මිලිනව යන මල් කැකුළු (543)

post-title

දියණියක් කියන්නෙ නිවසකට මිණි පහනක්. නමුත් ආරක්ෂා කළ යුතු මැණිකක්. දැරියක්ව ඉපදෙන ඈ වයසින් මුහුකුරායත්ම යුවතියක් බවට පත්වෙනවා. තවත් ටික කාලයක් යද්දි තරුණියක් වෙනවා. විවාහපත් උනාම ඇයම ගැහැනියක් බවට පත්වෙනවා. ඇය වටා දරුවො පිරුණම ඇය අම්ම කෙනෙක් වෙනවා. දැරියක් වෙලා නැතිනම් ස්ත්‍රී ආත්මයකින් උපත ලබන මිනිස් දුවකගෙ පරිණාමීය කතාව ඔහොමයි. ඒත් අනාගතයේ උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලබන ඈ කුඩා වියේදීම විකසිත වෙන්නටත් පෙරාතුව මුකුලිත උනු මල් කැකුළු බවට පත්වෙලා යන ශෝචනීය යුගයක් අද වෙනකොට ඇරඹීලා තියෙනවා. කොරෝනත් එක්ක ගෙදරටම කොටුවෙලා ගොඩක් දෙනාගෙ මානසික සෞඛ්‍ය පිරිහිලා කියල සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා. ඒ නිසාම අපේ රටේ වගේම පිටරටවලත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින්. ඒ වගේම මිනිස්සුන්ගෙ විකෘති කාමාශාවනුත් දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. එය කොතරම්ද කියනවනම් කන්‍යාභාවය කියන එකත් මිල නියම කරන වෙළඳ භාණ්ඩයක් බවට පත්කරගෙන තියෙනවා. 

පසුගිය සති කිහිපය තුළ අවුරුදු 10 ත් 18ත් අතර ගැහැනු දරුවන් බොහෝ ප්‍රමාණයක් මුකුලිතව ගිය මල් කැකුළු බවට පත් වුණු පුවත් අහන්නට දකින්නට ලැබුණා. යුවතියක් කියන්නෙ පිපුණු මලක් නම් ඒ මලෙන් රොන් අරන් මල තළල දාල උපරිම කම්සැපත් විඳල කාමාතුර පිරිමි අයින් වෙලා යන්නෙ උපාසකවරු වගේ. බහුතරයක්දෙනා අද ආදරේ කියල අඳුරගෙන තියෙන්නෙත් කෙල්ලෙක්ගෙ පෙති සිඳල දාලා ගැහැනියක් කරන එක. අද සමාජයෙ දකින්න තියෙන දුක්ඛිතම කාරණය තමයි තාත්තයි දුවයි අතර වගේම අයියයි නංගී අතර තියෙන උත්තරීතර බැඳීමත් කාමය මුල්කරගෙන බිඳීල ගිහිල්ල තියෙන එක. අද සමාජයෙ ඉන්න පියවරු ඛාණ්ඩ හතරකට වර්ග කරල දක්වන්න පුළුවන්. ඉන් පළමුවැන්න තමයි තමන්ගෙ දුවට සීරීමක්වත් වෙන්න නොදී ආරක්ෂා කරන පියවරු. දෙවැන්න තමයි තමන්ගෙ දියණියව මලක් වගේ ආරක්ෂා කරල වෙනත් දියණිවරුන් සමඟ රතිකෙළියෙ යෙදෙන පියවරු. තෙවැනි අය තමයි වානිජය පරමාර්ථය කරගෙන තමන්ගෙම දුවව බිල්ලට දෙන පියවරු. සිව්වැන්න තමයි තමන්ගෙම ලෙයින් හැදුන දියණියගෙන් කාමාශාව සන්සිදවගන්න පියවරු. සහෝදරවරුද මේ විදියටම ඛාණ්ඩ හතරකට වෙන් කරන්න පුළුවන්. 

