නූතන ගීත පද රචනා සහ ජනප්‍රියත්වය(702)

post-title

ගීතය යනු මානව පරිණාමය සමඟ විකාශනය වූ කලාංගයකි. මානව ආධ්‍යාත්මයේ තථ්‍ය යථාර්ථය කලාකරුවාට හිමි වන නිදහස් අයිතීන් ඇසුරෙන් විවරණය කරන්නකි. පද රචනය,තනු නිර්මාණය සහ ගායනය යන ප්‍රධාන අංගත්‍රයකින් සමන්විත සාමූහික කලාංගයක් වන ගීතයේ ආනන්දනීයසහ ප්‍රඥාවන්තමගපෙන්වීම සිදු වන්නේ ගීතයේ පඨිතමය අංශය වන පද රචනාව තුළිනි.සාමූහිකඑකතුව තුළ අප අසන ගීතය බිහි වුවද නූතනයේ ගීතයේනෛතික හිමිකරුවන්වන්නේ, පද රචකයා සහ සංගීතඥයා ය.එයිනුත් ගීතයේ උපත ගී පද රචකයාගේ මනස් ගර්භය තුළ සිදුවන හෙයින් එහි අරමුණ හා ආකෘතිකමය පෙළ ගැස්වීමේ වගකීම පද රචකයා සතුය.තමා විසින් ගීතයේ පද තුළට අන්තර්ග්‍රහණය කරන ජීවන දෘෂ්ටිය රසිකයා වෙත රසවත් ව සහ අර්ථවත් ව නව්‍යාකාරයෙන් සම්ප්‍රේෂණය කිරීම තුළින් ජනප්‍රියත්වය අනායාසයෙන් ම හිමි වෙයි. වර්තමානය වන විට වාණිජකරණය මත හුදු ජනප්‍රියත්වය ම අරමුණු කරගනිමින්, තරගකාරී ලෙස කරන නිර්මාණවල ගුණාත්මක බව අවම මට්ටමක පවතින්නේ, එම පද රචනා තුළින් ලබා දිය යුතු ජීවනාදර්ශය ලබා දීම කෙරෙහි පද රචකයා එතරම් සැලකිල්ලක් නොදැක්වීම නිසා ය.

දීර්ඝ සාහිත්‍යනිර්මාණයක් නොවන ගී පද රචනය, කෙටි කාලයකට සහ අඩු වචන ප්‍රමාණයකට සංක්ෂිප්ත වන්නකි. නමුත්, ඒ තුළින් ප්‍රතිනිර්මාණය කළ යුතු යථාර්ථය හෝ සිදුවීම විනාඩි තුනක් වැනි කෙටි කාලයක් තුළ අර්ථාන්විත වින්දනයක් උදෙසා සකස් කළ යුතු ය. ගීත පද රචනාවක් තුළ භාෂාත්මක වශයෙන් විශාල හරඹයක් කිරීමට පද රචකයාට සිදු වෙයි. පඨිතය ඔස්සේ විවිධ දෘශ්ටීන් වෙත රසිකයා දිශාගත කිරීමේත්,ඔහුගේ වින්දන පරාසය පුළුල් කිරීමේත් වගකීමක් පද රචකයා සතු වෙයි.නූතනයේ ගීතයට ඇත්තේ ප්‍රබල ජනප්‍රියත්වයකි. Listener සඟරාව මෑතක දී දක්වා තිබූ පරිදි නූතනයේ පවතින්නේ 'මිනිත්‍තු තුනේ සංස්කෘතියකි'(Three minutes culture).ගීතය මිනිසා සමග කෙතරම් සබඳතාවක් පවත්වන්නේ ද යන බව මින් සනාථ වෙයි. සවිඥානික රසවින්දනය මේ තත්වය නිසා බොහෝ දුරට දුරස් වන අතර, ඇසෙන ගීතය වින්දනය කිරීමට නැමියාවක් ඇති වෙයි. සැණින් වැටහෙනෙගීතය අසා හෝ කියවා අවසන් වන විට කිසිවක් ශේෂ නොවන සාධනීය වශයෙන් මානසික හෝ බුද්ධිමය ස්පර්ශයක් සිදු නොකරන,හුදෙක් ආකර්ෂණීයත්වය ම කැටි කරගත් ගීත පද රචනා ජනප්‍රියත්වය අරමුණු කර ගැනීමේ සහ අඩු සවිඥානිකත්වයේ ප්‍රතිඵලයන් ය. සාක්ෂරතා මට්ටම ඉහළ බව සලකන රටක් තුළ පවා එබඳු ගීත රචනා වීමටත්,කිසිඳුවිදර්ශනාක්ෂියකින් තොරව එම නිර්මාණ වැළඳ ගන්නා රසිකප්‍රජාවක් නිර්මාණය වීමත් කලාකාරුවාගේ හෝ රසිකයාගේ වරදක් ලෙස ම විවේචනය කරනු වෙනුවට ඒ කෙරෙහි බලපෑ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු ද විශ්ලේෂණය කළ යුතු ය.

