පිටසක්වළ ජීවයත් සමග ගණුදෙනු කරන ශ්‍රී ලංකාව (706)

post-title

වරින් වර පෙනී නොපෙනී යන අද්භූත එළි සහ යානා පිටසක්වළ ජීවීන් අප පෘථිවියට පැමිණීමට භාවිතා කරන ඒවා යැයි බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. ඇමෙරිකාවේ නාසා ආයතනය මෙන්ම රුසියාව, චීනය වැනි බලවත් රටවල් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථාන හරහා පර්යේෂණ, ගවේෂණ සහ නිරීක්ෂණයන්හි නිරත වන්නේ ප්‍රධාන වශයෙන්ම පිටසක්වළ ජීවය සොයා ගැනීමේ අරමුණෙනි. මෑතකදී අගහරු ලොවට යැවූ Perseverance රෝවරය මගින් අගහරු ලොවෙහි ජලය තිබූ බවට ස්ථිර වශයෙන්ම සාක්ෂි සහිතව සොයා ගන්නා ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. නාසා විද්‍යාඥයන්ගේ මෙන්ම සමස්ත ලෝකයාගේම අවධානය යොමුව තිබෙන්නේ අගහරු ලොවෙහි ජලය තිබුණේද? එහි ජීවීන් සිටිනවාද? යන උපන්‍යාසය කෙරෙහිය. ඉන් එක් උපන්‍යාසයක් දැන් සත්‍ය වී තිබේ.

පිටසක්වළ ජීවය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ කුමන සබදතාවයක් ද යන්න බොහෝ දෙනා නොදන්නා කරුණක් විය හැකිය. ක්ෂීරපථය එසේත් නැත්නම් කිරි සයුර නමින් හැදින්වෙන මන්දාකිණියෙහි අප පෘථිවිය පිහිටා ඇත්තේ තවත් තාරකා බිලියන විශාල ප්‍රමාණයක් සහ ග්‍රහලෝක බිලියන 144ට වඩා වැඩි ප්‍රමාණයක් විසිරී පැතිරී ඇති අවකාශීය තලයකය. ඒ අතරින් දැනට සොයා ගෙන ඇති පරිදි ජීවය ඇති එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එහිදී ශ්‍රී ලංකාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඒ පිටසක්වළ ජීවය පවතින බවට තහවුරු කළ ලොව ප්‍රථමස්ථානය ලෙස අරලගංවිල ඉතිහාසගත වීමත් සමගය. 2012 දෙසැම්බර් 29 වැනි දින පොළොන්නරුව අරලගංවිලට පතිත වූ උල්කාපාතය නිසා අභ්‍යවකාශ තරණයේ බලවතා වූ ඇමරිකාවේ ද අවධානයට ශ්‍රී ලංකාව පත් විය. මෙතෙක් ලෝකයේ හමු වූ කිසිදු උල්කාපාත කොටසකට සමානතා නොදැක් වූ මේ තුළ හදුනාගත් ජීවී ප්‍රභේද විශේෂයෙන්ම ඩයටම ජීවීන් වෙනත් කිසිදු උල්කාපාතයක නොදැක්වූ සුවිශේෂී අංග රැසක් අන්තර්ගත වන බවට නිදසුන් සැපයුවේය. මේ පිළිබද පර්යේෂණ කිරීම සදහා ලෝ ප්‍රකට ෆැන්ස්පර්මියා වාදය ඉදිරිපත් කළ ශ්‍රී ලංකාධරණී තලයෙන් බිහි වූ අග්‍රගණ්‍ය තාරකා විද්‍යාඥයෙකු වූ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සහ නාසා විද්‍යාඥ රිචඩ්.බී.හූවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියහ. එවැනි මොහොතක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා මහාචාර්ය රිචඩ්.බී.හූවර් මහතාගෙන් අසනු ලැබූවේ පිටසක්වළ ජීවය පවතින බවට පොළොන්නරුව අරලගංවිල උල්කාපාතය හරහා කිව හැකි බව පවසනවාද? යන්නයි. එයට පිළිතුරු දෙමින් එතුමන් සදහන් කළේ,

