ඔයා තමයි හොඳ ම කෙනා. එහෙම හිතලා වැඩ කරන්න (197 ලිපිය)

post-title

ජීවිත මාවත දිගේ ඉදිරියට යද්දි අපිට බොහෝමයක් මිනිසුන් මුණ ගැහෙනවා. ඒ හැමෝම සාමාන්‍ය මිනිස්සු. හරියට ඔබ මම වගේ ම තමයි. බුදුහාමුදුරුවො නම් කියුවෙ අපි හැමෝම පෘථග්ජන මිනිස්සු කියලානෙ. ඒ හින්දම අපි ට තියෙන්නෙ නිතර කඩා වැටෙන, රිදෙන හිතක. ඒ වගේ ම සංවේදී හිතක්. ඉතින් නිතර කඩා වැටෙන හඬන රිද්දගන්න හිතක් එක්ක ජීවිතේ ඉස්සරාට යන්න කිසිම කෙනෙක් ආස නැහැ. අනිත් එක තමයි අපි පුංචි දේකදි හරියට දුක් වෙනවා. එහෙම හිතලා ලෝකෙම අහිමි වුණා කියලා දුක් වෙනවා. ඉතින් ඒ හින්දා ම අද අපි කතා කරමු ද අපේ වටිනාකම් ගැන.

ඔබ ජීවිතයේ කවමදාක හෝ ඔබ ගැන අවතක්සේරු කරලා තියෙනවා ද? මම දන්නවා ඔබගෙන් ඔය ප්‍රශ්නය ඇහුව ගමන් ම ඔබට සිහිවේවි ඔබ ඔබ ගැනම අවතක්සේරු කළ අවස්ථා. විශේෂයෙන්ම ඉගෙන ගන්නා වයසේ පසුවෙන බොහෝමයක් දරු දැරියන් තමන් පිළිබඳ ව පසුවන්නේ හීනමානයකින්. මම ඒ විදියට ඉගෙන ගන්න සිසුන් ම ඉලක්ක කරලා ඒක කියුවෙ දැන් දැන් ලැබෙන ප්‍රතිචාර එක්ක අපේ වචන වෙබ් අඩවිය කියවන්න බොහෝමයක් පාසල් සිසුනුත් එන බව මම දන්න නිසයි. ඉතින් අපි අද එයාලටත් ඔයාලටත් දෙගොල්ලන්ට ම වඩාත් වැදගත් වෙන දෙයක් කතා කරමු. 

මම මගේ ජීවිතයේ දි මට මුණ ගැසුනු බොහෝමයක් දරු දැරියන් සමඟින් කරන ලද කතාබස් වලින් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඔවුන් බොහෝ දෙනෙක් තමන් පිළිබඳවම අවතක්සේරුවෙන් පසුවෙන එක. වරක් මම එක්තරා පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟින් කරන ලද වැඩසටහනක දී ඔවුන්ට ගෙන ගිය යෝජනාවක් උනේ “ඔබ මෙවර උසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථමයා විය යුතුයි” කියන ධනාත්මක යෝජනාව. මම එතනදි ඒ යෝජනාව ඉදිරිපත් කළ සැනින් ම ඒ ළමයින් ට දෙවරක් නොසිතා ඒ පිළිබඳව සිතට එන අදහස් ඉදිරිපත් කරන්න කියුවා. සමහර ළමයි එක්වරම ප්‍රකාශ කළේ මෙන්න මෙහෙම අදහස්.

“අපෝ අපි කවුද? ඉතින් එච්චර දේවල් කරන්න”

“හීනෙන්වත් එහෙම හිතන්න බැරිවෙයි අපට”

“අපට වඩා දක්ෂ ළමයි කොච්චර ඉන්නව ද?”

“අපේ ඉස්කෝලවලට වඩා ටවුන් වල ඉස්කෝල ළමයි කොච්චර දක්ෂ ද?”

මෙන්න මේ වගේ අදහස් රාශියක් ඒ ළමයි ඉදිරිපත් කළා. කොහොම නමුත් ඒ හැම අදහසකින් ම ප්‍රකාශ වුනේ ඒ ළමයි කවර හෝ හේතුවක් නිසා තමන් පිළිබඳ ව අවතක්සේරුවකිනුත් වෙනත් නාගරික හා කොළඹ ආශ්‍රිත පාසල් ළමුන් පිළිබඳ අධි තක්සේරුවකිනුත් බලන බවයි. ඒ සඳහා බොහෝ වෙලාවට හේතු වුනේ ඔවුන් ගේ අවිඥානික විස්වාසයක් පැවැතුනා නගරේ ළමුන්ට වැඩි දැනුමක් ලැබෙන බව, ඔවුන් ට හොඳ ටියුෂන් පන්ති තියෙන බව, ඔවුන් ට හොඳ ගුරුවරු ඉන්න බව වගේ හේතු. කොහොම නමුත් වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව අතර මේ පැතිර ගොස් ඇති තමන් පිළිබඳ තමන් තුළ ඇති අවතක්සේරුව ඔවුන් ගේ අනාගත ජිවිතවලට විශාල හානියක් ලෙසින් තමයි අපි දකින්නේ. ඉතින් ඒ නිසාම අද මම තෝරා ගත්තා ඒ වගේ තමන් ගැන අවතක්සේරුවෙන් හිතන අය වෙනුවෙන් පුංචි කතන්දරයක් කියන්න. 

