රමණීයත්වයේ සුසංයෝගයෙන් කලාව උපදී .(552)

post-title

'මේ කිරුළ බර වැඩි දේවී' ගීතය ඇසුරෙන් .

සුන්දරත්වයේ ස්වාභාවය වූ කලී සෞන්දර්ය ලෙස හැදින්විය හැක. එනම් මෙම සෞන්දර්ය සමාජය වෙත රැගෙන යන සුන්දර වාහකයා වනුයේ කලාව හා කලාකරුවා ය. එය සෞන්දර්ය, කලාකරුවා, රසිකයා ලෙස භූමිකා ත්‍රිත්වයක් ඔස්සේ ගමන් කරයි. තවත් ලෙසකට කිවහොත් ස්වාභාව දහමේ විසිරී ගිය රමණීයත්වය එකතු කර කලාව නිර්මාණය වී තිබේ. කලාවේ අවසන් අරමුණද රමණීයත්වත් ලබා දීමයි.

රවීන්ද්‍රනාත් තාගෝර් යන ලෝක ප්‍රකට දාර්ශනිකයා පවසා ඇති අන්දමට කලාව යනු අන් කිසි දෙයක් නොව අපගේ හදවතේ විකසිත වන ප්‍රේමයයි . ප්‍රේමය යනු ලෝක ප්‍රජාවන්ට අවශ්‍ය සාධකයක් ය . එනම් ලොව ස්ප්ත වර්ණ , රේඛා , චලන , ශබ්ද , වචන මගින් මිනිස් සිත තුළ පහළ වන භාවයන්ගේ භාහිර ප්‍රකාශනයක්. එම ප්‍රකාශය විවිධ කලා ධාරාවන් ඔස්සේ ප්‍රකාශනය කිරීමට හැක. 

එනම් කලාවේ අරමුණ වූ රමණීයත්වයේ අපූර්ව සුසංයෝගක් ලෙස ඉදිරිපත් වීමයි. බණ්ඩාර ඇහැලියගොඩ විසින් රචිත රෝහණ වීරසිංහයන් විසින් සංගීතය සපයන අමරසිරි පීරිස් ශූරීන් ගායනයෙන් දායක වන "මේ කිරුළ බර වැඩී දේවී"යන ගීතය ඇසුරෙන් එය මනාව ධාරණය කර ගැනීමට බලමු.

මෙහි එන ස්වාමියා ධනධාන්‍ය ආදී සම්පත්තීන්ගෙන් සරුසාර බල ඇති අයෙක්. ඔහු තම දේවී සමග මේ යන්නෙ ඒ සියලු වස්තූන් අතහැර දමා. දේවිය හමුවේ එන මේ ස්වාමියාව නැවත වරක් කිරුලු පළදන දේවියට ඔහු පවසන්නෙ ප්‍රේමයේ මිණි කිරුළ ඊටත් වඩා බර බව. මෙය ස්වාමියා මතකාවර්ජනයේ යෙදෙන අවස්තාවක්. ඒ වනවිට දේවිය මියගොස් ඇත.මෙම පෙම්වතුන් දෙදෙනා බොහෝ සෙයින් ආධ්‍යාත්මයෙන් පවා බැදී සිටී. ස්නේහයේ හා ප්‍රේමයේ මිණි කිරුලු පළඳවා තම ස්වාමියා කෙරේ හදපිරි භක්තියෙන් කටයුතු කල උත්තරීතර කාන්තාවක් ඇය. තම මියගිය බිරිඳ නැති පාලුවෙන් හා තනිකමෙන් දුකට පත්ව ඇය කෙරෙහි තිබූ උතුම් සෙනෙහස ස්වාමියා විසින් සිහිපත් කරයි. මේ තුලින් මතු වන්නේ මනෝගත රමණීයත්වය පිළිබිඹු කිරීමට කලාකරුවා සමත් වී ඇති අන්දමයි.

මිතුරියක්, මවක්, පියෙක් , ගුරුවරියක ලෙස තම ජීවිත ගමන සරසා ගන්නට ඇය කල මෙහෙවර මතකාවර්ජනයට යන ස්වාමියාට සිහි වන්නේ සංසාර සාගරයේ පාවී මවෙත ආ සඳකිදුරු දේවියක ලෙසයි. රමණීයත්වයෙ උපරිම සංතුශ්ටියක් ලබා දී ඉතා කෙටි පද කිහිපයකින් මුලු ප්‍රේම වෘතාන්තයම දිගහැර පෑමට ප්‍රකාශන රමණීයත්වය සාධක වී ඇති බැව් පෙනේ. ආදරය සෙනෙහස ඇගේ මරණයත් සමඟ මෙම ප්‍රේමවන්තයාට අහිමි වේ. තමා සමඟ තමා අසලින්ම ජීවිතයට ශක්තිය දුන් ඒ කාන්තාව නැති අඩුව අද ඔහුට මහත් සේ දැනේ. තම අමරණීය ප්‍රේමය මෙලෙස ආවර්ජනය කල හැක්කේ හෘදයාංගවම ප්‍රේම කල අයෙකුට පමණි . වචනෙකින් හෝ අඩදබර නොවී දෙදෙනාගේම අදහස් තේරුම් ගනිමින් ගෞරවණීය ලෙස ප්‍රේම කලවූවන් අල්පයි. ප්‍රේමය නම් පිදීමක්. තමාට කිසිවක් බලාපොරොත්තු නොවීම අනෙකා වෙනුවෙන් කැපවීම ප්‍රේමය වේ.

