අනාගතයේ දී අපේ හිස මතට කඩා වැටෙන ටොන් 7500ක අභ්‍යවකාශ කුණු කසළ (367)

post-title

විශ්වය කියලා කියන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අපූර්වත්වයෙන් ගහණ තැනක්. විශ්වය තුළ නිර්මාණය වන සියල්ල යම්කිසි මූලධර්මයකට හා න්‍යායකට අනුව නිර්මාණය වූ අවකාශීය වස්තූන් වනවා. මිනිසුන් වන අපට මෙම විශ්වීය අවකාශය තුළ තිළිණ කළ දෑ බොහෝයි. නමුත් ස්වභාදහම් මෑණියන් තිළිණ කළ මෙම අවකාශීය ප්‍රපංචයන් තුළ අප නිසි පරිදි භාවිතාවන් සිදු කරනවාද යන්න ගැටලුවක්. ඒ අතර මුළු ලෝකයටම බලපාන කුණු කසළ පිළිබද ප්‍රශ්නය සියලුම අවකාශීය වස්තූන් වසාගෙන සිටිනවා. මිනිසා යන යන තැන තිබෙන්නේම කුණු කසළයි. ලෝකයේ උසම කන්දක් වන එවරස්ට් කන්ද තරණය කරන අපේ මානව සංහතිය තමන්ගේ නිෂ්පාදන හෝ තමන් රැගෙන ගිය ආගන්තුක යමක් හෝ ඉතිරි කර එන්නේ මම පූර්වෝක්තව සදහන් කළ අදහස වඩාත් සඵත කරමිනුයි. දැන් මෙම කුණු කසළ කරදරයක් වී තිබෙන්නේ මහපොළොවට පමණක් නොවෙයි. මිනිසා අභ්‍යවකාශය ජයගත් දින පටන් මේ දක්වාම අභ්‍යවකාශයට විවිධ අපද්‍රව්‍යය එක් වීම නිසා උඩු ගුවන ද කුණු ගොඩක් බවට පත් වී තිබෙනවා.

ඔබට මතක ඇති චීනය විසින් අභ්‍යවකාශගත කළ රොකට්ටුවක කොටසක් පසුගිය සතියේ එනම් මැයි 08 වැනි දින පෘථිවිය මතුපිටට කඩා වැටුණු බව. ඒ නිසාම අද මම සිතුවා ඒ පිළිබදව වගේම මතු අනාගතයේ දී අපට මුහුණ දීමට සිදුවන ප්‍රබල අභියෝගයක් වන මෙම අභ්‍යවකාශ අපද්‍රව්‍යය පිළිබදව ඔබව දැනුවත් කරන්නට.

පසුගිය අප්‍රේල් මස 29 වැනි දින චීනය විසින් රොකට්ටුවක් අභ්‍යවකාශගත කළා. චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර කරවූ රොකට්ටුව පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබුණා. එහි කොටසක් පෘථිවිය මතට වැටීමක් සිදු විය හැකි බව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතායි. මෙහිදී කඩා වැටුණේ වීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තැනීම සදහා අවශ්‍ය උපකරණ රැගෙන ගිය රොකට්ටුවක කොටසක්. මෙයට පෙර චීනය විසින් යැවූ මෙවැනිම ආකාරයේ රොකට්ටුවක් කොස්ටරිකා රාජ්‍යයට කඩා වැටීම හේතුවෙන් නිවාස කිහිපයකට ද අලාභ හානි සිදු වුණා. මහාචාර්ය චන්දන ජයරත්න මහතා මුලින් සදහන් කළේ මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පෘථිවියට පතිත වන විශාලතම සුන්බුන් කැබැල්ල මෙය වන බවත් මෙය නිශ්චිතව පතිත වන ප්‍රදේශය පිළිබදව අනාවරණය කළ නොහැකි බවකි. කෙසේ නමුත් එය පතිත වුණේ මාලදිවයිනට උතුරින් පිහිටි සීමාව පසුකර ඉන්දියන් සාගරයටයි. 

