුන්ද එය වගවීමකින් යුතුව ක්‍රියාවෙහි යෙදවිය යුතුය. 

මෙවැනි අවකාශයක් තුළ එම වගවීම පසෙකින් තබා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් හරහා දූෂණය සමාජගතවීම තුළ නිර්මාණය වන තත්ත්වය අතිශය භයානක වේ. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන් දූෂණය නිර්මාණය කිරීම තුළ පුරවැසි අයිතිවාසිකම්, ප්‍රජාතන්තවාදී අගයන් සමාජයෙන් තුරන්ව යනු ඇත. එසේම නීතිය සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරනු ලබන අයතනයන් සම්බන්ධයෙන් පුරවැසියා කෙරෙහි පවතින විශ්වාසය ද බිඳවැටීමකට ලක්වේ. 

පොලීසිය වනාහී දූෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ වගකීමක් පැවරෙන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයකි. එහෙත් එය හරහා දූෂණය නිර්මාණය කිරීම සහ පවත්වාගෙනයාම සිදුකරනු ලබයි. ඒ අනුව මෙහිදී පොලිස් සේවය සහ ඒ තුළින් නිර්මාණය කරනු ලබන දූෂණ තත්ත්වයන් කවරේද යන්න සම්බන්ධයෙන් හදුනාගත හැකි ය . 

පොලිස් සේවය සම්බන්ධයෙන් වර්තමානයේ සාමාන්‍ය පොදු ජනතාව තුළ පවතින ආකල්පය වන්නේ පොලීසිය වනාහී දූෂණය නිර්මාණය කිරීමේ මූලික ආයතනයක් වශයෙනි. පොලිස් සේවයේ ක්‍රියාකාරීත්වය තුළ ඔවුන්ගේ කාර්යන්හි විනිවිද භාවය සම්බන්ධයෙන් පොදු ජනතාවට පවතිනුයේ අප්‍රසාදයකි. ඒ සදහා මූලිකවම හේතුසාධක වී ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන දූෂණ ක්‍රියාවන් වේ. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් හරහා දූෂණය යන්න ව්‍යාප්ත වීම තුළ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිර්මාණය වන්නේ ගැටලුකාරී තත්ත්වයකි. රාජ්‍ය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නීතිය ක්‍රියාත්මක කරනු වස් නිර්මාණය කර ඇති ආයතනයකට දූෂණය පවත්වාගෙන යා හැකිද ? එසේ සිදුකිරීම කොතෙක් දුරට සදාචාරාත්මක වන්නේද?

පොදු නිර්වචනය අනුව පොලිස් දූෂණය යනු "තමන් වෙත හෝ වෙනත් අයෙකු වෙත පුද්ගලික වාසියක් ලබා ගැනීමේ චේතනාවෙන් පොලිස් නිලධාරියකු විසින් තම බලතල අනිසි ලෙස උපයෝගී කර ගැනීමයි". ඒ අනුව පොලිස් දූෂණයේ ප්‍රධානතම ලක්ෂණය බලතල අනිසි ලෙස උපයෝගී කර ගැනීමයි. බලතල අනිසි ලෙස උපයෝගී කර ගැනීමේ ප්‍රතිඵලය වන්නේ එම බලතල ප්‍රධානය කිරීමේ අරමුණ ඉටු නොවීම හෝ පොලිස් කාර්යයන්ගේ අර්ථලාභියා විය යුතු පොදු ජනයා වෙත අහිතකර ප්‍රතිඵලයන් ඇතිවීමයි. පොලිස් දූෂණයට නිදසුන් වශයෙන් පොලීසිය සාක්ෂි වසන් කිරීම, අල්ලස් ලබා ගැනීම හෝ සැකකාර අපරාධකරුවන්ගෙන් ධනාත්මක පාපොච්චාරණයක් ලබා ගැනීමට බල කිරීම, සැක සහිත අපරාධකරුවෙකුට පහරදීම හෝ ආයුධ මුදාහැරීම වැනි අධික බලය යෙදවීම ඇතුළත් වේ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් ආයුධ සන්නද්ධව සිටීම තුළ අනෙකුත් බොහෝ රාජ්‍ය නිලධාරීන් නොකරන ආකාරයට පුද්ගලයන්ට ශාරීරික තර්ජනයන් එල්ල කිරීමේ හැකියාවක් පවතී. 

පුද්ගලයන් සාමාන්‍යයෙන් අපේක්ෂා කරනුයේ පොලීසිය නීතිය ආරක්ෂා කිරීම සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සිදුකරනු ලබන අපරාධයන්ට එරෙහිව සටන් කරනු ලබන අවසාන ඇමතුම්වරයා (Final Port of Call) වශයෙන්ය. නමුත් යථාර්ථය තුළ සිදුවන්නේ එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් පොලීසිය විසින් දූෂණය නිර්මාණය කිරීම සහ එය පවත්වාගෙන යාමයි. මේ තුළ එනම් පොලීසිය විසින් දූෂණයන් සිදුකිරීම තුළ, නිලධාරීන් විශ්වාස කිරීමට නොහැකි තත්ත්වයක් තුළ යුක්තිය, සාධාරණත්වය, අයිතීන් සුරක්ෂිත කර ගැනීම උදෙසා පුරවැසියන් හැසිරිය යුත්තේ කුමන ස්ථානයකටද යන ගැටලුව නිර්මාණය වේ. 