ඒකාන්තයෙන්ම ඔව්, මෙම උල්කාපාතය පිළිබදව අප කෙතරම් සංකීර්ණ පරීක්ෂණ කළාද? මෙම උප්කාපාතයේ අඩංගු මූලද්‍රව්‍ය පිළිබදව කළ හැදෑරීම් වලින් එහි අඩංගු වූ ඉරිඩියම් යන මූලද්‍රව්‍ය අන්තර්ගතය සහ ඔක්සිජන් සමස්ථානික පරීක්ෂණය හරහා මුලදීම පැහැදිලිවම උල්කාපාත කොටසක් බව තහවුරු වුණා. මෑතකදී අපි රුසියාවේ දී කළ පර්යේෂණවලදී එහි වූ ඩයටම ජීවීන් ප්‍රභේද වෙන් කොට ගෙන එහි ඇති විකිරණශීලීත්වය පරමාණු හැදෑරීමේ දී එහි වූ යුරේනියම්, තෝරියම්, ටයිටේනියම් වැනි විරල ලෝහ හරහා මෙය පැහැදිලිව විශ්වීය ප්‍රභවයක් බව නැවත පෙන්වා දෙනවා. තවද මේ මොහොතේ මෙම උල්කාපාත කොටස තුළ සූ න්‍යෂ්ඨික ජීව ප්‍රභේදයක් ද හදුනා ගත්තා. මෙහි මීට පෙර සොයා ගත් නිර්වායු ශ්වසනය සිදු කරන බැක්ටීරියා ප්‍රභේද දෙක මෙන්ම එහි වූ ඩයටම ජීවීන් ප්‍රභේදයත් සුවිශේෂියි. ඉතින් මේ සියල්ල හරහා පොළොන්නරුව උල්කාපාතය මගින් පෘථිවියෙන් එපිට අනන්ත විශ්වයේ ජීවය පවතින බවට විද්‍යාත්මකය තහවුරු කළ හැකි බව නැවත නැවත පෙන්වා දෙනවා

( මහාචාර්ය රිචඩ්.බී.හූවර් යනු තාරකා ජීව විද්‍යාව, තාරකා භෞතික විද්‍යාව, සූර්ය භෞතික විද්‍යාව වැනි තාරකා විද්‍යාත්මක ක්ෂේත්‍රවල සම්භාවනාවෙන් සම්භාවනාවට පාත්‍ර වූ අද්විතීය සොයා ගැනීම් රැසක් රැගත් පර්යේෂණාත්මක ග්‍රන්ථ 33ක් හා පර්යේෂණ පත්‍රිකා 250කට වැඩි ප්‍රමාණයක කතුවරයෙකු වන නාසා (Nasa) ආයතනයේ සිටි කීර්තිමත්ම මහාචාර්යවරයෙකි. එමෙන්ම අනත්‍ය ජීවීන් (Extremophiles) ඩයටම ජීවීන්, උල්කාපාත පිළිබද විශාරදයෙකි. වසර 46ක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්‍ර 11ක හිමිකාරීත්වය ඇති මෙතුමා 1992 වසරේ දී විශිෂ්ඨතම නිපැයුම්කරුවා සම්මානයට පාත්‍ර විය. 1966 දී නාසා ආයතනයේ සේවය අරඹන ඔහුගේ  ප්‍රථම ආංශික ප්‍රධානියා වූයේ රොකට්ටුවේ පියා ලෙස සලකන ආචාර්ය වර්නන් එන්. බ්‍රෝන් මහතාය. 

පිටසක්වළ ජීවය සම්බන්ධව ශ්‍රී ලංකාව පිළිබදව ඓතිහාසික විමර්ශනයක යෙදෙන විට දිඹුලාගල ද හමුවන්නේ පිටසක්වළ ජීවීන්ගේ ආගමනය පිළිබදව හෙළි කරන ඉතිහාසගත ප්‍රවෘත්ති නිසාය. දිඹුලාගල පිළිබදව විශාරදයන් දක්වන්නේ ඓතිහාසික කතා ප්‍රවෘත්ති හා නිබදව බැදුණු පෘථිවි තලයේ පිහිටි සුවිශේෂී බිම්කඩක් ලෙසය. දිඹුලාගල කදු ශිඛරය ධූමරක්ඛ පබ්බත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන අතර එම ප්‍රදේශය උල්කාපාත ඇද වැටීම් සදහා සුවිශේෂීතාවයක් දක්වන බව එම ඉතිහාසගත නාමය තුළින් ද තහවුරු කරගත හැකිය. එලෙසින්ම දිඹුලාගල කදු මුදුනට උල්කාපාත පතිතවීම් ද සිදුවීම වාර්තා වෙයි. නමුත් දිඹුලාගල කදු මුදුනට දියුණු පිටසක්වල ජීවීන්ගේ ආගමනයත් පිළිබදව ප්‍රදේශවාසීන්ගේ කතාවලට හා ඉතිහාසගත ප්‍රවෘත්තිවලට අනුව සිතන විට එය මුලුමනින්ම බැහැර කළ හැකිද? යන ප්‍රශ්නය පැන නගී.

