යථාර්ථ චරිත සම්මුඛ කරන ටෙලිය - "එයා දැන් බැඳලා" (793)

post-title

"උඹ ජීවිත කාලෙම කරේ සීතා දේවිලා ගෙනල්ලා අම්බපාලිලා කරලා පාරට දාපු එක. උඹ මගෙ අම්මට කරෙත් ඒ ටිකමයි."

මේ තාක් නරඹපු කොටස් ඇතුළෙ මගෙ හිත හොලවපුම දෙබස. සිරි මාමාගේ හදවතේ දෙහි කට්ටකින් පාරන තුවාලයක් වගේ අම්මා ගැන තිබෙන්නා වූ මතකය අම්බපාලියක් වූ සුද්දිව සීතාවක් කරන්නට නිරායාසයෙන් ම පොළඹවන්නට ඇති. මග හැරුණු අම්මාව සුද්දිගෙන් දකින්නට හිතෙන්න ඇති. ආදරයට පස් මහ බැලුම් නොබලන පිරිමි පුදුම රෝමාන්තිකයි. සිරී එහෙම මනුස්සයෙක්. එහෙව් පිරිමි නිසා ගෑණු සංසාරය පුරාවට නිවෙනවා. ඇවිලෙනවා. නැවත නිවෙනවා. 

මැදි වයස ඉක්මවූ සිරීගේ තොල් වල ඇදෙන ළදරු හිනාව, ඇස් අගින් රැලි වැටුණ බැල්මේ අහිංසක කම, දුක හිතුනම බොර පාට වෙන ඇස් ජීවමාන කරන ඒ පුංචි ඇගක් ඇතුලෙ ජීවත් වෙන යෝධ කලාකාරයා මහේන්ද්‍ර පෙරේරා පුදුමාකාර නළුවෙක්. ඇස් උඩ තියාගෙන කට ඇරගෙන බලන් ඉන්න පුළුවන් නිර්මාණ වලට දායක වෙන අපූරු රංගන ශිල්පියෙක්. කලාව නිසා ඔහු පවතිනවා නොව ඔහු මත කලාව පවතින බව මට හැගේ.

සිරී මාමගෙත් , මනීගෙත් අප්පච්චිගේ චරිතය විදහාපාන්නේ ඔයා මම ජීවත්වෙන සමාජයේ කුණු මුල්ලක පොදු කුලකයක්. උන් කැමති නෑ ගෑනුන්ට උන්ගෙම කියන ජීවිත ඇතුළෙ හුස්ම ගන්න දෙන්න. සමාව දෙන්න. උන්ට ඕනෙම ගෑණුන්ගෙ ආත්ම කොනිති ගහන්න. ඒ කැළැල් දැක දැක සුරාන්තය වැනි හැගීමක් ලබන්න. ඉතින් එහෙව් කුලක වල චරිත කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ අම්බපාලිලාට සීතා දේවියො වෙන්න දෙන්න. සීතා දේවියන්ට පාරමී පුරන්න ඉඩ දෙන්න. කොටින්ම උන් කැමති නෑ ගෑනු නිසා උන්ගේ ආතල් කඩාගන්න. උන්ට ඕනෙ ආතල් ගන්න. අන්න ඒකයි ඉහ නිකට පැහිච්ච අප්පච්චි තමන්ගේ ලිංගික මාත්සර්ය සිරීගෙත්, සුද්දිගෙත් යුග ජීවිත මත විහිදන්නෙ. කුඩා සැලසුම් දියත් කරලා ගොරකා ලොද ඇස් වලින් හිනාවෙන්නෙ. අප්පච්චිගෙ චරිතයට පන දෙන සරත් කොතලාවල කියන්නෙ ලේ වෙනුවට ඇගේ රංගනය දුවන කලාකරයෙක්ද කොහෙදෝ.. ඕක මං එතුමාව දකින හැමතැනකම හිතනවා.