මේ වන විට ටොන් 7500කට අධික කුණු ගොඩක් අභ්‍යවකාශයෙහි රැදෙමින් පවතිනවා. කිනම් හෝ දවසක මේවා පාලනයෙන් මිදී අපේ හිස මත කඩා වැටීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. ඒ නිසාම මේ පිළිබදව ඔබ දැනුවත් වී සිටීම ඉතා වැදගත්යැයි සිතනවා. 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී හදිසියේම රුසියාවේ මොස්කව් නගරයට සැතපුම් 3000ක් ඈතින් පිහිටි ඔට්රඩ්නෙන්ස්කි ගම්මානයට අඩි හයක් දිග කිලෝ 200ක් බර විශාල යකඩ ගොඩක් අහසින් කඩා වැටුණා. මෙම ගම්මානය රුසියානු සයිබීරියාවට අයත් වන ගම්මානයක්. කෙසේ නමුත් එය සයිබීරියාවට එල්ල වූ මිසයිලයක් යැයි මුලින් සිතුවද පසුව එය තහවුරු කර ගත්තේ එය අධික ශක්තියකින් යුක්ත සැහැල්ලු ලෝහයක් වන ටයිටේනියම් වලින් තනා ඇති බැවින් අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසක් බවයි. එසේ නම් පසුගිය වර්ෂයක දී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට ද වැටුණේ මෙවැනිම වූ අභ්‍යවකාශ අපද්‍රව්‍ය තොගයක් බව සහතිකයි. මේ අපද්‍රව්‍යය සියල්ල දැන් හදුන්වන්නේ කක්ෂීය අපද්‍රව්‍යය ලෙසයි. විශේෂයෙන්ම පෘථිවි කක්ෂය වටා මේ වන විට රැදී තිබෙන්නේ අභ්‍යවකාශයට ගිය චන්ද්‍රිකා හා වෙනත් යානා මෙන්ම භාණ්ඩ රැගෙන ගිය රොකට් යන්ත්‍රයන්හි ඉවතලූ කොටස්, ක්‍රියාවිරහිත වූ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශයේ දී විනාශ වූ යානා කොටස් රැසකි. මෙම සියල්ලෙහි බර ටොන් 7500 කට ආසන්න වුවත් මේ වන විට තව තවත් වැඩිව තිබෙනවා. අභ්‍යවකාශයෙහි ඇති අපද්‍රව්‍ය ලේඛනගත කිරීමේ දී සෙන්ටිමීටර 10 ක් හෝ එයට වඩා විශාල විශ්කම්භයක් ඇති කොටස් විශාල අපද්‍රව්‍ය කොටස් ලෙසත් සෙන්ටිමීටර එකකට වඩා කුඩා විශ්කම්භයක් ඇති කොටස් කුඩා අපද්‍රව්‍යය කොටස් ලෙසත් නම් කර තිබෙනවා. නාසා ආයතනය සදහන් කරන්නේ පහළ පෘථිවි කක්ෂයේ දැනට පවතින විශ්කම්භය අගල් දෙකක් හෝ ඊට වඩා කුඩා අපද්‍රව්‍ය කොටස් 15000ක් පමණ නිල වශයෙන් නම් කර ලේඛනගත කර තිබෙනවා. නමුත් හදුනා නොගත් අපද්‍රව්‍යය ප්‍රමාණය මිලියනය ඉක්මවන බවද ඇතැම් විද්‍යාඥයන් සදහන් කරනවා.

