" ආදරය" ලෝකයේ ඕනිම ගැහැණියක් සැනසෙන හැගීමක්. නමුත් ආදරය නිසාවෙන් ඇතිවන විරහව, වේදනව නිසා විදවන ගැහැණුන්ද අනන්තයි, අප්‍රමාණයි. ආදරය කල පමාවෙන්ම බොහෝ දුක් උහුලන තත්ත්වයට පත්වන්නෙ බොහෝ විට ඇයගේ වරදින් නොවන අවස්ථාද අප්‍රමාණයි. නීතිය ඉදිරියේ හෝ වැරදිකාර යැයි හංවඩු ගැසුණු ගැහැණුන්ගේ ජීවිත තුළට එබී බැලුවොත් බොහෝ විට ඇය වැරදිකාර වෙන්න තියන අවස්තා බොහොම අඩුයි.
ඒ ගැහැණුන් වැරදි නොකරනවා කියා අර්ථ ගන්වනවා නොව.බොහෝ ගැහැණුන් වැරදිකාර යැයි හංවඩු ගැසෙන්නේ, බොහෝ විට වෙන කෙනෙකුගෙ වැරදි වැටහීමක් නිසා වෙන්නට පුලුවන්.
අදක, ඊයෙක පමණක් නොව දුරාතීතයේ සිටම ගැහැණු පිටම වරද පටවා අත්පිහදා ගත් පිරිමින් ඉතිහාසය විමසාබැලූ කල පටන් අපට හමු වේ.
" සම්බුලා"
ඇයත් එවන් ගැහැණු චරිතයක්. ඇයත් ආදරය වෙනුවෙන් මුලු ජීවිතයම කැප කර ඒ නිසා බොහෝ දුක් ගිණි ඉහිලූ තවත් එක් ගැහැණියක්. පන්සිය පනස් ජාතක කතා පොතේ 504 වෙනි ජාතක කතාවේ සම්බුලා දේවිය යනු යටගිය දවස බරණැස බඹදත් රජුගේ පුත් සොත්ථිසේන රජුගෙ බිසව ය.
ජාතක කතාවේ එන පරිදි රාජකීය වෙදුන්ට පවා සුව කල නොහැකි දරුණු කුශ්ඨ රෝගයකින් පෙලුණ සොත්ථිසේන රජු, සියලු දේ අතැර දමා වනගත වන්නට තීරණය කරනවා. ලේ ඕජස් ගලමින් දකින්නට අප්‍රසන්න හැගීම් දනවන රජු සමග දුකේදීත් එක සේ එකට සිටිම අදහස් කරගෙන ඇය වනගත විය.අනතුරුව රජු නහවා කවා පොවා ඔහුගේ සියලු කටයුතු කලේ සම්බුලාව විසිනි. ආහාර සොයා ගෙනවිත් පෝෂණය කලේ ඇයයි. වනයේ මැසි මදුරු පීඩා විදිමින් රජු සමඟ සිටියේ ඔහු කෙරෙහි වූ අප්‍රමාණ ආදරය නිසාවෙන්මය.
නමුත් එක් දිනක් ඇය පලවැල නෙලා එන්න වු ප්‍රමාදය නිසා රජු,ඇය ඔහු වෙනුවෙන් කළ කැපකිරීම් සියල්ල අමතක කොට දමා ඇය කෙරෙහි සැක උපදවා බැලුවේය.ඔහු රෝගියෙකු නිසා ඔහු කෙරෙහි ආදරය නොවී වෙන යම් අනියම් සම්බන්ධයක් ඇය පටන් අරගෙන ඇති වගත්, ඒ නිසා ඇය ඔහු සුවයේ සිටින නිසා මෙලෙස ප්‍රමාද වන බවත් හිතලු සිතමිනි ඇය කෙරෙහි සැක සංකා උපදවා ගනී. පසුව ඒ සැක සංකා දුර දිග ගොස් කොතරම් පහදා කීවත් ඔහු ඇයව විශ්වාස නොකොට තනිමතයේම හිදීම නිසා ඇය පුදුම තරම් වේදනාවක් ඉසිලීය.