ප්‍රේමය නම් සැමදා අමරණීයවේ. හුස්මකින් පවා දුකසැප දැනෙන හැගීමක්.ප්‍රේමයට නිශ්චිත නිර්වචනයක් නැත. ආදර සබඳතාවයක් ආත්මීය පරිත්‍යාගයක් ඇති අයට දැනෙන දැඩි සෙනෙහස ප්‍රේමය යැයි කියයි. සංසාරිකවම පතාගෙන එන සැබෑ ප්‍රේමය ලබා ගැනීමට පෙරුම් පිරිය යුතුය. දුක සතුට සමව ඉවසීම ප්‍රේමයෙන් ආතුරව පැමිණි බවත් මෙවන් වියෝවක් හට ගත්තේ තමා තුලවූ අපරිමිත ප්‍රේමය නිසා බවත් අවසානයෙදී ස්වාමියා වටහා ගනී. මතක ගිණිහෙලුම් නොදී ඔබ මසිත පිරිමදී . සසර මග අත නොහැර දේවි යලි එකට මුණ ගැසෙමු දේවි යැයි රචකයා අවසානයේ මෙම ප්‍රේම වෘතාන්තය හදවත් රමණීයත්වයෙ උපරිමයට මතු කරයි. මෙම ගීතය පුරාම පැවත එන ආකෘතික රමණීයත්වය තුළින් ප්‍රේමයේ යථාර්තය සමාජීය පෙම්වතුන්ට ප්‍රේමය පිළිබඳව ආධ්‍යාත්මික ස්වරූපයක් විද්‍යමාන කරයි.

මෙවැනි පෙම්වතුන් සැබෑ ලෝකයේ ද සිටි බව සිදුහත් කුමරුගේ සංසාරික ගමනෙදී අපට හොදින්ම නිදර්ශන වේ. සදකිදුරු දා කව, වංකගිරිය, ඡද්දන්ත ජාතකය වැනි බොහෝ ප්‍රේමය වෘතාන්ත උත්තරීතර ප්‍රේමයට හෘද සටහන් තබන්නේය. මෙවැනි ප්‍රේමයන් සංසාරික පෙලගැස්මන් ය. ආචාර්ය ජයන්ත ධර්මදාසයන්ගේ බිරිඳ හදිසියේම මියගොස් කම්පාවී එම ප්‍රේමය තම මිතුරු බණ්ඩාර ඇහැලියගොඩ ශූරින් සමග ප්‍රේම ගිනි නිවාලන්නට සරනක් සොයමින් දිග හැරීය. ඒ ආශ්‍රයෙන් ලියූ මෙම ගීතය සැබෑ ප්‍රේමය යථාර්තවත් කරති. 

කලාකරුවා දක්ෂ විය යුත්තේ එවන් යථාර්තයන් රසිකයා තුළ රමණීයකර වීමටයි. ආකෘතික රමණීයත්වයෙන් ඔබ්බට ගොස් ප්‍රකාශන රමණීයත්වය හා මනෝගත රමණීයත්වයේ අපූරු සංකලනයන් මෙම ගීතයෙන් අපූරු අන්දමට විදහා පානු ලබයි. සමාජීය අත්දැකීම් රසවත්ව ප්‍රකාශ කිරීමට කලාව වැදගත් වේ. කලාකරුවාගේ අරමුණ වනුයේ රමණීයත්වය ඇති කරලීම ය . එහිදී ආකෘතිය , ප්‍රකාශන අදහස, වක්‍රව පවසන බොහෝ දෑ තුළින් සාර්ථක නිර්මාණයක් බිහිවේ. ඒ තුළින් ලබන රමණීයත්වය රසිකයා සුවපත් කරත් නම් එය සැබෑ කලාවය. ප්‍රේමය වෙනුවෙන් ජීවත පරිත්‍යාගයෙන් මෙන්ම ටච්මහල් සෑදූ ප්‍රේමවන්තයන් අතරට නොපරදන අධ්‍යාත්මිකව පෙමක් හෘදයෙන් ස්පර්ශ කල මේ කිරුල බර වැඩී දේවී ගීතය ඇසෙන මොහොතක් පාසා පසක් වේ. මෙය නොවේද සැබෑ කලාව. කලාව නම් හදවතේ විකසිත වන ප්‍රේමයම නම් වේ.

Top