යාචකයෝ යන වචනය කෙනෙකුගේ සවන් වැකුණු විගස ම, එසේත් නොමැතිනම් යාචකයන් ව දෑසින් දුටු විගස ම කෙනෙකුට පිළිකුලක්, කළකිරීමක් ඇතිවන්නට පුළුවනි. නමුත් යාචකයෝ ද අප මෙන්ම මෙලොව උපත ලද අපේ ම මනුෂ්‍යයෝ ය. අතීතයේ සිට වර්තමාන ලාංකේය සමාජය දෙස බලන කල යාචකයින් පිළිබඳ ව බහුතර ජනතාව තුළ පවතිනුයේ ප්‍රශ්නයකි. මන්ද, අද වර්තමානය වනවිට සිඟමන් යඳින්නන්ගෙන් කවරෙකු සැබෑ ලෙසම තම දරිද්‍රතාවය, අසරණකම හේතුවෙන් සිඟමනෙහි නියැලෙන්නේ ද යන්න සොයා ගැනීමටවත් සමාජීය මිනිසාට නොහැකි වී ඇති නිසාවෙනි. මෙසේ සිඟමනෙහි යෙදෙන යාචක ප්‍රජාව සත්‍ය වශයෙන් ම අසරණ වූවන් ද?, එසේත් නොමැතිනම් තම ලාභ ප්‍රයෝජන උදෙසා මුදල් එකතු කරන්නන් ද? යන්න අද සමාජය තුළ බොහෝදෙනාගේ අවධානය යොමුවී ඇති ප්‍රශ්නයකි.
යාචකයා යන වචනය ඇසෙන පමාවෙන්ම ඉතිහාසයේ සිටම හමුවන දුගී-මඟී-යාචක යන වචන තුනම අපගේ සිහියට නැගෙනු ඇත. ඒ අනුව යාචකයා යනු දුගියෙකි. එසේම මඟතොටේදී මඟීන්ගෙන් ඉල්ලා යැපෙන බැවින් මඟියෙකි. ඉල්ලාගෙන කන, එසේ ඉල්ලාගෙන කෑම තම ජීවනෝපාය බවට පත්කරගත් යාචකයෙකි. යාචකයන් යනු දකුණු ආසියාතික රටවල්වල නිරන්තරයෙන්ම දැකගත හැකි වන පිරිසකි.
අතීතයේදී ලාංකේය සමාජය තුළ යාචකයාට කිසියම් වූ ගෞරවයක්, අනුකම්පාවක් ගොඩනැඟී තිබුණි. වයස්ගත වූවන්, විවිධ අසනීපවලට ගොදුරු වූවන්, කිසිවෙකුගේ පිහිටක් නොමැති වූවන් සඳහා පිහිටවිය යුතුය යන විශ්වාසය අපගේ පැරැන්නන් තුළ දක්නට ලැබුණි. නමුත් අද වනවිට යාචකයෙකු දුටු සැණින් මඟී ජනතාව හැකිතරම් දුරට යාචකයින් මඟහැර යාමට උත්සාහ දරනු ලබයි. එහිදී තමන් විසින් ලබාදෙනු ලබන මුදල සත්‍ය වශයෙන් ම ලබාදෙනුයේ යාචකයෙකුටමද?, එම පුද්ගලයා සැබැවින්ම තම අසරණකම හේතුවෙන් යාචකත්වයේ යෙදෙන අයෙක්ද?, ඒ ලබාදුන් මුදලින් මත්ද්‍රව්‍ය භාවිත කරාවිද?, නොඑසේනම් එකී යාචකයා පවසන ලද සියල්ල සැබැවින් ම සත්‍යයක්ද? යනාදී වශයෙන් පිළිතුරු සෙවීමට අපහසු ප්‍රශ්න වැලකට සමාජීය මිනිසා මුහුණදෙනු ලබයි. යාචකයින් කෙරෙහි සමාජයෙහි පෙර පැවති දැක්ම අද වනවිට මෙවැනි තත්ත්වයක් දක්වා පරිවර්තනය වීම පිළිබඳ ව විටෙක වගකිවයුත්තන් වන්නේ ද යාචකයන්මය.
