අකාලයේ නිවී ගිය කලා ලොවේ තවත් පහන් තරුවක් (207 වන ලිපිය)

post-title

කලාකරුවා ජනතා සිත් සතන් තුළ සදාකල් ජිවත් වේ. ඔහු භෞතික වශයෙන් අප අතරින් වෙන් වුවත්, නිර්මාණශීලි ආලෝකයෙන් ලොව පුබුදු කරවයි. දැනුමින් ලෝකය ඔපවත් කරවයි. ගුරුවරයකු, මාධ්‍යවේදියකු, මානව අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරී මානව හිතවාදියකු , ග්‍රන්ථ රචකයකු, සිනමාව හැඩ කළ නළුවකු සහ ඉංග්‍රීසියෙන් පද්‍ය රචනා කල ශ්‍රී ලංකික කවියකු ලෙස ඉමහත් සේවයක් ඉටු කල රිචඩ් සොයිසා මහතා වියෝවී පසුගිය පෙබරවාරි මස 18වැනිදාට වසර 32ක් සපිරුණි. මේ ඒ වෙනුවෙන් වචන අපි තබන සටහනකි. 

ජාතික රුපවාහිනී සේවයේ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස පොදු ජනතාවට සමීපවූ ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ 1985 දී තිරගත වූ යුගාන්තය චිත්‍රපටයේ මාලින් කබලානගේ චරිතය රඟපෑවේය.එමෙන්ම ශේක්ස්පියරියානු ඉංග්‍රීසි නාට්‍යය ඔහුගේ රඟපෑමෙන් ඔපවත් විය.1972 වර්ෂයේදී ජාතික පාසල් ඉංග්‍රීසි නාට්‍ය උළලේදී , ශේක්ස්පියරියානු නාට්‍ය වල රඟපෑ හොඳම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර විය. Angela DE Silva (ඇන්ජිලා ද සිල්වා ) යන අන්වර්ථ නාමයෙන් නිර්මාණ කලාවේ නියැළුණු රිචඩ් මැණික් දී සොයිසා අප ඉපදීමටත් වසර ගණනාවකට පෙර මිය ගිය නමුත්, උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යයනය කල ඉංග්‍රීසි පද්‍යවල ඔහු මැවූ රූ රටා තුළින් අපි පන්නරය ලැබුවෙමු.

ඉංග්‍රීසි බසින් ගද්‍ය පද්‍ය නිර්මාණකරනයේ යෙදී සිටින සහ සිටි ශ්‍රී ලාංකිකයින් සිටිනුයේ සීමිත සංඛ්‍යාවක් වන අතර ඒ අතර සිටි රිචඩ් ඩි සොයිසා මහතා අතින් 1977 – 1990 කාලය අතර තුර වටිනා සාහිත්‍යමය නිර්මාණ රැසක් නිර්මාණය විය. ඒ අතර

Gajaga Wannama

This other Eden and Collected Poems of Richard De Zoysa 1991

Animal Crackers

Lepidoptera 1983

Birds ,Beast and Relatives

Good Friday 1975

Sic Transit

Taking of Michel Angelo

The Poet

Rites of Passage -1984 යන නිර්මාණ විය. ඔහු සාහිත්‍ය කලාව උදෙසා කළ අනගි මෙහෙවර හේතුවෙන් ඔහුගේ සැමරුම් දිනට දින කිහිපයකට හෝ පසුව ඔහු පිළිබඳ සටහනක් තැබීම යුතුකමක් සේ සලකමින් මෙසේ ලියා දක්වන්නට තීරණය කළෙමි.

ඔහුගේ රචනා වල සමකාලින සමාජය සහ කියවීමෙන් ලද පුළුල් අත්දැකීම් පිළිඹිබු කරන අතර දේශපාලනය සහ බහුවිධ අර්ථ නිරුපණයන් සටහන් වේ. ඔහු සමාජ අසාධාරණයට, ළමා හිංසනයට සහ හිංසාවට විරුද්ධව කෙලින්ම තම ඇඟිල්ල දිගු කළේය.