" ජලයේ ඇවිදිනා මසුන්ගේ හසර මෙන් ආකාශයේ ඇවිදින පක්ශීන්ගේ හසර මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය කිසිවෙකුත් විසින් නොදත හැක්කේය"
සොත්ථිසේන රජු එලෙස සිතමින් තම තනිමතයේම එල්බ සිටියේය.අවසානයේ ඇයගේ නිර්දෝශී භාවය ඇය ඔප්පු කරන ලද්දේ ඇයගේ පතිවෘතා බලමහිමය උපයෝගී කොට ගෙන රජු ඉදිරියේ සත්‍ය ක්‍රියා කොට පෙන්වමින් ය. ඇයගේ සත්‍ය ක්‍රියාව හේතුවෙන් ඔහුගේ රෝගය පවා සුව විය. නමුත් රජුගේ සැකය දුරු නොවීය. රජු සුව වී යලි මාලිගයට පැමිණ අන්තඃපුර ස්ත්‍රීන් සමග විනෝද වූවා මිසක සම්බුලාව ගැන වගක් නොවීය. ඔහුට අසීරු අවස්තාවෙ අත්වැල සැපයූ ඇයව අමතක කිරීමට තරම් රජු කුරිරු විය.ඒ හේතුවෙන් සම්බුලාව "සපත්නීරෝෂයෙන්" දුර්වලව ගියාය.
ප්‍රේමය නිසා මේ සා දුක්ගිනි උහුලන සම්බුලාවන් වර්ථමානයේ නොවන්නේද, තම ස්වාමියාගේ දරදඬු වාග් ප්‍රහාර හමුවේ, අහේතුක සැකසංකා හමුවේ කදුලු බොන ගැහැණුන් නොවන්නේද.එවන් ගැහැනු බොහෝ වෙති.ඔවුන්ගේ ජීවිත ඉරණම බොහෝ විට එකම වෙති. අහේතුක දෝශාරෝපණ නිසා පවුල් සංස්ථාවම ඇදවැටෙන බොහෝ තැන් ඇත.ඉතින් එවන් වූ හැම ගැහැණියක්ම සම්බුලාවට උපමා කල නොහැකිද?
ඉතිං සංසාරයේ පතාගෙන ආවා යැයි සිතා ආදරය කරන්න ගිය එවන් ගැහැණුන් අවසානයේ නාමික පතිනියක් විතරක් වෙලා නවතිනවා.විවාහය අකුරු හතරකට සීමා වෙලා.ඒ තුල ආදරය, ආරක්ශාව, රැකවරණය, රාගය ඔය කිසිවක් ඇයට කැප නැහැ.
" ආදරය අත්හල පුරුද්දක්
ජීවිතය තව අත්වැරද්දක්
හදම සිප සනසවයි සුසුමන්
නොවිමසා හරි වැරැද්දක්"
ආදරය කියන්නෙම ඇයට ජීවිතය වැරදුණ තැන්.පණදීගෙන දුන්න ආදරය ඇය දැන් කාලෙකින් අත්විඳ නැහැ.ආදරණීය යැයි ඇය සිතූ ඇයගේ සැමියා දැන් ඇයව ප්‍රතික්ශේප කරනවා. මොන දේ කලත් ඇයට සැනසීම අහිමියි.හැරුණත් වැරැද්දක් දකින ජීවිතය ඇයට අපායක්. ඉතිං ඒකම ගැහැණියකට චිත්ත පීඩාවක් නොවන්නේද. විවාහ ජීවිතය තුල ඇයගේ බලාපොරොත්තු කොතෙක් තියෙන්නට ඇතිද. නමුත් අවසානයේ ඇයට උරුම දුක පමණයි.