එක්තරා නගරයක කපුටෙක් වාසය කරා. මේ කපුටා නගරය පුරා පියාසර කරමින් තමන්ගේ දෛනික ජීවිතය පුරාවට නිදහස භුක්ති විඳිමින් මේ විදියට කාලය ගෙවන අතර දවසක් ඌ දැක්කා හංසයෙක් ව. හංසයා බොහෝම ලස්සනයි. සුදුපාටයි. ඒ නිසා කපුටා හිතුවා හංසයා හරිම වාසනාවන්ත සතෙක් කියලා. එහෙම හිතුව කපුටා හංසයා ළඟට කිට්ටු වෙලා මෙන්න මෙහෙම ඇහුවා.

“ඔබ බොහොම ලස්සනයි. ඔබ වෙන්න ඇති නේද ලොකෙ සතුටින්ම ඉන්න සතා”

කපුටා දිහා බොහොම දුකින් බැලුව හංසයා කියුවෙ වෙනම කතාවක්

“නෑ... ගිරවා මුණ ගැහෙනකල් මමත් එහෙම හිතාන උන්නා. ඒත් ලෝකෙ සතුටින්ම ඉන්න සතා මම නොවෙයි. ගිරවා තමයි ඒ සතා. ඌට කොල පාට ලස්සන ශරීරයක් විතරක් නෙවෙයි. ලස්සන රතු හොටක් මාලයක් එහෙමත් තියෙනවා නෙ. ඒ නිසා ගිරවා තමයි සතුටින්ම ඉන්න සතා”

ඒ කතාව ඇහුව ගමන්ම කපුටා ගිරවා ව හොයාන ගියා. එතනදි ගිරවා ගෙන් කලින් ප්‍රශ්නය ම ඇහුවා. ඒ වෙලාවෙ ගිරවා දුන්නෙත් වෙනස් උත්තරයක්.

“නෑ මම නෙවෙයි ලෝකෙ සතුටින්ම ඉන්න සතා. මොනරා තමයි සතුටින්ම ඉන්නෙ. බලන්නකෝ එයා ගෙ ඇඟේ ලස්සන. එයාට පාට ගොඩක් තියෙනවා”

ඊට පස්සෙ කපුටා මොනරෙක් ව හොයාගෙන යන්න පටන් ගත්තා. එහෙම යද්දි සත්තු වත්තක කූඩුවක දාල උන්න මොනරෙක්ව කපුටා ට මුණ ගැසුනා. කපුටා හෙමින් සැරේ මොනරා ළඟට කිට්ටු කරා. ඒ වෙත්දිත් සෙනඟ විශාල ප්‍රමාණයක් මොණරා උන්න කූඩුව ළඟට වෙලා ඌ දිහා බල බලයි උන්නේ. කපුටා මොණරා ළඟට ළං වෙලා මෙහෙම ඇහුවා.

“ඔබ වෙන්න ඇති නේද මේ ලෝකෙ ඉන්න සතුටුම කෙනා. අපිව දැක්කම මිනිස්සු අපිව එළවනවා. ඒත් ඔබ දැක්කම මිනිස්සු ඔබට වටවෙලා බලන් ඉන්නවා. ” 

ඒත් ඒ කතාව ඇහුව ම මොණරා දුන්නෙ කපුටා කවදාවත් ම බලාපොරොත්තු නොවුණ පිළිතුරක්. 

“නෑ යාලු, මේ ලස්සන නිසා මම විඳින්නෙ දුකක්. ලස්සන හින්දා මාව අල්ලාගෙන ඇවිත් මේ කූඩුවෙ හිරකරා. දැන් මට යන්න විදියක් නෑ. මට ඔන දෙයක් කරන්න විදියක් නෑ. මම මේ ළඟදි තේරුම් ගත්ත දෙයක් තමයි මේ ලෝකෙ සතුටින් ම ඉන්න සතා කපුටා වෙන්න ඇති කියන එක. මොකද මිනිස්සු කවුරුත් ම කපුටන් ව අල්ලලා හිර කරන්නෙ නැහැ නෙ. ඒ අතින් නිදහසේ ඉන්න කපුටො කොයිතරම් නම් සතුටින් ද? කියලා මට හිතෙනවා.

ඒ කතාව ඇහුවම ඇත්තට ම කපුටා ට හිතුනා ඒ කතාව කොයි තරම් නම් ඇත්තක් ද කියලා. ඔබත් අන්න ඒ වගෙයි. ඔබ ඔබේ ළඟ තියෙන දක්ෂතා හැකියා පිළිබඳ සැළකිලිමත් වෙන්නෙ නැහැ. ඔබ හිතන්නෙ වෙනත් අයගෙ දක්ෂතා ගැනයි. ඒ අය සමඟින් ඔබ ඔබව සසඳනවා. ඒක වැරදියි කියලා කොයිතරම් කියුවත් ඔබ තේරුම් අරගන්නෙ නැහැ. එහෙම හිතලා ඔබ දුක් වෙනවා. ඒ නිසා අද ඉඳන් ඔබ ඔබව තේරුම් ගන්න. ඔබ ගාව තියෙන දේවල් ගැන සතුටුවෙන්න. අවතක්සේරු කරන්න යන්න එපා. එවිට ඔබට වැටහේවි ඔබ මේ ලෝකයට කොයිතරම් වැදගත් දක්ෂ කෙනෙක් ද කියන එක. 

Top