සීත, වසන්ත, ගිම්හාන, සරත් කියන හැම ජිවන සෘතුවමකම මනී වගේ ආත්ම මනුස්සයෙක්ට හයිය වෙන්න ජීවත් වෙන්න ඕනෙ. කුණාටු කාලෙට මහ තදින් අල්ලගන්න ඒ වගේ උන් ඕනේ මිනිස්සුන්ට වාරුවක් වෙන්න. දකින දෙය, දැනෙන දෙය තෝරා බේරා දෙන එහෙම ගස් වගේ මිනිස්සු හරි සෙවණයි ජීවිතේට. නළුවෙක් වගේ ප්‍රදීප් කියලා නෙමෙයි ප්‍රදීප්ලා වගේ නළුවො කියලා ඕඩියන්ස් එක කියනවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. ප්‍රදීප් රාමවික්‍රම එච්චරටම දක්ෂයෙක්.

සුද්දිගෙ නම වගේ හම වගේ චරිතෙත් ලෝකයා සුදු හොයනවා. උන්ට අමතක වෙලා අපි සුදු, කළු කවලම් අළු මිනිස්සු වග. සුද්දිලාට පුලුවන් අතීතය අමතක කරන්න. පපුව පැලෙනකම් ආදරය කරන්න. පතිනි දම් පුරන්න. පිච්ච වැලක් වගේ හැඩ වෙන්න. හැබැයි බහුතරය කැමති නෑ ඉඩදෙන්න. වේ%* ගැහැනුන්ටත් පුළුවන් හැදෙන්න. හැබැයි සමාජෙට බෑ හැදෙන්න. පිළිගන්න. ළැමට යටින් පන ගැහෙන හදවතක් ඇති බව පිළිගන්න. ඉතින් සුද්දිලාට රිදෙනවා. රිදි රිදී ජීවත්වෙනවා. ඔහේ බලාගෙන හිත ගල් කරගන්නවා.. සුද්දිට ඉඩක් නෑ සුද්ද වෙන්න. ලෝකයා පිළිගන්නෙ නෑ "එයා දැන් බැඳලා" . මං හරි ආදරේ කලාකාරිනියක් සුද්දිට පන දෙනකොට බලන් ඉන්න ආසයි. සේමිණි ඉද්දමල්ගොඩ හරි හැඩයි. ඊට වඩා එතුමියගෙ රංගනය හැඩයි.

"එයා දැන් බැදලා" බලන හැම මොහොතකම මගෙ ඇස් තෙත් වෙනවා. සිරී මාමාගෙ පපුවට සුද්දි නැන්දා තුරුළු වෙනකොට අනේ ඒ ආදරේ කියලා දැනෙනවා. සිරී මාමගෙ නිවස කළ එළි වෙනකොට,පිළිවෙල වෙනකොට, මිදුල මලින් හැඩ වෙනකොට, මුළුතැන්ගෙයි රසට බත් ඉදෙනකොට මේ එළිවෙන්නෙ, රසවෙන්නෙ මේ ගෙදර පිරිමින්ගෙ ජීවිතනෙ කියලා හිතෙනවා. නාට්‍යයේ පරිසරයේ හැමදාම හමන සුළග එක්ක කතාව ගලාගෙන යනවා. විටෙක මෘදුව, සැඩව. අපේ ජීවිත වගේ. මේ මිනිස්සු රගපාන්නෙ නෑ. ඔයා මම අපේ ජීවිත වල අඩුවැඩි වශයෙන් රගපාන චරිත ජීවමාන කරනවා.

මේක හැමෝම බලන්නම ඕනෙ වැඩක්. ප්‍රසන්න ජයකොඩි කියන්නෙ අන්න එහෙම කොලිටි වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක්. බදාගන්න, බෙදාගන්න, හදාගන්න ඕනෙ සමාජයේ අවුල් තැන් බලාපියව් කියලා තමන්ගේ නිර්මාණ තුළින් මවන පට්ට කලාකාරයෙක්.

ඉතින් මේක දැනෙන්න බලන්න පුළුවන් වැඩක්. මේ කලාකාරයොන්ට ආදරේ වග කියනවා ඇරෙන්නට වෙන මොනවා කියන්නද.. මනී එක තැනක කියනවා "අපේ අප්පච්චි කියන්නෙ කුණුහරුපයක්" කියලා. ඉතින් දන්නවද මනියෝ මේ මුළු ලෝකෙම කුණුහරුපයක් බන්.

Top