‘ඉරි තැලුණු වලා’ - නාගරික ලෝකයේ බහා

post-title

ලෝකය ගෝලීයකරණය වී ඇත. යාන්ත්‍රීකරණයවී ඇත. චීනකරණයට ලක්ව ඇත. ගම්බද තරුණයන් තවදුරටත් ගම්බදව නොසිටියි. ඔවුන් නගර කරා අවුත් රැකියා අවස්ථා උරගා බලයි. අධ්‍යාපන කඩුලු පනියි. නේවාසිකව නවාතැන් ගනියි. නැවත ගමට යතත් එහි නොරැදී නගරය වෙතම එයි. අරමුණු රොද බදියි. එබැවින් නූතන පෙම්වතුන්ට නාගරික පරිසරයේ කාර්යබහුලත්වයෙන් මිරිකී සිටිමින් පෙම් කරන්නට සිදුව තිබේ. පෙම් සුව විදින්නට වුව කාලයත් ස්ථානයක් නැත. කාලය නැත්තේ අධිවේගී කාර්යබහුල ජීවන රටාව නිසාවෙනි. ස්ථාන නැත්තේ පොලිසිය සිය බලය අතට ගනිමින් මුහුදු වෙරළ, ගං ඉවුරු ආදියෙහි සිටිමින් පෙම්වතුන්ගේ හැදුන්ම්පත් පරීක්ෂා කරමින් ලැගුම්හල්වලට පනිමින් පෙම්වතුන් අත්අඩංගුවට ගනිමින් නීත්‍යනුකූලව ඔවුන්ව බිය ගැන්වීම නිසාවෙනි. මේ සියලු ඉරණම් අත්විඳින පෙම්වතෙක් මෙසේ කියයි.

‘’ඉරි තැලුණු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ 
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ 
සිව් දිගින් හබා එන මොටෝරථ රඟ සෙනඟ රවටනු ‘’

අහස බලන පෙම්වතා දකින්නේ වලාකුළුය. නමුත් රෑ සඳපානේ දකින වලාකුළු නොවේ. වැහි වලාකුළු ද නොවේ. වලාකුළු පවා ඉරි තැලිලාය. ඒ කිමද? කාලගුණික දේශගුණික විපර්යාසම පමණක්ද? නැත. කර්මාන්තශාලාවලින් නගින දුම් ඉහළ නැගේ. ඒවා වලාකුළු පරයා ඉහළ යයි. එබැවින් සංදේශ සාහිත්‍ය පතපොතෙහි මෙන්, අශ්වයන්ගේ කුර පහරින් ඉහළ නැගෙන රජස්, ඇතුන්ගේ කන්පහර ලැබ තව ඉහළට නැග වලාකුළු වසා සිටියාට වඩා, රජසක් නූතනයේ නැග ඇත. දැන් වලාකුළු පෙනෙන්නේ ද යථා ස්වරූපයෙන් නොවේ. පොළව ඉරිතලන්නේ මුසාබස් කීවිටදී යැයි අපි අත්තම්ලාගෙන් අසා ඇත්තෙමු. පොළව මතු නොව අහසේ වලාකුළු පවා ඉරිතැලීමට හැකි ආකාරයේ මුසා සහ දූෂණ කප්පර ගොන්නක අප රට කිරුළු දරා ඇති බැවින් එසේ වීම අරුමයකුදු නොවේ. ගෙයි බිත්ති හෝ ගොඩනැගිලිවල හෝ පොළොවය ඉරිතලන්නේ. වලාකුළුවල පවා ඉරි තලලා යනු නගරයේ සියල්ල කෘතිමත්වයට විනාශත්වයට පත්ව ඇති බව නොවේද? 

පෙම්වතාත් පෙම්වතියත් යාමට අපේකෂා කරන්නේ පෙම් ගමනකි. මේ ඔවුන් විදිනුයේ ගමනට පෙර පෙම් අන්දරයයි. උඩු වියන් යනු සුබ කටයුත්තක් වෙනුවෙන් හිසට ඉහළින් වහලය ආසන්නයේ සරසන රෙදි කඩකි. මළ ගෙවල්වල, ධාතු මන්දිරවල හෝ එවැනි ආගමික පරිසරයකදී මේවා භාවිතයට එයි. පෙම්වතා ඔහුගේ ප්‍රියාව හා යන ගමනට ද උඩු වියන් ඇත. නමුත් ඒ සුදු පිරුවටයක් නොව. ඔවුන්ගේ උඩු වියන වන්නේ පෙර කී ඉරි තැළුණු වලාකුළුයි. ගමන දුෂ්කර එකක් බව එයින් කියයි. ඒපමණක් නොවේ. ඔවුන් යන මග ඇතිරිල්ල ආදි කාලයේ ගීවල මෙන් මල් පාරවල් නොවේ. ඔවුන් යන්නේ තාර පාර දිගේය. 

