තාරුණ්‍යය වසඟ කරගත් සමාජ මාධ්‍යය (707)

post-title

ගෝලීයකරණය වූ අද්‍යතන සමාජ සංදර්භය තුළ මිනිසා, තාක්ෂණීක මිනිසෙකු බවට පරිවර්තනය කරමින් අද වන විට ඔවුන්ව තාක්ෂණයේ ගොදුරක් බවට පත් කරගෙන ඇත්තේ ඔවුන්ටත් නොදැනීමය. දිනෙන් දින වෙනස් වෙමින්, දියුණු වෙමින් ඉදිරියට ඇදෙන මෙකී තාක්ෂණය හමුවේ මිනිසාගේ සන්නිවේදනය පවා එක්තරා අයුරකින් සීමා කිරීමට ද සමත් වී ඇත. ඒ මිනිසාගේ සන්නිවේදන මාර්ගයන් බොහෝමයක් සිදුකර ගැනීමේ හැකියාව තාක්ෂණයට භාර දීමත් සමඟ ය. අද්‍යතන තාක්ෂණය සමඟ ඉදිරිගාමී වෙමින් ගමන් කරනු ලබන නූතන සමාජ ප්‍රපංචය තුළ සමාජ මාධ්‍යය යන්නට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. එසේ වුවත් විශ්වව්‍යාපීව දිනෙන් දින හමුවන මෙම සමාජ මාධ්‍යය තුළ ලක්ෂ සංඛ්‍යාත පුද්ගල ප්‍රමාණයක්, විවිධාකාරයෙන් අයුරින් වෙනස් වන මෙම සමාජ තලය තුළ ඔවුන්ගේ ජීවිතවල නව පිටුවක් පෙරළන්නට ඔවුන් උත්සුක වී ඇත. නමුත් ඒ තුළ පවතිනුයේ සමාජ මාධ්‍යය, තමන්ව ඇබ්බැහි කර ගනිමින්, තම ජීවිත බිලි ගන්නා සැබෑම ගොදුරක් වන බවයි. එසේ වුවත් එය තවමත් ඔවුන්ට වැටහී නැත. කෙසේ වෙතත් මෙහි පවතින දරුණුතම ඛේදවාචකය වනුයේ රටක ජීවනාලිය වන නූතන තරුණ ප්‍රජාව මෙම සමාජ මාධ්‍යයන් වෙත වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටීමයි. එමෙන්ම මෙම ප්‍රශ්නය වර්තමානය වන විට මුළු මහත් සමාජයේ ම අනාගතය තීරණය කරන්නා වූ ප්‍රබල ප්‍රශ්නයකි.

ඕනෑම රටක ශක්තිමත් ආණ්ඩුවක් පවා පෙරළා දැමිය හැකි බලයක් ජනමාධ්‍යය සතුව පවතී. ඒ නිසාවෙන් ම එය රටක සිව්වැනි ආණ්ඩුව වශයෙන් සලකනු ලබයි. එසේ වුවත් විසිවන සියවසේ ආරම්භයේ සිට ම ප්‍රබල ව පැවති පුවත්පත, ගුවන්විදුලිය සහ රූපවාහිනිය තුළ සිදු වී ඇති සමාජීය පසුබෑම හමුවේ සමාජ මාධ්‍යය අද වන විට ශීඝ්‍රයෙන් සමාජය වෙනස් කිරීමට පටන් ගෙන ඇත. අන්තර්ජාල තාක්ෂණයේ අති දැවැන්ත වර්ධනයත් සමඟ සමාජ මාධ්‍ය සංකල්පය ලොව පුරා ප්‍රචලිත වනුයේ අනෙක් සියලු සීමාවන් ද අතික්‍රමණය කරමින් ය. ඒ නිසාවෙන් පුවත්පතට, ගුවන්විදුලියට සහ රූපවාහිනියට සමාජයේ තිබූ තැන අද වන විට සමාජ මාධ්‍යය වේගයෙන් අත්පත් කර ගනිමින් සිටියි.

සමාජ මාධ්‍යය යනු, එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා සහ ජීවිත සම්බන්ධතා යනාදිය එකිනෙකා සමඟ හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන අන්තර්ජාල වේදිකාවයි. facebook හෙවත් මුහුණු පොත, Twitter, Whatsapp, Imo, Youtube යනාදී වශයෙන් පවතින්නා වූ සමාජ මාධ්‍යයන් අතර Facebook හෙවත් මුහුණු පොත මිනිසුන් අතර ප්‍රධානතම සමාජ මාධ්‍යය බවට පත් වී ඇත. එය එසේ වනුයේ ඒ වටා එකතු වී සිටින සුවිශාල ජන සංඛ්‍යාව නිසාවෙනි. 