කාලානුරූපීව සිදු වූ සමාජ විපරිණාම සමග ඇති වූ අතිශය කාර්‍යබහුල ජීවන ශෛලියක් සහිත සමාජ ක්‍රමයපුද්ගල නිදහස වෙනුවෙන් කාලය වැය නොකරන්නකි.ඒ නිසා රසවින්දනය අරුමයක් වී ඇත. සමාජයේ බොහෝදේ තාර්කිකව විග්‍රහ කරන බහුතරයක් දෙනා භාෂාත්මක ධ්වනිය රස විඳින්නට ආධුනික ය. මේ නිසා ම ඇසූ සැණින් අරුත් පැහැදෙන නිර්මාණ වෙත ආකර්ෂණය වෙයි.සවිඥානික ව හෝ අවිඥානික ව එම රික්තය භාවිතයට ගන්නෝදශක ගණනක් තිස්සේ සුරක්ෂිත කරමින් රැකගෙන එන සුභාවිතය අවභාවිතයකට හරවා ගනිති.ගුණාත්මක භාවය නොසලකා හරිති.භාෂාත්මක වශයෙන් කිසිඳු හැදෑරීමක් නොකරඅවිචාරවත් ව ගළපා ගත් පදවලට සංගීතය මුසු කර ගායනය කිරීම තුළින් සිදු වන්නේ ගීතයද,කලාවද,භාෂාව ද සමඟ මිනිසා ද විකෘති වීම ය.සාහිත්‍යය කළ යුත්තේ ආනන්දයෙන් ප්‍රඥාව ලබා දීම ය, යන පෙරදිග විචාර මතය ද, රසය පිළිබඳ වන බටහිර විචාරක මතය ද මානව හිතවාදී ලෙසගීතපද රචනය තුළින් ඉටු නොකිරීම, මනෝ ව්‍යාධිගත මිනිසුන් බිහි කරන්නට උපකාර කිරීමකි.නූතනයේ ආදරය,ප්‍රේමය, ශෘංගාරය වැනි මනෝභාවයන්ඇතුළත් පද රචනාවන්ගේ ප්‍රකාශනය වන්නේ මානව ආධ්‍යාත්මයේ පවිත්‍ර බව අලෙවි කිරීම තුළින්අසංයමශීලී බව රෝපණය වීම ය යන චෝදනාව ඉදිරියේ කලාව අවගාමී වෙමින් පවතියි. මෙම තත්වය වඩාත් සුසංවාදී තත්වයට පත් කළ හැක්කේ නිර්මාණශීලීත්වය සහ සබුද්ධික භාවය තුළිනි.

භාව මූලික මාධ්‍යයක් වන ගීතය, ජනප්‍රියත්වය හඹා යෑමේ අවශ්‍යතාවය උදෙසා භාවිත කිරීම නිසා පුද්ගලචර්‍යා ධර්මයන්ගේ හික්මවා තැබිය යුතු රාගය, ක්‍රෝධය වැනි භාවයන් අවුලා තැබීම මත සමාජඅනාරක්ෂිත බව වැනි අහිතකර ප්‍රතිඵල ඇති වෙයි. නමුත් කලාත්මක පර්යාලෝකයන්ගෙන් සහ ප්‍රායෝගික සහ ඉසියුම් නිර්මාණශීලීත්වය තුළින් මනෝ විද්‍යාත්මක ගැඹුරක් ස්පර්ශ කරමින් සිදු කර ඇති නිර්මාණ මෙවැනි තත්වයන් කලාත්මක ව ජයගත් ආකාරය පසක් කරයි. අතීත- වර්තමාන භේදයකින් තොරව එවැනි නිර්මාණ රසික ස්මෘතිය තුළ ද, ජීවිතය තුළ ද නිරන්තර ව මාර්ගෝපදේශක සපය යි. වාණිජත්වය තුළ වුව ද ගුණාත්මක ගී පද රචනා නිර්මාණ කළ හැකි බව ද, ජනප්‍රියත්වයට එය බාධාවක් නොවන බව ද ප්‍රත්‍යක්ෂ කළ නිර්මාණ රැසක් අතරින් කිහිපයක් සංක්ෂිප්ත ව මෙසේ ය.