ගුරුවරයකු ලෙස අපගේ අධ්‍යාපන පද්ධතියේ ඇති දුර්වලතා විවේචනයට ලක් කරමින්, ලැපිඩෝප්ටේරා (Lepidoptera ) පද්‍ය ඉතාමත් රසවත් මෙන්ම අරුත්බරව රචනා කළේය. තමන් වෙතට ඉගෙනීමට ආ දක්ෂ සිසුවකු එවකට පැවති ක්‍රමවේද තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබීමට අසමත් වීම මෙම පද්‍යයට සන්ධර්භය විය.නමුත් වසර කිහිපයකට පසු එම ශිෂ්‍යයා ඔහු අමතා පැවසුවේ තමා විදේශගත වී පශ්චාත් උපාධියකට සුදානම් වන බවයි. Lepidoptera යනු සමනලයාට යෙදෙන තවත් වචනයකි. සමනලයකු මෙන් අප වෙතට පැමිණෙන දරුවා තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළින් සිරකර ඔහුගේ අලංකාර තටු කපා දමන්නෙමු. මෙතැනදී ගුරුවරයා මෙන්ම දරුවාද අසරණය. අධ්‍යාපනික පාලක පන්තිය ඔවුන්ගේ පමණ ඉක්මවා ගිය බලය පාවිච්චි කර දරුවාගේ ජිවය (Spirit ) නසා දමන අතර,  ඔහු පැමිණෙන අධ්‍යාපන මට්ටම "වර්ධනය "ලෙස ලේබල් කරයි. රිචඩ් පවතින අධ්‍යාපනික රටාවෙන් දරුවකු පිඩනයට පත්වෙන ආකාරය දක්වන්නේ (Flat with Heavy Footed ) බර පාවහන් වලින් පාගා දැමීමක් ලෙසිනි. විශ්වවිද්‍යාලයේ දී ඔහු දේශපාලන අතකොළුවක් බවට පත්වේ.

ගජගා වන්නම යනු දේශීය වන්නම් 18න් හස්තියාගේ හැසිරීම නිරුපණය කරන අලංකාර කළා අංගයකි. "Gajaga Wannama " නමැති ඉංග්‍රීසි පද්‍ය තවත් ඔහුගේ විවේචනාත්මක නිර්මාණශීලි මෙන්ම විවාදයට ලක්වූ කාව්‍යයකි.1983 ජුලි කලබල සමයේදී පාලනය සහ නීතියේ බලය අතට ගත් දේශපාලන හෙන්චයියන් පිරිසක් හැසිරුණ ආකාරය මින් විස්තර කරයි. ඔහු මෙහිදී "අලියා " යන පදයෙන් කිසියම් දේශපාලන පක්ෂයක ශිෂ්ඨ නොවූ කොටසක් අර්ථවත් කල බව කියවේ." "The Elephants are out Last Night They marched "

සාහිත්‍ය කලාවට මෙන්ම සමාජයට විසල් මෙහෙවරක් කිරීමට හැකියාව තිබු බුද්ධිමත්, උගත් පුද්ගලයකු වසර 32ක් වැනි අඩු වයසකදී රටට අහිමි විය. ඒ සිය මෑණියන් වන වෛද්‍ය මනෝරානි සෙල්වමුත්තු මහත්මිය සමග සිය නිවසේ සිටියදී 1990 පෙබරවාරි `18 වන දින නාඳුනන පිරිසක් විසින් ඔහු ඝාතනයට ලක් කිරීමෙන් ය. ඒ කුරිරු මිනිසුන් ඒ අහිමි කරන ලද්දේ ලොවට වටිනා සම්පතක් ය. 

ඉදින් අප ඔබ වෙනුවෙන් මෙසේ පතමු. 

දයාබර ගුරුතුමනි .....

මෙවන් කුරිරු සමාජයක මතුදා නොයිපදේවා !

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

Top