මුතුරාජවෙල හා මාදුගඟේ ඇත්ත කතාව (529)

post-title

ලංකාව කියන්නෙ ස්වභාවික පිහිටීම ම ආශිර්වාදයක් උනු රටක්ග අපේ රටේ අති සුන්දර රමණීය ස්වභාවික ස්ථාන රාශියක් තියෙනවා. වෙනත් රටවල නැති හොයගන්න බැරි ලස්සනක් තමයි ලංකාවට තියෙන්නෙ. ඉතින් මේ පුංචි රට ඇතුළෙ තියෙන ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධති දෙකක් තමයි මුතුරාජවෙල තෙත්බිමයි මාදු ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතිය. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බටහිර වෙරළ තීරය දිගේ හෙක්ටයාර දහස් ගණනක් පැතිරිලා තියෙන මුතුරාජවෙල තෙත්බිම මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු කියල තමයි හදුන්වන්නෙ. මේ මුතුරාජවෙල තෙත්බිම හරහා ගලා යන ප්‍රධාන ඇළ මාර්ග දෙක තමයි ඕලන්ද ඇළයි හැමිල්ටන් ඇළයි කියන්නෙ. මේ ඇළ මාර්ග දෙක අලංකාර වෙලා තියෙන්නෙ මෙම ඇළ මාර්ග දෙපස තියෙන කඩොලාන තීරු වලින්. මෙම තෙත්බිම ආශ්‍රිතව කඩොලාන ශාක 29ක් සර්ප විශේෂ 22ක් සමනල්ලු විශේෂ 67ක් කූරන් විශේෂ 34ක් හොයාගෙන තියෙනවා. ඒ වගේම මෙම තෙත්බිම් පරිසර පද්ධතියටම ආවේණික මසුන් කකුළුවන් පොකිරිස්සන්ද දකින්න පුළුවන්. ඒ වගේම තමයි ගං වතුරෙන් වෙන හානිය වළක්වා ලන්නත් මේ තෙත්බිම් පරිසර පද්ධතියක් මහඟු රුකුලක් වෙනවා.

මුතුරාජවෙල වගේම ඉතාමත් අලංකාර කඩොලාන පරිසර පද්ධතියක් තමයි මාදුගඟ කියන්නෙ. මාදුගඟ ජලජ පරිසර පද්ධතියට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග තුන තමයි බොරලැස්ස ඇළ හීන් ඇළ වගේම මාගළ ඇළ කියන්නෙ. මාදුගඟ පිහිටලා තියෙන්නෙ දූපත් 64කට මැදිවෙලා. ඒත් ඉතින් අද වෙද්දි නම් දූපත් හැට හතරම දකින්න පුළුවන් කමක් නෑ. ගඟේ ජලමට්ටම වැඩිවීම පස ඛාදනය කුඩා දූපත් යාවීම නිසා තමයි මේ දූපත් 64ම අද දකින්න නැත්තෙ. ඒත් මෙහි තරමක් විශාල දූපත් 16ක් තියෙනවා. ඒ වගේම මෙහි තුරග උභයජීවී මසුන් වගේම සමනල්ලුත් විශේෂ රාශියක් හොයාගෙන තියෙනවා. සංචාරක ආකර්ශනය වැඩි වශයෙන්ම දිනාගත් ස්ථාන දෙකක් තමයි මේ පරිසර පද්ධති දෙක. එයිනුත් වැඩිම සංචාරක ආකර්ශනය තියෙන්නෙ මාදුගඟ ජලජ පරිසර පද්ධතිය ආශ්‍රිතව බෝට්ටු සංචාරයෙ යෙදෙන්න තමයි.

ඒත් අද වෙද්දි මුතුරාජවෙල තෙත්බිම අපට ටික ටික නැතිවෙවි යනවා. ඇත්තටම හරිත පෙනහළු මරල දානවා කියන්නෙ නිදහසේ හුස්ම ගන්න තියෙන අවස්ථාව නැති කරගන්නව කියන එක. මීතොට මුල්ල කුණු කන්ද නාය ගියාට පස්සෙ ඒකට විසදුමක් විදියට කොළඹ කුණු ටික ගෙනල්ල හලන්නත් මුතුරාජවෙලින් පැත්තක් ගත්තා. ඒත් පොඩ්ඩක්වත් හිතුවද ඒවා ආශ්වාසය කරන තෙත්බිම් ජීවීන්ට මොකක් වෙයි ද කියල. අනික සත්තු කී දෙනෙක් නම් ඒ කුණු කන්න එනවද? ඉතින් තැනින් තැන කුණු ඇදල දැම්මාම පරිසරයට මොකක්ද වෙන්නෙ කියල ටිකක්වත් හිතුවෙ නෑ. ඒ වගේම මේ පරිසරික පද්ධතිය සංවර්ධනය කරන්න පටන් ගත්තගෙන් උනේ මුතුරාජවෙල පරිසර පද්ධතියට කණකොකා හඬලපු එක විතරයි.