පසුගිය වර්ෂයක (මතකය නිවැරදි නම් ඒ 2017 මාර්තු මාසය ආසන්න දිනයක) ඓතිහාසික දිඹුලාගල කදු ශ්ඛරයට පිටසක්වළ ජීවීන්ගේ ආගමනයක් පිළිබදව වාර්තා වන්නේ අලුයම අදුර මැදින් ආ දීප්තිමත් එළි රැසක් සමගිනි. එම කාල පරිච්ඡේදයේදීම ලෝකයේ වෙනත් රටවලද මෙවැනි වූ විවිධ සිදුවීම් වාර්තා වූයේ නාසා විද්‍යාඥයින්ට සිතන්නට යමක් ශේෂ කරමිනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවී වැඩසටහනක් විකාශය වෙමින් පවතින විට එක්වරම අභ්‍යවකාශය දෙසට නිරාවරණය වූ ප්‍රදේශයේ දීප්තිමත් වස්තූන් 03ක් අහඹු ලෙස වේගයෙන් දර්ශනය වීමත් සමග එක්වරම නාසා ආයතනය එම සජීවී විකාශය මදකට අත්හිටුවනු ලැබීය. 2017 ජනවාරි 16 වන දින ද ඒ අයුරින්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවී විකාශය සිදුවන විට අධික වේගයෙන් චලනය වන ඕවලාකාර හැඩති වස්තුවක් ගමන් කරමින් තිබූ බව වාර්තා වුණි. පසුගිය 2016 වසරෙහි නොවැම්බර් මස 17 වැනි දින ද සිදු වූයේ එවන් දෙයකි. 2016 ජූලි මස 15 වැනි දින විශ්වීය අමුත්තන්ගේ ආගමනය නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවී විකාශය තාවකාලිකව නතර කරන්නට සිදු වූයේ ලෝකවාසීන්ගෙන් සත්‍ය වසන් කිරීමේ අරමුණෙනි. එලෙසින්ම 2016 වසරේ අගෝස්තු 11 වන දින ප්‍රංශයේ පැරිස් නුවර අහසේ ද ආගන්තුක දීප්තිමත් රතු පැහැ එළි සහිත ආකාශ වස්තුවේ ජායාරූප සටහන් විණි.

කෙසේ නමුදු වැඩි කතාබහට ලක් නොවුණත් ඒ හා සමානවම ශ්‍රී ලංකාවේ දිඹුලාගල ද එවන් සිදුවීම් වලට මුහුණ දෙන බිම්කඩක් ලෙස හැදින්වූවාට වරදක් නැත. වරක් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සහ කීර්ති වික්‍රමරත්නයන් දිඹුලාගල පුරාණ විහාරයට ගොස් එහිදී නායක ස්ථවිරයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ දී උන්වහන්සේ සදහන් කර තිබුණේ දිඹුලාගල පුණ්‍ය භූමියේ වූ කදු ශිඛරයේ පවතින නොයෙකුත් සිදුවීම් මෙන්ම අද්භූත එළි සහ පුරාතනයේ සිට අත්දැක ඇති අපූර්ව සිදුවීම් පිළිබදවයි. මෑතකදී දිඹුලාගල කදු ශිඛරයට පතිත වූ ආලෝකය උල්කාපාත නිසා පතිත වූවක් ද නැතහොත් බුද්ධිමත් පිටසක්වළ ජීවී යානයක් පැමිණියේ ද යන්න ප්‍රකාශ කළ නොහැකිය. නමුත් මේ මිහිතලයෙන් එපිට අනන්ත විශ්වයේ මානවයාට වඩා දියුණු සුපිරි ජීවීන් සිටිනා බැව් නම් නොරහසකි. ශ්‍රී ලංකාවේ ලකේගල, උස්සන්ගොඩ වැනි ප්‍රදේශ පිළිබදව ද ඓතිහාසික විමර්ශනයන් තව දුරටත් කළ යුතු වන්නේ මේ හා සම්බන්ධ සැගවුණු බොහෝ දේ මේ ලක් මව තුළ නිධන්ව පවතින නිසාය. එයට කාලය ද දැන් එළඹ තිබේ. කෙදිනක හෝ ශ්‍රී ලංකාව එහි සංධිස්ථානයක් බවට පත් වේවි.

Top