හුස්මකට වෙනසක්... (235 වන ලිපිය)

post-title

999 වෙනි වතාවෙදි ඔහු අත්හැරියා නම්???

මේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම කරන්නේ තමන්ට ලැබුණ - ලබා ගන්නට තියෙන දේවල් අල්ලගෙන ඉන්න එකද? එහෙමත් නැත්නම් තමන්ට ලැබුණ - ලබාගන්නට තියෙන දේවල් අත්හරින එක ද? ඔබ හිතන්නේ මොකක් ද? බහුතරයක් දෙනා සිදු කරන්නේ මොකක් ද? අල්ලගෙන ඉඳලා ඉඳලා එක් තැනකදී - අමාරුම තැනකදි අත්හැරලා දාන එක. ඒක තමයි ගොඩක් මිනිස්සු කරන්නෙ. අත්හැරීම හරිම ලේසියි. වැඩවලින් නම්. ඔව් අපි අමාරුවෙන් කට්ට කාගෙන කරගෙන ආව වැඩක් අතරමගදී අත්හරින එක හරිම ලේසියි. ඒ වෙලාවට ඒක හරිම සැනසීමක්. මාරම ගැලවීමක්. හැබැයි ඒ සැනසීම ඒ ගැලවීම ඇතුළේ කිඳා බැහැලා තියෙන නොලැබීම පේන්න අපිට ටික කාලයක් ගත වෙනවා. සමහරවිට ඒ නොලැබීම ඔබට මුළු ජීවිත කාලය පුරාවටම නොපෙනෙන්නට පුළුවන්. හැබැයි ඒ නොලැබීම තුළින් ලබන ප්‍රථිපල මුළු ජීවිත කාලයටම විඳින්නට වෙන්න පුළුවන්. ඇමරිකානු කතුවරයෙක්, විකුණුම්කරුවෙක් සහ අභිප්‍රේරක කථිකයෙකු වන සිග් සිග්ලර් එක් තැනකදි ප්‍රකාශ කරනවා ‘’ඔබ ගන්නා සෑම තේරීමකටම අවසාන ප්‍රථිපලයක් ඇත. අසාර්ථකත්වයට හා අසතුටට ප්‍රධාන හේතුව වන්නේ ඔබට දැන් අවශ්‍ය දේ සඳහා ඔබට වඩාත් අවශ්‍ය දේ වෙළඳාම් කිරීමයි.’’ කියලා කාලයක් තිස්සේ අමාරුවෙන් අල්ලගෙන හිටපු ගේම් එක එක් තැනකදි අපි හරිම ඉක්මනින් අතහැරලා දාන්නේ මාරම සැහැල්ලුවක්, මාරම නිදහසක් බලාගෙනයි. එතනදී අපිට සෑහෙන හයිය හිතක් තියෙනවා ඒ වගේ කැප කිරීමක් කරන්න. ඒත් එතනදි දිගටම අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න අපිට තියෙන්නේ හරිම දුර්වල හිතක්. තෝමස් අල්වා එඩිසන්. වර්ෂ 1847 පෙබරවාරි 11 වන දින ඇමරිකාවේදී උපත ලබන ලෝක ප්‍රකට පර්යේෂකවරයෙක්. ග්‍රැමෆෝනය, විදුලි බුබුළ ආදී මානව සංස්කෘතිය නව මගකට යොමු කළ සොයා ගැනීම් රැසක් සිදු කළ ඔහුට ඔහුගේ ජීවිතය ද නව මගකට යොමු කරලීමට හැකි වූ එකම සාධකය වනුයේ ද වෙන කිසිවක් නොව අත්හරින්න ඕනි තැන තවත් තදින් අල්ලගෙන සිටීමයි. එක් දිනක් ඔහු කුඩා කළ පාසල නිම වී නිවසට එන විට ගුරුතුමිය ඔහුහේ මව වෙතට කුඩා ලිපියක් එවනවා. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. ‘’ඔයාගේ පුතාට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. ඔහුගේ මානසික මට්ටමත් හොඳ නැහැ. ඒක නිසා ඔහුව ගෙදර තියා ගන්න.” පසුව කුඩා එඩිසන් ඔහුගේ මවගෙන් සිය ගුරුතුමිය එවන ලද අපූරු පණිඩිඩය කුමක්දැයි විමසනවා. මව මහත් කම්පනයකට පත් ව, ‘’පුතේ ඔයා ගොඩක් දක්ෂ දරුවෙක්. ඒක නිසා ඔයාට උගන්වන්න තරම් දක්ෂ ගුරුවරු ඒ ඉස්කොලේ නැතිලු. ඒක නිසා පුතා ගෙදර ඉන්න. මම