Transparency International’s 2017 ගෝලීය දූෂණ බැරෝමීටරයට (Global Corruption Barometer) අනුව වෙනත් සෑම රාජ්‍ය නිලධාරියකුටම සාපෙක්ෂව ගෝලීය වශයෙන් වැඩි පිරිසක් නීතිය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන්ට අල්ලස් ගෙවන අතර බොහෝ රාජ්‍යන් තුළ වඩාත්ම දූෂිත ශාඛාව බවට පොලීසිය පත්ව ඇත යන්න පෙන්වාදෙනු ලබයි. පොලිස් දූෂණය රියදුරන්ගෙන් අල්ලස් ඉල්ලීමේ සිට මත්ද්‍රව්‍ය, ආයුධ සහ මිනිස් ජාවාරම, කොන්ත්‍රාත්තුවට මනුෂ්‍ය ඝාතණයන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලීන් සමඟ ගනුදෙනු කිරීම ආදිය දක්වා ව්‍යාප්තවේ. 

1964 සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කිරීම හරහා වක්‍රාකාරයෙන් පොලිස් දූෂණයන් අවමවීම සිදුවිය. එය දීර්ඝ කාලයක් පුරාවට වෙනස් කොට සැලකීමේ පොලිස් සේවයෙන් පීඩාවිදි පුරවැසියන්ට නව ආරක්ෂාවක් ලබාදෙන ලදි. ජාතිය ගොඩනැගීමේ කාර්ය තුළ පොලිස් දූෂණය විශ්වීය අභියෝගයක් බවට පත්ව තිබේ. පොලිස් දූෂණය නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම නතර කරනු ලබයි. පොලීසිය විසින් ඔවුන්ගේ සේවා ලබාදීම පුද්ගලික වාසීන් ආපේක්ෂාවෙන් විකිණීමට ලක්කරන විට නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොවේ. 

පොලිස් දූෂණය පටු හා පුළුල් යන අර්ථයන් දෙක ඔස්සේම සාකච්ඡාවට ලක්කළ හැකිය. පටු අර්ථයෙන් ගත් කළ දූෂණය යන්නෙන් අදහස් කරනුයේ තම තනතුර සහ අධිකාරිය පොදු යහපතට වඩා පුද්ගලික යහපත වෙනුවෙන් භාවිතා කිරීමයි. වඩාත් පුළුල් අර්ථයෙන් ගත් කළ දූෂණය යන්නෙන් අදහස් කරනුයේ ඕනෑම උල්ලංඝනයකි. අසත්‍ය සාක්ෂි ලබාදීම, සිරකරුවන්ට ශාරීරික හිංසනයන් සිදුකිරීම, ලිංගික හිංසන වැනි පුද්ගලික ලාභයක් ඇති අවස්ථාවක් තුළ ක්‍රියාත්මක වේ. 

පොලිස් දූෂණය සිදුවන ආකාරයන් කිහිපයක් පවතී. එනම් පොදු අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම. බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීමට වධහිංසා ක්‍රම භාවිතා කිරීම. ලිංගික අතවර සිදුකිරීම එනම් නිලධාරීන් සහ සැකකරුවන් අතර නින්දිත ආකාරයේ ලිංගික අනුග්‍රහයන් හුවමාරු කර ගැනීම. බලකිරීම එනම් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සදහා පදනම් විරහිත වැරදි පිළිගැනීමට සැකකරුවන් පෙළඹවීම. වංචාව එනම් මූල්‍යමය ලාභයන් ලබාගැනීම උදෙසා කටයුතු කිරීම. පොලිස් ම්ලේච්ඡත්වය එනම් ජීවිතයට තර්ජනයක් නොවන අවස්ථාවලදී අධික බලය භාවිතා කිරීම ආදී වශයෙන් පෙන්වාදිය හැකිය. 

දූෂණය වනාහී සමාජය විසින් තුරන් කළ යුත්තක් වේ. ඒ සදහා විශාල වගකීමක් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ට හිමිවේ. එවැනි වගකීමක් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ට පැවරෙන විට එම වගකීම පසෙකින් තබා එම ආයතනයන් විසින් දූෂණය පවත්වාගෙන යාම තුළ නිතැතින්ම සමාජයට සහ පුරවැසියන්ට ඇති කරනුයේ විනාශකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම පොලීසිය වැනි අධිකාරී බලයක් සහ ආයුධ සන්නද්ධව කටයුතු කරනු ලබන ආයතනයක් විසින් දූෂණය නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම තුළ එහි බරපතල බව වඩාත් තීව්‍රර වේ. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන දූෂණයන් ව්‍යාප්ත කරන විට පුරවැසියා කුමන මාවතකට යොමුවිය යුත්තේද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වේ. ඒ නිසාවෙන් ස්වයං හික්මීමක් යටතේ තම අධිකාරිය නිවැරදිව භාවිතා කරමින් පරමාදර්ශී පොලිස් සේවයක් නිර්මාණය කිරීම පොලිස් නිලධාරීන්ගේ මෙන්ම රාජ්‍ය වගකීමක් ද වනු ඇත. විශේෂයෙන්ම දූෂණයෙන් තොරව පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරමින් වගවීමකින් සහ වඩාත් විනිවිදභාවයකින් යුතු පොලිස් සේවයක් නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවයකි.

Top