වර්තමාන සමාජය තුළ වෙසෙන යාචකයන් විවිධාකාර ය. මෙකී යාචකයන් පවසන දේ අසා සිටි විට සහ ඔවුන්ගේ පෙනුම දෙස බැලූ විට ඔවුන්ට සුලු ගණනකින් හෝ මුදල් සහයෝගයක් ලබාදෙන්නට සාමාන්‍ය මිනිසුන් හුරු වී ඇත. ඇතැම් යාචකයින් ආගම දහම පිළිබඳ ව පාඨ කියමින් සෙසු ජනයාගේ හදවතෙහි අනුකම්පාව වර්ධනය කිරීමටත්, තවත් ඇතැමුන් වරදක් වූවා නම්, කරදරයක් සිදුවූවා නම් සිය දහස් වාරයක් සමාව ඉල්ලමින් බස් රථවලට, දුම්රියවලට ගොඩවී අවසර පවා රැගෙන ක්‍රමවත් හා විධිමත් ලෙස සිඟමනෙහි නිරතවීමටත් පුරුදු වී සිටීම අද සමාජයේ නිරන්තරයෙන් දැකගත හැකි සිදුවීමකි. එසේම තිබේනම් කීයක් හෝ ලබාදෙන ලෙසත්, නුදුන්නා කියා අමනාපයක් නොමැති බවත් පවසමින් සිඟමනෙහි යෙදෙන යාචකයින් ද වර්තමාන සමාජයෙහි බොහෝසෙයින් දක්නට නැතුවාම නොවේ. මෙසේ යාචකයින් විවිධාකාර භූමිකා රඟ දක්වමින් තම යාචක කාර්යයෙහි නිරත වීමට තරම් ඔවුන් අද වනවිට සූක්ෂම වී ඇත.
සිද්ධස්ථාන භූමි තුළ පමණක් නොව අද වනවිට රටේ සියලුම ස්ථාන ආවරණය කරමින් බස් නැවතුම්පොළවල්, දුම්රියපොළවල්, සංචාරක ස්ථානයන්, ළමා උද්‍යාන සහ වෙරළ ආශ්‍රිත සංචාරක ප්‍රදේශ යනාදී වූ සෑම ස්ථානයකම මඟී ජනතාවගෙන් යමක් ඉල්ලා ගැනීමේ අරමුණින් විවිධාකාර වූ යාචකයන් ගැවසෙනු ඇත. මෙහිදී විවිධාකාර යාචකයෝ පැමිණ නොයෙකුත් දෑ පවසමින් මුදල් ඉල්ලති. කිසියම් මුදලක් ලද විට දුන් අයට පින් දෙති. නොලද විට සාප කරති. මෙය ලාංකේය සමාජය තුළ පවතින්නා වූ සත්‍යයකි. තනි තනිව, පවුල් සමඟ, කුඩා දරුවන් සමඟ මෙන්ම කුඩා දරුවන් ඇකයෙහි හොවාගෙන මෙකී යාචකයන් නිරන්තරයෙන්ම විවිධ ස්ථානයන්හි ගැවසෙනු අපට දැකගත හැකිය.
යාචකත්වය යනු නිහඬ කෝටිපතියන් බිහිකරන කර්මාන්තයක් බවත්, බොහෝදුරට මෙය සිදුවනුයේ සංවිධානාත්මක ක්‍රියාවලියක් නිසාවෙන් වන බවත් අද වනවිට මඟී ජනතාව හොඳින් ම දන්නා කරුණකි. එමෙන්ම ජනතාව රවටා බොරු මවාපෑම් සිදුකොට එදිනෙදා තමන්ගේ ආදායම උපයාගැනීම මොවුන්ගේ වෑයම බව ද ජනතාව හොදින් දනියි. කෙසේ හෝ තම අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකොට මුදල් සොයාගැනීම මොවුන්ගේ එකම අභිප්‍රාය වන අතර එකී අරමුණ උදෙසා මොවුන් නිරන්තරයෙන්ම කැපවෙනු ඇත. වර්තමාන සෑම යාචකයෙකුගේ ම ඉදිරිපත්කිරීම් මඟී ජනතාවගේ හද කම්පිත කරවමින් ඔවුන්ට තම මුදල් පසුම්බියට අත යන තරම් වූ අනුවේදනීය සිදුවිම් වුවත් බොහෝදුරට එය දෘෂ්ටි මායාවක් ම පමණකි. මන්ද බොහෝ යාචකයන් මෙසේ සිඟමන් ඉල්ලීම සිදුකරනුයේ කෙසේ හෝ වෙහෙසෙමින් තම අරමුණ ඉටුකර ගැනීම සඳහා කැපවෙන ක්‍රියාවක් වන නිසාවෙනි.