වර්තමානයේ ලාංකේය ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකතන භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එයිනුත් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරනු ලබන්නන්ගේ අති බහුතරය සමාජ මාධ්‍යයන් පරිශීලනය කරන්නන් ය. ඒ නිසාවෙන් සමාජ මාධ්‍යය හරහා මුදා හරිනු ලබන ඕනෑම තොරතුරක් ඉතා කෙටි කාලයක් තුළ ග්‍රාහකගත වීම සිදුවේ. නමුත් මෙසේ ග්‍රාහකගත වන තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ගැටලු රැසක් අද වන විට සමාජය තුළ පැන නැඟී ඇත. පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට බලපෑම් කරමින්, කවුරුන් කැමති වුවත් අකමැති වුවත් සමාජ මාධ්‍යය විසින් රටෙහි සමාජ මතය හසුරුවන තත්ත්වයකට අද පත් ව ඇත. එසේම වර්තමානයේ දී වංචනික සහ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා පහසුම මෙවලමක් ලෙස ද සමාජ මාධ්‍යයන් යොදා ගැනෙන අතර එය ප්‍රබල සමාජ ඛේදවාචකයක් බවට ම අද වන විට පත් වී ඇත. කෙසේ වෙතත් මෙහි ප්‍රධානතම ගොදුර බවට පත් ව ඇත්තේ තරුණ පරපුරයි.

විශේෂයෙන් ම කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වූ අති විශාල කඩා වැටීමත් සමඟ එම තත්ත්වය කිසියම් ප්‍රමාණයකින් හෝ සමනය කර ගැනීමට නම් තාක්ෂණය උපයෝගී කර ගනිමින් මාර්ගගත ක්‍රමයකට හැඩගැසීමට තරුණ ප්‍රජාවට සිදුවිය. මේ සඳහා තමන් අතට ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් ලැබුණු පසු ඔවුන් පෙළඹෙනු ලැබූයේ එයින් අධ්‍යාපනය ලබා ගැනීමට වඩා සමාජ මාධ්‍යයන් තුළ සැරිසැරීමට ය. මෙසේ මිනිසා විසින් ම දියුණු කරනු ලැබූ තාක්ෂණය හා බැඳුණු සමාජ මාධ්‍යයන් එකී මිනිසාව ම ගොදුරක් බවට පත් කරගෙන ඇත. එසේම සමාජ මාධ්‍යය තුළ පවතින ප්‍රචණ්ඩකාරී අදහස් සහ දර්ශන නැරැඹීමට හෝ අනුකරණය කිරීමට නූතන තරුණ පරම්පරාව ඇබ්බැහි වී ඇත. එමෙන්ම සයිබර් අපරාධවලට ගොදුරුවීම, මත්ද්‍රව්‍යවලට හුරුවීම යනාදියට ද තරුණ තරුණියන් ව සමාජ මාධ්‍යය ඔස්සේ නතු කරගෙන ඇත. මේ අයුරින් කායික මෙන්ම මානසික ගැටලු රාශියකට මුහුණ දීමට සමාජ මාධ්‍යයන් අවභාවිතය තුළින් තරුණ ප්‍රජාවට සිදු වී ඇත. තවද තරුණ තරුණියන් සමාජ මාධ්‍යයන් තුළ නිතර නිතර හැසිරීම තුළින් ඔවුන්ගේ නින්දට ද විටෙක බාධා ඇති කරනු ලබයි. එකිනෙකා සමඟ අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගෙන යාමට බාධා පැමිණීම ද මෙසේ සමාජ මාධ්‍යයන් කෙරෙහි ඇබ්බැහි වීම මඟින් සිදුවනු ඇත.

එහෙයින් තරුණ ප්‍රජාව සමාජ මාධ්‍යයන් භාවිතය පිළිබඳ ව නිසි අවබෝධයක් ලබා ගනිමින්, තමා ස්වයං පාලනයකින් යුතුව එකී සමාජ මාධ්‍යය තුළ සැරිසැරීමට වගබලා ගත යුතුය. එවිට අවභාවිතය නිසා තරුණ ජීවිත බිලි ගන්නා සමාජ මාධ්‍යයෙන් ම, එහි යහපත් දේ පමණක් ජීවිතය ලබා ගැනීම තුළින් සාර්ථක තරුණ ජීවිතයක් ළඟා කර ගැනීමට අප සැමට හැකියාවක් ලැබෙනු ඇත.

Top