මේ ආකාරයට බලන විට පෙනී යන කාරණාව වන්නේ දැන් මුලු පෘථිවි කක්ෂයම මුලු අභ්‍යවකාශයම කසළ ගොඩක් වී හමාරයි. ඇමෙරිකානු නාසා විද්‍යාඥයන් තව දුරටත් ප්‍රකාශ කරන පරිදි අවම වශයෙන් පෘථිවි කක්ෂයේ සුන්බුන් කැබලි 500000ක් පමණ ඇති බව නිගමනය කරන්නට පුළුවන්. මේවා පැයට කිලෝමීටර 17500ක පමණ වේගයෙන් පෘථිවිය වටා ගමන් කරමින් පවතිනවා. එවැනි කැබැල්ලක් පෘථිවියේ සිට මිනිසුන් රැගෙන යන යානයක හෝ වෙනත් ග්‍රහලෝක පිළිබදව සොයා යෑමට උඩු ගුවනට යවන ලද යානාවල ගැටීමෙන් එම යානා විනාශ වීමට ගත වන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයකි. එමෙන්ම මෙවැනි භ්‍රමණය වීම් නිසා උඩු ගුවනෙහි රදවා ඇති චන්ද්‍රිකා පවා විනාශ වීමට බොහෝ ඉඩකඩ පවතිනවා. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ද මෙම නිසා තර්ජන එල්ල වෙමින් පැවතීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයටම සිදුවන හානියක්. 

නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ නිකලස් ජොන්සන් ප්‍රකාශ කරන පරිදි දැන් අභ්‍යවකාශ ගමන් සදහා ඇති විශාලතම බාධාව මෙම අභ්‍යවකාශීය අපද්‍රව්‍යයි. දැනට අභ්‍යවකාශයේ සැරිසරන පැරණිතම අපද්‍රව්‍යය තොගය ලෙස සලකන්නේ ඇමෙරිකාව 1958 දී යවන ලද වැන්ගාර්ඩ් 1 නැමැති යානයේ කොටස්. එමෙන්ම පැරණි සෝවියට් දේශය විසින් අභ්‍යවකාශයේ පවත්වාගෙන ගිය මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් බැහැර කළ අපද්‍රව්‍යද අති විශාල තොගයක් මෙම අභ්‍යවකාශයෙහි පවතිනවා. ඒ අනුව අභ්‍යවකාශයේ පෘථිවිය වටා කක්ෂගත වී ඇති අපද්‍රව්‍යය කොටස් අතරින් මෙතෙක් හදුනාගෙන ඇති විශාලතම කොටස වන්නේ මේ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ඇති කොටසයි. එය කිලෝ 120000ක් පමණ බර ප්‍රමාණයකින් යුක්ත වනවා. නමුත් මෙය තවමත් මිනිසාගේ පාලනයට නතුව තිබෙන නිසා මෙයින් අපට එතරම් අවධානමක් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම මේවා උඩුගුවනේදීම විනාශ කිරීම සදහා පිළියම් සෙවිය යුතුයි. 

අද්‍යතනය වන විට අභ්‍යවකාශ කසළ කළමනාකරණය සදහා සැලසුම් සකස් කරමින් පවතිනවා. ඇමෙරිකාවේ අභ්‍යවකාශ විශේෂඥයින් පුහුණු කරන ලෝන්ඩ් ස්පේස් ආයතනය විද්‍යාඥයින්ගෙන් මේ සදහා උපදෙස් ගෙන ඇති බවද සදහන් වෙනවා. මිනිසුන් රහිත ස්වයංක්‍රීය යානයක් යොදාගෙන කසළ හැකිතාක් එකතු කර විනාශ කිරීම, සුන්බුන් එකතු කිරීමට විශාල දැලක් වැනි උපකරණයක් යොදා ගැනීම, දැවැන්ත චුම්භකයක් යොදා කසළ ඒ වෙත ඇද ගැනීම, ලේසර් උපකරණයක් මගින් කසළ පුළුස්සා දැමීම වැනි යෝජනා ද මෙම ආයතනය වෙත ඉදිරිපත් වී තිබුණා. මෙම යෝජනා අතරින් වැඩි අවධානයක් යොමුව තිබුණේ නියමුවන් රහිත රොබෝ යානයක් යොදා ගෙන කසළ එකතු කිරීමටයි. ජපාන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ වෙනස් උපකරණයක් මේ සදහා අත්හදා බලමින් සිටිනවා. ඔවුන් සැලසුම් කර ඇත්තේ නවතම අභ්‍යවකාශ යානයකට විද්‍යුත්ගාමක කේබලයක් සම්බන්ධ කර එමගින් නිපදවෙන විදුලිය අභ්‍යවකාශ සුන්බුන් මත පතිත කිරීමෙන් මෙම අපද්‍රව්‍යය කොටස් චලනය වන වේගය අඩු කිරීමයි. මෙයට අමතරව මේ වන විට මේ සම්බන්ධ විවිධ පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතිනවා.