මෙයට දශක ගණනාවකට පෙරාතුව නම්, කිසියම් පුද්ගලයෙකු බොහෝවිට සිය උත්පත්තියෙන්ම සිඟමනට නොවැටුණි. නමුත් අද වර්තමානය වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ගොස් ය. විටෙක පවුල් පිටින් ම ඔවුන්ව යාචක තත්ත්වයට සමාජය විසින් ම ඇද දමනු ලබයි. මෙසේ සිඟමනට වැටී සිය පරම්පරාව මෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයත් මහමඟ තුළම තීරණය කරවන මහමඟ කුටුම්භ පරිසරයක් මෑත කාලීන ව යාචකත්වය සමඟ බිහිවී තිබේ. එසේ රට තුළ විවිධ කාලයන්හිදී වෙනස්වීම්වලට ලක් වූ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පරිවර්තන මෙන්ම එදා මෙදා තුළ ඇති වූ ස්වභාවික ව්‍යසන, ජනවාර්ගික අරගල යනාදී වූ හේතු සාධකයන්ගේ බලපෑම මත මෙම යාචකත්වය සීඝ්‍ර ලෙස වර්ධනය වීම සිදුවන්නට ඇති බවට අපට විටෙක සිතිය හැක්කකි.
සමාජය තුළ මෙම යාචකත්වය සමනය කිරීම පිළිබඳ ව විවිධ මතවාදයන් බිහිවී ඇතත් නීතියෙන් යාචකත්වය තහනම් කිරීම තුළින් සිදුවනුයේ තමාගේ සැබෑම අසරණකම නිසාවෙන් සිඟමන් ඉල්ලීම සිදුකරන යාචකයින් හට සිදුකරන්නා වූ මහත් වූ අසාධාරණයකි. එහිදී කිසිවකුත් කරගත නොහැකිව අසරණව සිටින යාචක ප්‍රජාව තව තවත් අසරණභාවයටම පත්වීම සිදුවේ. නමුත් ඔවුන් සියල්ලෝම ද රටෙහි පුරවැසියෝය. එහෙයින් සමාජය තුළ සිටින කිසිම මිනිසෙකු දුප්පතෙකු ලෙස හෝ පොහොසතෙකු ලෙස ඛණ්ඩනය නොකර සියලුම මිනිසුන් රටේ සංවර්ධනයට දායක කරගත යුතුය. එහෙයින් යාචකයා සමස්තයක් ලෙස රටෙහිත්, සියලුම ජන කොට්ඨාසවලත් අනාගතය වෙනුවෙන් පැහැදිලි අවබෝධයක් සහිත පුරවැසියෙකු ලෙස වත්මන් සමාජ දේහය වෙත භාරගත යුතුය. ලංකාවේ සමාජීය ප්‍රශ්න අතරින් ඉහළින් ම වැජඹෙන මෙම යාචක අර්බුදය නුදුරු කාලයේදී අනිවාර්යයෙන් ම විසඳිය යුත්තකි. මෙසේ අද්‍යතනය වනවිට ක්‍රමානුකූලව බාල මහළු සෑම පුද්ගලයෙක්ම කිසිඳු කුල මල වර්ග භේදයකින් තොරව යෙදෙනු ලබන යාචකත්වය, විටෙක ලාභ ලබන වෘත්තීය මාර්ගයක් ලෙස සමාජ දේහය තුළ සංස්කරණය වුවත්, සියලු යාචකයන් ද මනුෂ්‍යයන් ය යනුවෙන් සිතමින් ඔවුන් එකී යාචකත්වයෙන් මුදවාගනිමින් ,ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදීම වර්තමානයේ දී සිදුවිය යුත්තක් ම වන්නේ ය.