ඉශාලිනිය වගේ කොයිතරම් නම් මල් කැකුළු යකඩ සපත්තුවලට පෑගිල තැලිල පොඩිවෙලා ගිහිල්ල ඇත්ද? අද කාටවත්ම මතක නැති උනත් එදා යාපනේ විද්‍යාටත් උනේ කාමාතුරයන්ගෙ කුරිරු පහසට ලක්වෙන්න. පිපෙන්නටවත් නොදී කැකුළු පොහොට්ටු කාලෙම පරවුනු මල් කැකුළු ඉන්නවා. 15 වියැති දියණියගෙ කතාවෙ පියාම ඇයව අතවරයට පත්කරනකොට ලංකාවෙ විකෘති කාමාශාවන් තියෙන අනෙක් සලෙළුන් ගැන කවර කතාද. මත් වතුරයි රති කෙළියයි දෙකම අද අපේ රටේ මිනිස්සුන්ට නැතුවම බැරි දේවල් වෙලා. ඒ තරමට අද සමාජය පිරිහිල ගිහිල්ල. හවස හය හයහමාර වෙනකොට ගැහැනු දරුවෙකුට පාරෙ බැහැල යන්න බෑ. එතකොට වෙන්නෙ කාගෙහරි පහසකට නතුවෙන්න. ඇත්තටම අද ගැහැනු දරුවන් රැකගන්න සෑහෙන්න ලොකු පරිශ්‍රමයක් දරන්න වෙලා තියෙනව මේ සමාජෙ ඇතු‍ළෙ. කාමාශක්ත වූවන්ටත් නොතේරෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි තමන් මේ ලෝකෙට බිහි උනෙත් ගැහැනියකගෙ ම කුසින් බව. අනාගත දරු පරම්පරාවක් බිහිකිරීමට බලාපොරොත්තුවෙන් මෙළොව එළිය දුටු දියණිවරුන් පිපෙන්නටත් ප්‍රථම කෙළෙසා දැමීම කෙතරම් අයුක්ති සහගත ද? 

දැරියක්ව මෙළොව උපත ලබන්නේ තවකෙකුගේ කාමපහස සංසිදවීමට නොවේ. ඇයටත් මනුෂ්‍ය ආත්මයක් හිමි. ඇයටත් නිදහස හිමි. ඇය කිසිවිටෙක කිසිවෙකුගේ යටත්වැසියෙකු වියයුතු නැත. දැරියක්ව ඉපදුණු දා සිට ඇය විඳින වේදනාවන්ගේ තරම ගැන අවබෝධයක් ඇති පිරිස සිටින්නේ අල්ප වශයෙනි. දියණියක් දියණියක් වෙනුවෙන් හඬ නැගුවත් ගැහැනියක් ගැහැනියක් වෙනුවෙන් හඬ නැගුවත් ඇයව නීතිය ඉදිරිපිටට ගෙනයාමට පැමිනෙන්නේ තවත් එවැනිම දියණියක් හෝ ගැහැනියක් වීම මේ රටේ තියෙන අභාග්‍යසම්පන්නකමක්. දියණියක්ගෙ ආරක්ෂාව උන්නතිය වෙනුවෙන් හඬ නැඟීමටවත් මෙරට සිටින ස්ත්‍රීන්ට නොහැකිනම් ඇයට හිමි තැන කුමක්ද? දැරියකට,යුවතියකට,තරුණියකට ගැහැනියකට හිමි තැන ඇඳයි කුස්සියයි විතරද?

හිතන්න කිරිදැරියන් ඇඳට ගන්න සමාජයක් අද නිර්මාණයවෙලා තියෙන්නෙ කාගෙ වරදින්ද කියල. ගැහැනු පිරිමි දෙගොල්ලම තමන්ගෙ ආකල්පයි චර්‍යාවනුයි වෙනස් කරගත්ත නම් මේ රට ලස්සන රටක් කරන්න පුළුවන්. දැරියක්,ගැහැනියක් අලෙවිකරන ගණිකා මඩමක මැඩම් කෙනෙක් නොවී ඔබේම දියණිවරුන් වෙනුවෙන් ඔබේ යෙහෙළියන් වෙනුවෙන් හඬ නගන දිරිය කාන්තාවක් වෙන්න. ඒ වගේම ඔබේම දියණිය වෙනුවෙන් ඔබේම සොයුරිය වෙනුවෙන් ඔබේම බිරිඳ වෙනුවෙන් හඬ නගන පියෙක් වන්න.ඔබේම නැගෙනිය වෙනුවෙන් ඔබේම සොයුරිය වෙනුවෙන් හඬ නගන සොයුරෙකු වන්න. අද දුර්ජනයින් ඉන්න රටක් වෙමින් යන අපේ මව් රට සුදනන් ඉන්න උතුම් රටක් බවට පරිවර්තනය කිරීමට කාලඅවකාශයේ දොරටු විවර වෙනු ඇත.

#BBD0E0 »

Top