හොටෙල් සංකීර්ණ ඉදිකිරීම හින්දයි කර්මාන්තශාලා ඉදිකිරීම නිසයි විවිධ රසායනික ද්‍රව්‍ය ඇළ මාර්ගවලට එකතුවෙන හින්ද තැනින් තැන මාළු මැරිල යන්න පටන් අරන්. ඉතින් ඒ මාලුම තමයි මිනිස්සු කෑමට ගන්නෙත්. ඉතින් එතකොට මිනිස්සුන්ට හැදෙන්නෙ මොනවගේ ලෙඩරෝගද කියලවත් හිතාගන්න බෑ. ඒ වගේම තමයි දැන් දැන් මුතුරාජවෙල තෙත්බිමේ කොටස් එක එක පුද්ගලයො අත්පත් කරගන්න පටන් අරන්. මෙතුවක් කාලයක් රජයෙ ඉඩමක් වෙලා තිබ්බ තෙත්බිම දැන් පෞද්ගලික දේපලක් බවට පත්වෙලා. ඇත්තටම දැන් මෙයට තෙත්බිමක් කියල කියන්නත් බැරි තරම්.

ආර්ථිකය සරි කරගන්න කියල වටිනා සම්පත් විනාශ කරන එක හරි අපරාධයක්. ඒකෙ අහිතකර ප්‍රතිඵල නොබෝ දිනකින් රටේ හැමෝටම අත්විඳින්නවෙයි. මේ තරම් විනාශයක් මාදුගඟ පරිසර පද්ධතියට තවම සිදුවෙලා නැති වුවත් එහිද මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා කඩොලාන පරිසර පද්ධතිය විනාශ වෙන්න පටන් අරන් තියෙන්නෙ. අපේ මිනිස්සුන්ට වටිනාකමක් නොදැනෙනකොට සංචාරකයින්ට මේවායෙහි වටිනාකම නොදැනීම පුදුමය කාරණයක් නෙවෙයි. ඇත්තටම අපේ මිනිස්සු කඩොලාන පරිසරයත් උපයෝගී කරගෙන මත්පැන් නිෂ්පාදනය වගේම මත්පැන් ජාවාරමත් සූක්ෂමව කරන්න තරම් කපටි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පරිසර පද්ධති ආශ්‍රිතව ඉන්න සත්තු ටිකත් ආහාරයක් වෙලා බඩට යන්න පටන් අරන්. ඇහිපිල්ලම් ගහන වේගයෙන් හැමදේම නැති කරල දාන්න පුළුවන් උනාට ආයෙ ඒවා නැවත ඇති කරන්න බෑ. අනෙක් රටවල් කැළෑ නිර්මාණය කරල සිසිලසයි සෞන්දර්යයයි හොයගන්න උත්සහ ගද්දි අපෙ රටේ මිනිස්සු උනු අපි ඉබේම අපට ලැබුනු දායාද ටික නැති කරගන්න දත කනවා. ඒ තරම් අපේ මිනිස්සුන්ගෙ උගත්කම කියන එක දෙපා මුලට වැටිල තියෙන්නෙ.

චුට්ටක් හිතල බලන්න අපි අපේ රටට මොකක්ද මේ කරන්නෙ කියල. තෙත්බිම් සුරකින්න සම්මුති තිබ්බ කියල වැඩක් නෑ. ඒ දේ කොල කෑල්ලකට විතරක් සීමාවෙලා නම්... මොන සමුළුවට ගියත් වැඩක් නෑ. වෙන්න ඕනි දෙවල් ඒ විදියට වෙන්නෙ නැත්තම්. රට වනසන්න නෙවෙයි රට සුරකින්න හදවතින් එකතුවෙමු. සල්ලි දීල ඔක්සිජන් ටැංකි පිටේ බැදන් යන්න නොවී අපේ ඔක්සිජන් ටික අපි රැක ගමු.

Top