ශ්‍රී ලාංකේය නිදහස් සටන තුළ කාව්‍යමය භූමිකාව (164 වන ලිපිය)

post-title

විදේශීය ආධිපත්‍යයෙන් ස්වදේශයත් ස්වජාතියත් මුදවාගනු උදෙසා සිදුකරන ලද නිදහස් සටන්, විප්ලව ආදිය ලොව බොහෝ රාජ්‍යන් හි ඉතිහාසයන් ඇසුරෙන් අපට හඳුනාගත හැකි වෙයි. එවන් නිදහස් අරගල හා සබැඳුනු කාව්‍ය ශානරයක් ද නිදහස් අරගල සමගින් ම ඉතිහාසයේ පටන් වර්ථමානය දක්වා ගමන්කරන අයුරක් ද එකී තොරතුරු පිළිබඳ හදාරන්නෙකුට අවබෝධකර ගත හැකි ය. විශේෂයෙන් ලොව බිහිවූ එවන් අරගල හේතුවෙන් නිදහස උදෙසා ස්වකීය කවි අවිය මෙහෙයවූ විදේශීය කවීන් අතරින් ඉංදියාවේ රවින්ද්‍රනාත් තාගෝර්, ලතින් ඇමරිකාවේ පැබ්ලෝ නෙරූදා, පලස්තීනයේ අබු සල්මා, වියට්නාමයේ හෝ චිං මිං ආදින් අමතක කළ නොහැකි චරිතයන් ය.

මේ අතරිනුත් අපට ආසන්නම දේශය වන භාරතයේ 1885 දී ඇරඹූ ඉන්දියානු ජාතික සංගමය හා සබැඳිව නිදහස් අරගලයේ පුරෝගාමිත්වයක් ගනු ලබන තාගෝර්, චන්ද්‍රබෝෂ් ආදීන් වඩාත් ප්‍රභලය. ඔවුන් හරහා ඉංදියානු නිදහස් සටන තුළ සිටින්නවුන්ගේ ආකල්ප ගිනියම් වන අතර සිය ජාතිය දේශය පිළිබඳ හිතේෂී හැඟීම් ඔවුන් තුල අධිනිශ්චය වෙයි. නමුත් ලාංකේය නිදහස් සටන එවැනි උත්තුංග ජාතික ව්‍යාපාරයක් ඔස්සේ සිදුනොවන නමුත් නිදහස් අරගල බිමට ස්වකීය කවි බස අවියක් ලෙස අමෝරා වාග් සංග්‍රාමයේ නියුතු වූ කවීහු ද ලක් දෙරණත උන්හ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන ආදීන් ඒ අතුරින් විශේෂිත කවීන් තිදෙනෙකි. එවන් කවියන් නිදහස් සටනට දැක්වූ දායකත්වය පිළිබද අද 73වන නිදහස් දිනය සමරන මොහොතේ සිහිපත් කරන්නට මෙම ලිපිය මගින් අප උත්සහ කරමු.

ලාංකේය නිදහස් සටනේ සාහිත්‍යමය කාර්යභාරය ඉෂ්ඨ කළ කවියෙකු වශයෙන් ගැනෙන ටිබෙට් ජාතික එස් මහින්ද හිමි අප රටට වඩාත් ම විශේෂිත වෙයි. ඒ එ‘හිමි සිංහලයෙකු හෝ ශ්‍රී ලාංකිකයෙකු හෝ නොවුන ද මේ රට දැය වෙනුවෙන් අදීන හඬක් නගමින් ස්වකීය කවිය ආයුධයක් කොට මෙරට සිංහලයන් අවදිකර වීමේ උදාරතර වූ මෙහෙවර ඉෂ්ඨ සිද්ධ කළ නිසාවෙනි. 1901 දී පමණ මධ්‍යම ආසියාවේ සිකීම් දේශයේ උපත ලද ඒ හිමියන් ගේ ගිහි නාමය වූයේ එන්. කේ. තෂිනම්ග්‍යල් ය. පසුව ලංකාවට පැමිණ සිකීම් මහින්ද හෙවත් එස්. මහින්ද ලෙසින් පැවිදිව පසුකාලීනව ජාතික ව්‍යාපාරයට බද්ධ කාව්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියෙකු ලෙසින් සිංහලයන් තුළ ජාතිකානුරාගයක්, ජාතිකාභිමානයක් දනවමින් බටහිර ආධිපත්‍යයෙන් රට මුදවා නිදහස ලබා ගැනීම සඳහා දේශවාත්සල්‍යයක් ඇතිවන පරිද්දෙන් කාව්‍යකරණයේ නියුක්ත විය.

‘‘මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් හා ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමය සලකව් හැම දෙනම

යම් අවස්ථාවලදී කේසර සිංහයෙක් සිහනාද නගන්නාක් මහින්ද හිමි සකලවාසී ලාංකේය සිත් වෙත ආවේගාත්මකව කාව්‍යකරණයේ යෙදෙන අයුරුද දැක ගත හැකිය. එවැනි උද්වේගකර කාව්‍යයයන් මගින් ඇල්මැරුණු නිදහස් සටන ප්‍රමුදිත කරව්මට එහිමි උත්සුක වී ඇත.