පුතාට උගන්වන්නම්.” යැයි පවසනවා. පසුව තෝමස් මවගෙන් ලද ඉගැන්වීම් අතරතුර ගෙදර කුඩා රසායනාගාරයක් ද පටන් ගන්නවා. වයස අවුරුදු 12 පමණ වන විට ඔහුට ශ්‍රවණාබාධ තත්වයක් ද හට ගත් අතර පසු කාලයේ දී ඔහු දුම්රියෙහි පත්තර, එළවළු වැනි දෑ අලෙවි කරන්නට පටන් ගන්නවා. එක් දිනක් මොහුගේ මවට හදිසියේ වැළදුණ රෝගී තත්වයක් හේතුවෙන් සැත්කමක් කරන්නට අවැසි බව වෛද්‍යවරුන් පැවසුව ද එහෙත් සැත්කම කරන්නට නම් උදෑසන වන තුරු සිටිය යුතු බව පවසන්නේ ඒ සඳහා අවශ්‍ය නිසි ආලෝකයක් නොමැති ව තිබූ නිසාවෙනි. ඉතින් ඒ මොහොතේදී විදුළි බුබළක අවශ්‍යතාවය ඔහුට දැඩි ලෙස දැනෙන්නට වුනා. පසුව වර්ෂ 1878 දී 999 වරක් අසාර්ථක වුණු මොහු දහස් වෙනි වතාවට ලෝකයක්ම එළිය කළ හැකි විදුළි බුබුළ සොයා ගැනීමට සමත් වෙනවා. මොහොතක් හිතන්න ඔහු ඔහුගේ උත්සාහය නවසිය අනූ නව වැනි අවස්ථාවේදී අත්හැරියනම්??? ඔහුගේ මව, ගුරුතුමිය ඔහු මානසික රෝගියෙක් යැයි ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඇයත් ඔහුව අත්හැරිය නම්??? ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ අන්න ඒ අමාරුම තැනදි අල්ලගෙන ඉන්න අපහසුම මොහොතෙ දී සියල්ල අත්හැරලා දාන එකයි. හැබැයි ඒ අමාරුම අවස්ථාව කොහොම හරි පසු කළහොත් ඒ තුළින් ලබන්නට හැකි ප්‍රථිපල ගැන අපි කිසිවිටකවත් මනසින් විඳින්නට උත්සහ කරන්නේ නැහැ. එකී ප්‍රථීපල අපි මනසින් හෝ විඳිමට උත්සහ කරනවානම් අපි කිසිවිටකත් අමාරුම අවස්ථා වලදී කිසිවක් අත්හරින්නට තීරණය කරන්නෙත් නැහැ. ඒ මොහොතට ලබන්නට පුළුවන් තාවකාලික සතුට, සැනසීම වෙනුවෙන් දිගු කාලීනව ලැබිය හැකි ප්‍රතිලාභ අහිමි කර ගන්නෙත් නැහැ. එක් වරක් දෙවරක් උත්සහ ගෙන ඔබට යමක් කරගැනීමට නොහැකි වූ තැනදි ඔබ හිතනවානම් ඔබ අසාර්ථකයි කියා ඒ ලොකුම අසාර්ථක වීම ගොඩ නැගෙන්නේ ඔබේ මනස තුළමයි. මොකද මේ ලෝකයෙ ඉන්න දක්ෂයො හැමෝම සාර්ථක වෙලා තියෙනව ද? සමහරවිට ගොදුර දඩයම් කරන්නේ දක්ෂම කෙනා නෙවෙයි බඩගින්න වැඩිම කෙනා වෙන්නට පුළුවන්. දක්ෂම කෙනා ගොදුර අත්හරිනකොට බඩගින්න වැඩිම කෙනා ගොදුරට තවත් ළං වෙන්න ක්‍රමයක් හොයන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වන්නේ අත්හරින්න ඕනිමයි කියලා හිතෙන තැනදි අත්හරින එක නෙවෙයි තවත් තදින් අල්ලා ගෙන ඉන්න එකයි. මොකද සමහරවිට අපි අද දවසේ අත්හැරපු දේවල් වල ප්‍රථිපල අපිට මුළු ජීවිත කාලය පුරාවටම විඳින්නට, විඳවන්නට වෙන්න පුළුවන්, මොකද අද යන්න ඕනි කෝච්චිය මිස් වුණාම ආපහු ස්ටේෂන් එකට ගිහින් බලලා වැඩක් නැහැ. දැනෙන්නේ පාළුවයි, පසුතැවීමයි විතරමයි. ඉතින් අළුත් හුස්මකට වෙනසක් අරගෙන වචන. lk හරහා ලබන සතියේදීත් අපි නැවත හමුවෙමු.

Top