දැනට ගණන් බලා තිබෙන ආකාරයට මිනිසා එක් කරන අපද්‍රව්‍යය 220000කට අධික ප්‍රමාණයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙනවා. ඒවා අභ්‍යවකාශයේ ස්ථානගත කර තිබෙන චන්ද්‍රිකා ආදියට මෙන්ම පහල පෘථිවියට ද තර්ජනයක්. විශේෂයෙන්ම කිව යුතු යමක් තිබෙනවා. අභ්‍යවකාශයෙහි ඇති මෙම කක්ෂීය අපද්‍රව්‍යය පෘථිවිය මතට කවදා හෝ කඩා වැටීමේදී ලෝකයේ අනෙක් සියලු රටවල් පරදා ශ්‍රී ලංකාවට මෙම අභියෝගයට මුහුණ දීමට සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට මෙම අපද්‍රව්‍යය සියල්ල කවදා හෝ කඩා වැටෙන්නේ ඔබත් මමත් නොසිතූ මොහොතකයි. ලෝකයේ සෙසු රටවල් හෝ ප්‍රදේශ වලට මෙයින් එතරම් බලපෑමක් සිදු නොවීමටත් ශ්‍රී ලංකාවේ දකුණු මුහුද මෙම ව්‍යවසනයට ලක් වීමටත් ප්‍රධානතම හේතු සාධකයක් තිබෙනවා. එයට ප්‍රධානතම හේතු සාධකය ලෙස ශ්‍රී ලංකාවේ දකුණු මුහුද ලෝකයේ අනෙක් ප්‍රදේශ වලට වඩා ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ප්‍රදේශය ලෙස හදුන්වන්නට පුළුවන්. ශ්‍රීමත් ආතර්. සී. ක්ලාක් මහතා ප්‍රකාශ කරන පරිදි ගාල්ලේ රූමස්සල අවට ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය අන් ප්‍රදේශ වලට වඩා අධික නිසා අභ්‍යවකාශයේ අක්‍රිය වන චන්ද්‍රිකා ආදියෙහි කොටස් යම් දිනෙක රූමස්සලට ඉහළ කක්ෂයේ රැදී පවතිනවා. ඒවා යම් කාලයක දකුණු දිග මුහුදු වෙරළ ආසන්නයට කඩා වැටෙනු ඇත. 2010 වර්ෂයේ දී ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබද සිතියමක් නිර්මාණය කරනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ප්‍රදේශය ලෙස හදුනා ගනිමින් තද නිල් පැහැයෙන් එම ප්‍රදේශය සිතියම මත සළකුණු කොට තිබෙනවා.

පසුගිය සතියෙහි චීන රොකට්ටුවෙහි සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වී දකුණු ඉන්දියන් සාගරයටම කඩා වැටුණේ ශ්‍රී ලංකාව හා ඒ අවට ඇති දැඩි ගුරුත්වාකර්ෂණ බලය නිසා වන්නට පුළුවන්. ඒ නිසා යම් දිනෙක ඔබගේ හිස මත මෙවන් සුන්බුන් කඩා වැටුනත් පුදුමයට පත් නොවන්න. මන්ද මෙම භයානක සිහිනය අද යථාර්ථයක්ව ඇති නිසාය.



Top