" සා ලපය වූ දා පලුද්දක්
මේ අමාවක නෑ අමුත්තක්
නිවුණා මිස අපි නිවුණෙ නම් නැහැ
ලාම්පුව එක වරක්වත්
හිමියනේ මම සම්බුලා"
ඇයගේ විවාහයෙ අදුරු පැති. ඒ විවාහය තුල වූ පලුදු යලි සකසා ගත ගැනීමට නොහැකි තරම්.ඒ දරණ උත්සහයත් ගගට කැපූ ඉනි වගේ වෙලා. ඇයගේ ජීවිතයේ සඳ පායා යලි එළිය වන්නෙ නෑ. ඉතින් අමාවක කලුවරත් ඇයට හුරුපුරුදු දෙයක් වෙලා.ඒ තරමට තනිකම හුරුයි ඇයට. විවාහා ජීවිතයේ රසබරම හෝරා අදුරු රාත්‍රීන් ලෝකයට හොරෙන් ප්‍රේමයේ උච්චතම අවස්ථාවන් සොයා යන ඒ මොහතවල් රමණීයයි.නමුත් ඒ සොදුරු හෝරා ඇයට අහිමියි.අදුරේ තනිවී තම ස්වාමියා සමඟ ප්‍රේමාලිංගනයේ වෙලෙන්නට අවැසි වුවත් එවන් අවස්තාවකට ස්වාමියා ඉඩ සලසන්නේ නැහැ.අඩුම තරමේ ළගට තුරුලු කර හිස සිඹ සනසන්න තරම් වත් ස්වාමියාට හිතක් නැහැ. එදා බරණැස සිටි සම්බුලාවන්, ඇයත් මා වැනිමයි.
" හිමියනේ මම සම්බුලා"
ඇය හඩනගන්නෙ ඒ නිසාවෙන්මයි.
"හාදුවක් කී යමක්වත්
තිළිණයක් කර නොදුන්නත්
සයනයේ දෙපසකින් හරි ඉමු
නොවී ලෝකෙට වැරැද්දක්
හිමියනේ මම සම්බුලා"
ඇයගේ ආදරය වෙනුවෙන් අඩුම තරමේ හාදුවක්වත් ඇයට උරුම නෑ.විවාහක ස්ත්‍රිය කොතරම් දුක් කම්කටොලු මැද වුවත් සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නෙ යම් යම් හේතු කාරණා නිසා විය හැකියි.
" කමක් නෑ මම හැම දුකක්ම උහුලන්නම්
මේ හැමදේම දරුවෝ වෙනුවෙන්"
විටෙක එවන් වදන් ඇගේ මුවින් නික්මෙනවා විය හැකි. කොතරම් ප්‍රශ්නකාරී වාතාවරණයක් තිබුණත් , මගුල් බෙර ගසා පතිකුලයට ආ අප උසාවියක විත්තිකරුවන්, පැමිණිකරුවන් වී ලෝකය ඉදිරියේ වැරදිකරුවන් නොවී අපේ ප්‍රශ්න ලෝකෙන් හංගාගෙන අපි ජීවත් වෙමු. දරාගන්නට හැකි උපරිම සීමාව දක්වා මම සියල්ල දරා ගන්නම්.
" ඒත් හිමියණි, මම සම්බුලා" නුඹ වෙනුවෙන් ජීවිතයම කැප කල.
ඉතිං ඇයවන් සම්බුලාවන් මේ ලොව කොතෙක් ඇද්ද. ලෝකෙට පේන්න හිනාවෙන ගමන් කදුලු බොන එවන් වූ ස්ත්‍රීන් වෙනුවෙන් තම පන්හිඳෙන් අකුරු ඇමිණූ ඒ ස්ත්‍රී රත්නය දීපිකා පෙරේරා.ඇයගේ පබැඳුමට සත්සර රටා මවා ස්ත්‍රීත්ව ආරොපණය කලේ තරිඳු දම්සර.ඒ සියල්ල කැටිව සම්බුලාවන්ගේ ශෝකාපලාපය ගයන්නෙ නතාශා ගුණතිලක විසින්.