බොහෝ දෙනා රාගය, කාමය ඉස්මතු කරමින් අසංයමයෙන් රචනා කරන ප්‍රේමය වැනි මාතෘකා , ශෘංගාර රසය වෙනුවෙන් සුලබව අවභාවිත කරති. නමුත්, ඒ අතර සුභාෂිත ව කලාත්මක රසයෙන් පෝෂණය වූ නිර්මාණ ද වෙති.

" තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද

සරන විටදි රැය ගෙවෙන තුරාවට" (සෝමතිලක ජයමහ)

ප්‍රේමය හැඟුම් සමුදායක් බව සැබෑ ය.නමුත්, එය ප්‍රකාශනයේ දී භාවෝද්දීපනය විය යුත්තේ සංයමයෙන් යුතුව ය.

" ඉකිගසා හඬන අතීතයක

කඳුළු එක්ක ගනුදෙනු කරනා"(අමිල තේනුවර)

විරහව වේදනා උල්පතක් වුවද, එය රසිකයා තුළ වෛරය නොව කරුණ රසය ජනනය කරන්නක් වීම මැනවි.

" පෙර දිනයක මා 

පෙම් කළ යුවතිය

සිය පුතුනළවනවා"(සුනිල් සරත් පෙරේරා )

කාලානුරූපීව ජීවිතයේ විවිධඅවධීන්වල දී මතකයන්, සැබෑවන් ගළපමින් ජීවිතය ගලා යයි.නමුත් තුරුණු වියේ ශෘංගාරාත්මක භාවයන් කෙමෙන් ශාන්ත මනෝභාවයන් ලෙස වියපත් පුද්ගලයා තුළ පරිණතව සිටියි.

"දියවන්නා කුමාරියේ ඔබ නිදනා නිසොල්මනේ

දෙරණට ස‍ඳපළුව එබෙනවා" (ඉරේෂ් වන්නකුකෝරාල)

කාලීන සමාජ, දේශපාලන අර්බුද විචාරාත්මක ව විග්‍රහ කරමින් සමාජ යථාර්ථය ධ්වනිත කිරීම උදෙසා කලාවේ කලාත්මක භාෂාමය යෙදුම් අර්ථ- ශබ්ද රසයන්ටත්, ජනප්‍රියත්වයටත් බාධාවක් නො වන සේ යොදා ගත් නිර්මාණයකි.

" සිහින මවන්නැති අහස උසට තනිය ම

ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර" ^ සේනක බටගොඩ)

හිතට දැනෙන හැඟීම්වල බර සිල්ලරට නොවිකිණෙන ලෙස කරන රසිකයන් විසින් වැළඳගන්නා ලද මෑත කාලීන නිර්මාණයකි.

"චන්ද්‍රා පායන්න 

ගංගා සිප ගන්න

හෘදේ ඡායා මවා" (මනුරංග විජේසේකර)

මෑතක දී ම මුවින් මුව ගැයුණු ගීතයක් වූ මෙය ධ්වනිත කරන නිර්මල ප්‍රේමයේ ලාලසාව කැටිකරගත් ව්‍යංග්‍ය සහිත, ජනප්‍රියත්වය තුළ ගුණාත්මක බව රැක ගත් ආකෘතියක් සහිත පද රචනයකි. පරම්පරා කිහිපයක් විසින් වර්තමානය දක්වා අර්ථ පූර්ණ බව රැකගෙන සිදුකළ රචනාමය අන්තර්ගතයන් සහිත උක්ත ගීත, සංගීතය සහ ගායනය ද සමග ශික්ෂිත රසවින්දනයන්, මනෝභාව විදර්ශනාවන් සිදු කරන නිර්මාණ අතර අතළොස්සකි. මේවා පසු ගිය දශකයන් තුළ කළ නිර්මාණ මෙන් ම, මෑත නිර්මාණය වූ පද රචනයන් ද වන හෙයින් සමාජ පරිණාමය ඉදිරියේ ගුණාත්මක බව අභියෝගයට ලක් නොකර ජනප්‍රියත්වය තහවුරු කළ හැකි බව ප්‍රත්‍යක්ෂ කරයි.