‘‘කෙස්ගහ පවා පිට රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලූන්නේ’’

මහින්ද හිමියන් සේ ම ලාංකේය නිදහස් අරගලය සිය කවියෙන් ප්‍රබෝධමත් කළ තවත් සුවිශේෂි කවියෙකි ආනන්ද රාජකරුණාවන්. හේ එවක ‘සිංහල බෞද්ධයා’ හා ‘සිංහල සමය’ වැනි පුවත්පත්වල සංස්කාරක මණ්ඩලයේ සේවය කරමින් මෙන්ම පසුකාලීනව ‘බෞද්ධයා’ යන්ත්‍රාලයේ කෘත්‍යාධිකාරි තනතුර ද හොබවමින් සිය කවියෙන් නිදහස් සටනට පණ දුන්හ. විශේෂයෙන්ම එවක උදාසීනව උන් සිංහලයන් තුළ ජාතික හැඟීම් වර්ධනය කරමින් ජාතික නිදහස උදෙසා සිංහලයන් යොමුකරමින් පරගැති බවින් මිදීමට හා අන්ධානුකරණයෙන් මුදවා සුදු අධිරාජ්‍යවාදීනට කත් ඇදීමෙන් වලකා දීන සිංහලයන් අදීනයන් කරනට එතුමා සිය කවිය මෙහෙයවූ අයුරු විශිෂ්ටය.

‘‘විමසව් සිතව් සලකව් බාවනා කරව්
නිදහස් යන සතරකුර තුන් යම ම පුරව්
බියසුලූ ගතිය දොම්නස මෙ සියල්ල හරව්
සිංහල සිත් සතන් ගෙන ලක් දිනිති සරව්’’

හුදු කවියෙක් ලෙසින් පමණක් නොව සිය සමස්ථ ජීවිත කල් ක්‍රියාවෙන් ම අභීත සිංහලයෙක් වූ ආනන්ද රාජකරුණාවෝ පරගැති සිරිත් සියල්ල ඉවතලූවෙක් ද වෙයි. නිදහස් අධ්‍යාපන පණත රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අනුමත කර ගන්නට මෙන්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරවන්නට ද එතුමා ගත් උත්සහය ප්‍රශංසනීය ය. නිදහස් අරගලය වෙනුවෙන් සිය දිවියම කැප කරන්නට වුව සූදානම්ව සිටි එතුමා සෑම මොහොතක ම අධිරාජ්‍යවාදය ට එරෙහිව යමින් හෙලයන් ප්‍රබෝධමත් කරවන උදාර කවි රචිතය.

”අදිරද වහල් බැමි ඔළුවලටත් ඉහළයි
නිදහස ලබන්නේ අපි ඒ බැමි ලිහලයි
මා මේ කියන්නේ තරමක් පද වහලයි
කඩතොත් කැඩිය යුතු අදිරදයේ වහළයි’’

නිදහස් සටන වෙනුවෙන් සාහිත්‍යමය මගපෙන්වීමක යෙදෙමින් අරගලයන් ශක්තිමත් කරන්නට වෙහෙසුන තවත් ලාංකේය සාහිත්‍යකරුවෙක් ලෙසින් පියදාස සිරිසේනයන් හඳුනාගත හැකි ය. එවක සුදු අධිරාජ්‍යයන් විසින් ලාංකේය ජන සමාජය මත්වතුර ආදිය ට හුරුකරවන්නට දරන වෑයමට එරෙහිව යමින් ‘‘සිංහලයිනි නැගිටිව්, පවුල් දිවිය වනසන මත්පැනින් වැළකෙව් ’’ යනුවෙන් අභීත හඬක් නැගීය. නිදහස් සටන වෙනුවෙන් සිරගත වූ ප්‍රථම ගත්කතුවරයා ලෙසින් ද ප්‍රකටත්වයක් ලබන මෙතුමා ද සිය රට ජාතිය සුරැකීම උදෙසා අභීත සිංහ නාදයක් නිකුත් කළ සිංහල පුතණුවෙකි.

‘‘පළකොට කෙසර සිහනද අභිරු එඩියෙනි
මගෙ රට දැය මුදනු වස් සටනට පැමිණි
වරදට හසුව සිටියත් සිරගෙයි සොවිනි
සිහියට නඟමි හෙළ දෑ අභිමන පැරැුණි’’

1903 දී ‘සිංහල ජාතිය’ නමින් පුවත්පතක් ඇරඹූ මෙතුමා ක්‍රිස්තියානි ආගම හා බටහිර සංස්කෘතිය නොමුසු වූ පුවත්පත් කලාවක් ඇරඹුමෙහි පුරෝගාමියෙකු ද වෙයි. පර සිරිත් හෙලා දකිමින් සිංහලයාට තම ජාතිය පිළිබඳ හැඟීමක් ඇතිවන පරිද්දෙන් සිය ලිපි නිර්මාණය කරන්නට එතුමා සැමවිටම කටයුතු කළහ.

මෙවැනි වූ සාහිත්‍යමය මැදිහත් වීමක් කරමින් ලාංකේය නිදහස් අරගලය වෙනුවෙන් සිය පන්හිද මෙහෙය වූ තවත් බොහෝමයක් නිර්මාණකරුවන්ගේ වාග් සංග්‍රාමයන් මේ ලක් දෙරණේ නිදහස වෙනුවෙන් අවකාශගතව ලාංකේය ප්‍රජාවගේ සිත් තුළට රට ජාතිය ආගම පිළිබඳ ජාතිමාමකත්වයක් ඇති කරලන්නට සමත්වීම යන හේතුවද මෙරට නිදහස් අරගලය තව තවත් ශක්තිමත් කරන්නට ඇති බැව් නම් නිසැකය.

Top