උඩු වියනත් යට ඇතිරිල්ලත් දෙස බලා සෑහීමකට පත්වීමට පෙම්වතාටත් පෙම්වතියටත් අවසර නැත. මන්ද ඔවුන් සිටින්නේ වේගයෙන් වාහන ගමන්ගන්නා මාර්ගයේය. එබැවින් සිව් දිගින් ඔවුන්ව හබා එන්නේ වාහනයි. එක් එක් කුටුම්භයට එක් එක් වාහනය සේ දැන් වාහන වැහිවැහැලාය. අනෙකාට වඩා සිය වත්පොහොසත්කම් ඒවායින් පෙන්වීමට ද තවත් අතකින් පොහොසත් පෙම්වතුන්ගේ වාහනවලනැගී පෙම්වතියන් සෙල්ෆි ගැනීමටද හැකිය. අශ්වයා පිට නැගී එන කුමරා බලාපොරොත්තුවෙන් ගුහාවෙන් එළියට නොබසින ගැහැනුන්ටද මේ සරදම? පෙම්වතාට රියක් මිලදී ගැනීමට වත්කම නැති බැවින් ඔහු පෙම්වතිය සමග පයින් ම පාරේ යයි. වාහනවලට යටවීමේ අනතුරින් ද මිදී සිහියෙන් මාවතේ යායුතුව ඇත. මෝටර් රථ එහිදී කරන්නේ රංගනයකි. ඒ දෙස බලා සිටීමට යුවළට නිදහස ඇත. එම වාහන රංගන බලා රැවටෙන්නේ ද යන මග සෙනගයි. මෙලෙසින් සමන් ආතාවුදහෙට්ටිගේ පද රචනයෙන්ද අමරසිරි පීරිස්ගේ ගායනයෙන්ද තිස්සසිරි පෙරේරාගේ සංගීතයෙන්ද හැඩ ගැන්වූ ‘ඉරි තැලුණු වලා’ ගීතය නාගරික ලෝකයේ බහාලා විමසිය හැකි බව පෙනේ.


වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි 
නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා 

යන මග ඔවුන් හා සිනාසෙන්නට මිනිසුන් නැත. ඔවුන්ගේ මනුෂ්‍යත්වය නැත. එනිසා දැන් සිටින්නේ යන්ත්‍ර පමණි. එනිසා වාහනවල, සාප්පුවල ඇති විදුලි ඇස් පමණි ඔවුන් හා සිනාසෙන්නේ. ඒවාට රැවටී ඒවාට ගමෙන් ආ යුවළ වශී විය හැකිය. පෙම්වතා කියන්නේ කහ ඉරෙන් එතෙර වී ඒවාට නොරැවටී යමු කියාය. සිදුහත් කුමරු නේරංජනාවෙන් එතෙර වූවා මෙන් නගරයේ නේරංනා නදී නැත. මහපාරේ ඇත්තේ කහ ඉරි පමණි. ඒවායින් එක් පසෙක සිට තවත් පසෙකට එතෙර විය හැක. හන්දියක් ගානේ කුඩා ගස් හෝ අහුමුලුවලට වී සැගවී සිටි පොලිස් නිලධාරීන් ද බලා සිටින බව මේ සියල්ල අස්සේ ඔවුන් දතයුතුය. හැම පස ම ඇති දෑ බලමින් යන්නට කහ ඉරෙන් එතෙර වෙමුයි පෙම්වතා කියයි.


රිය පෙලේ කිරුළු හිමි රජවරුන් අත වනාවී 
බිම බලන් යන්න යමු කහ ඉරත් රැලි වැටිලා

මාර්ගයේ වාහන තදබදය. එනිසා රිය පේළි නවතා බලා සිටිති. ඒවායේ රියැදුරෝ ධනවත් කුමාරවරුය. ඔවුන් නූතනයේ බලෙන් කිරුළු දමාගත් රජවරුන්ගේ පුතුන් ද විය හැක. පෙම්වතිය දකින එම රජවරු ඇයව රැජින කරගන්නට අතවනනු ඇත. පෙම්වතාට අතවනනුයේ ද වෙනත් යටි අරමුණු ඇතුවයි. මේ සේරම පෙනෙන්නේ වටපිට බලන්නට ගියොත්ය. එනිසා බිම බලන් යන්න යමුයි පෙම්වතා කියයි. එසේ බිම බලනවිට ඔවුන්ට කහ ඉර පෙනේ. කලින් හොඳට තිබූ කහ ඉර ද දැන් රැළි වැටී ඇත. රැළි වැටෙන්නේ වියපත් වූවාමය. කහ ඉර ද වයසට ගොස් ඇත. නැතහොත් පෙම්වතුන් තවමත් නූතන තාක්ෂණික ලෝකයේ අතරමංව පෙම් ගමන යමින් සිටින අතර කාලය ඉක්ම ගොස් ඇතැයි එයින් පවසනවා විය හැකිය.

 

 

Top