මෙවන් නිර්මාණ නූතනයේ කලාව පිරිහුණු, අවර ගණයේ නිර්මාණවලින් සමන්විත වූවකි යන විවේචනය දෙස විචාරාත්මක ව බැලීමට පද රචකයින්, රසිකයින් සහ විචාරකයින් යනසියලු ම පාර්ශවමෙහෙයවයි. පවත්නා තත්වයන් නිර්මාණාත්මක ව ගීත රචනයේ අභිවෘද්ධිය උදෙසා යොදා ගන්නා අකාරය පිළිබඳ සංකල්පනා නිර්මාණය කරයි. ඒ සඳහා පද රචකයාගේ පූර්ව සූදානමක් ද අවැසි ය. රසිකයන් ප්‍රශංසා මුඛයෙන් පරම්පරා ගණනක් වින්දනයට ග්‍රහණය කර ගන්නා නිර්මාණව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය ඔස්සේ නිර්මාණය වී, ප්‍රතිභාවෙන් ඔපමට්ටම් වන ගීත රචකයාගේනව්‍ය දෘෂ්ටීන්, භාෂාව සමග සූක්ෂම ව්‍යායාමයක නිරත වීමෙන් සිදු කරන්නකි. එයසබුද්ධික දෘෂ්ටියකින්සහ කියවීමකින් තොර ව කළ නො හැකි ය. මෙබඳු ගී පද රචනා අතීතය,වර්තමානය ලෙසකාලයට පවරා ගුණාගුණ විශ්ලේෂණය කළ ද හික්මුණු ශිෂ්ටාචාරවත් මානවයාගේ ලක්ෂණ නිරූපණය කරයි.සෑම සමාජ කරුණක් සේ ම ගීතය ද යාවත්කාලීන විය යුතු ය.ගතානුගතිකත්වය බැහැර කර විප්ලවවාදී විය යුතු ය,නැවුම් විය යුතු ය.නමුත්,භෞතික හෝ මානසික වශයෙන් අරුත්සුන් පීඩාකාරී ප්‍රකාශනයකට වඩා රසිකයා නිවන්නක්, බුද්ධි විසරණීය බවක් පදරචනාව තුළ ඇතුළත් වීම ජනප්‍රියත්වයට බාධාවක් නොවන බව උක්ත ගීත තුළින් ම මනාව පසක් කර තිබේ.භාෂාත්මක වශයෙන් පණ්ඩිත ප්‍රිය ගැඹුරක් පමණක් නොව, නැවුම් බව සුරැකි පරිණාමික බවක් සහිත නිර්මාණ බිහිවන්නේ නම් අධිරාජ්‍යවාදයට,අසාධාරණයට එරෙහි වකවිය,ගීතය අතීතයේ සිදු කළ සමාජ පෙළගැසුමනූතනයේ ද හෘදයංගම කලා මාධ්‍යයන් අතර ඉහළින් ම පවතිනගීතය තුළින් සිදු කළ හැකි බව අරුමයක් නො වේ. ටෝල්ස්ටෝයි පැවසූ පරිදි කලාව කලාව සඳහා ම නොවන බව ගීතය තුළින් ද ප්‍රතියමාන කරන කෘතඥතා පූර්වක ගී පද රචකයින්ගේ මෙහෙවර වඩාත් සඵලදායී ලෙස නියාමනය කිරීම ද, සමාජගත කිරීම ද අත්‍යවශ්‍ය ය. යම් හෝ ක්‍රමයකින් එක් රැයකින්ජනප්‍රියත්වයට පත් වී හර පද්ධතිය පවා ශූන්‍ය කරනු වෙනුවට, සමාජ සංශෝධනය,මානසික වශයෙන් පවතින පුද්ගල පීඩාකාරීත්වය,සිය දිවි නසා ගැනීම වැනි සමාජ ප්‍රශ්නවලට පවා විසඳුම් සෙවීමටහැකි ගීත පද රචනා මෙම අවධිය තුළ වුව ද නිර්මාණය කළ හැකි ය.එතුළින් වඩාත් සුසංවාදී සමාජයක් ගීතයේ පද රචනාව ඔස්සේ ඉසියුම් ව නිර්මාණය කරයි.

Top