ඉස්කෝලේ පිටකවරේ (827)

post-title

ඉස්කෝලෙක ක්ෂේත්‍ර නිරීක්ෂණයක ඉන්න වෙලාවේ උදෑසන රැස්වීමේ " පිටකවරේ "සිං දුව දාලා කෙල්ලෝ කොල්ලෝ ටිකක් සියුම් රිද්ම රටාවකින් ලස්සන ඉදිරිපත් කිරීමක් කරනවා දැක්කා. ළමයි 1400ක් විතර ඉන්න මිශ්‍ර පාසලක් ඒක. ඒ වෙලාවේ ගීතයයි, රිද්මයයි, ශරීරයි එකට දියවෙලයි තිබුණේ. විදුහල්පතිවරු, හාමුදුරුවරු, ගුරුවරු සහ ළමයි සුසංයෝගී දැහැනකට සමවැදුනා වගෙයි දැක්කේ.

භාෂාව වන්දනීය, පූජනීය ශුද්ධ වූ වස්තුවක් විදියට අදහන රටක ඒ භාෂාවට වඳින පුදන එක පුරුදු කරන එක රාජකාරිය කර ගත් ඉස්කෝලෙක ගරු ගාම්භීර උදෑසන රැස්වීමකට මේ වගේ සිංදුවක් ගෙනාවා කියන්නේ මාර වැඩක්. ඒක Mr horland opus Film එකේ සංගීත ගුරුවරයා දැඩි විනයක් තිබුණු කතෝලික පාසලක් ඇතුළට Rock & Roll Music ගෙනාවා වගේ වැඩක්.

අතාර් කික පාසල් සංස්කෘතිය තාර් කික වෙනසකට ලක් වෙනවා දකින්න ආශා කෙනෙක් විදියට මට මේක තදින් ම දැණුනු දෙයක්. පිටකවරේ සිංදුව කැලණියේ නානා පටේකාර් විදියට මට හම්බුණු ජෝන්ලාගේ (John Dinesh Sandaruwan) වැඩක් නිසා සතුටකුත් තියෙනවා. සංජීව්ට හා ජෝන්ට සුබපතමින් භාෂාව එක්ක වැඩ කරන කෙනෙක් විදියට භාෂාව ගැන පුංචි කතාවක් කියන්න කැමතියි.

භාෂාව කියන්නේ සංඥා පද්ධතියක්. ඒ අනුව වචනයක් අස්සේ අර් ථය කියලා මදයක් නෑ. අර් ථය හදන්නේ පිටින්. මේ විදියට පිටින් අර් ථය එල්ලපු වචනවලින් අපිව පාලනය වෙනවා.  ඒ නිසා භාෂාව කියන්නේ අහිංසක දෙයක් නෙමෙයි. ඒක සංස්කෘතියක්. ඒ සංස්කෘතියට බලයකුත් තියෙනවා. ඒ සංස්කෘතියේ බලයෙන් තමයි අපිව පාලනය කෙරෙන්නේ. ඒ වගේ ම භාෂා සංස්කෘතියට ඇතුළු වුණාට තෑග්ගක් විදියට අපිට සමාජ පිළිගැනීමකුත් ලැබෙනවා. ඉස්කෝලවල කරන්නේ මේ භාෂාවේ නීතිරීතිවලට අනුව හැසිරෙන්න මිනිස්සු පුරුදු කරන එක.

ආදරය, ජීවිතය මේ හැමදෙයක් ම තියෙන්නේ මේ භාෂාව අස්සේ. ඒක තේරුම් ගත්ත කෙනෙකුට, එය තේරුම් නො ගත්ත කෙනෙකුට වඩා මාර Freedom එකක් දැනෙනවා. ඒ Freedom එක නම් භාෂාවෙන් විස්තර කරන්න බෑ.

සිංහල කියලා අපි ඉගෙන ගන්නේ සංස්කෘතියක්. ඒ සංස්කෘතිය අස්සේ තමයි සිංහල සාහිත්‍යය තියෙන්නේ. ජන කවි, ජන කතා, බණ කතා, ඕපදූප, කේලම් වැනි රසවින්දනයේ විවිධ හුරුපුරුදු හා ඇබ්බැහිකම් සිංහල භාෂා සංස්කෘතිය අස්සේ තියෙනවා. 

අකුරු, වචන විතරක් නෙමෙයි ඒවා උච්චාරණය කරන ඇබ්බැහිකම්, රටාවන් හා හුරුපුරුදුවල විචිත්‍රත්වයන්, විශ්වාසයන්, බලහත්කාරයක් එක්ක ගැටගැහුණු දේශපාලනයක් වගේ ම සංකේත බලයකුත් භාෂාවට තියෙනවා. පිටකවරේ අභියෝග කරලා තියෙන්නේ භාෂාවේ මෙන්න මේ සංකේත බලයට.

සිංහල භාෂා සංස්කෘතිය ගවේෂණය කරන කොට විවිධ වෘත්තීන්, කාර්යයන්, උප සංස්කෘතීන්, ජාතීන්, ප්‍රදේශ, වයස් සීමාවන් ජෙන්ඩර් එක, ආයතනික ව්‍යුහයන් අනුව භාෂාවේ ස්වභාවය වෙනස් වෙන බව් පේනවා. ඒ අනුව කිව හැක්කේ භාෂාවට පරම (නොවෙනස්වන) අර් ථ නෑ කියන එක. අමු භාෂාව වගේම පාට ගාපු සාටෝප සාඩම්බර භාෂාවකුත් තියෙනවා. අමු භාෂාව දන්න අය සාටෝප සාඩම්බර භාෂාව දන්නේ නෑ. සාටෝප ආඩම්බර භාෂාව දන්න අය අමු භාෂාව දන්නේ නෑ.

අමු භාෂාවත් සංස්කෘතික භාෂාවත් හොඳටම දන්න සංජීව්ලා, ජෝන්ලා සංස්කෘතික සංගීත භාෂාවක් උල්කාපාතයක් වගේ ඉස්කෝල ඇතුළට එවලා තියෙනවා.

Top