පොට්ට කාසිවලට සිහින මිළදී ගන්නවාද? නැත්නම් වැඩි මිළට සිහින විකුණනවා ද? (695)

post-title

රන්වන් හිරු කිරණ වැටී ඇති පරිසරය හදිසියේම අදුරු වූයේ චොක්ලට් වළාකුළු වලින් බරවය. සප්ත වර්ණයන්ගෙන් සැදුම්ලත් දේදුන්න කළ එළි බසින්නේ මේ අතරය. චොක්ලට් වළාකුළු වලින් බර වූ අහස හඩන්නට පටන් ගත්තේ දේදුන්නේ පාට හතට ද ඔච්චම් කරමිනි. නිමේෂයක් ගත විය...... හැඩූ කදුළු දේදුන්නේ සප්ත වර්ණයන්ගෙන් පාට වී එකක්, දෙකක්, තුනක් , නැත..... සිය දහස් ගණනක් ලෙස බිමට පතිත වන්නේ තාලානුකූලව ඒ මේ අත චලනය වෙමිනි. එතැනින් නොනවතී. එක්වරම ඒවා සියල්ල නිල්, රතු, දම්, කොළ ........ යනාදී වර්ණයන්ගෙන් තැවරී චොක්ලට් ගංගාවක් වී ගලන්නේ හිරු කිරණින් හා සාරවත් පසින් පෝෂණය වූ ගස් පෙළක් ඇති නිම්න භූමියක ලස්සන සීනි කන්දක් මැදිනි. දේදුන්නෙන් පාට වුණු චොක්ලට් බෝල නැවත වතාවක් පාට වෙමින් විවිධ වර්ණයන්ගෙන් මිශ්‍රිත ඇසුරුමක් තුළට ඇතුළු වෙයි. යම් සළකුණක් ද අක්ෂර කිහිපයකින් යුතු වාක්‍ය කණ්ඩයක් ද දර්ශනය වී නොපෙනී යයි.

මෙය දෘශ්‍යමය සජීවී කෘතයකි. ශත වර්ෂාධික කාලයක් පුවත්පත් හා සගරා පිටු අතර හරඹ කෙරූ වෙළද සන්නම්, භාණ්ඩ හා ඇසුරුම්, වර්ණ රටා සහ හැඩතල, අක්ෂර, සත්‍ය හා මන:කල්පිත චරිත අද සජීවී රංගනයක යෙදී සිටී. සත්‍ය ලෙසම මෙය මායාකාරී ෆැන්ටසියක සිදුවන සජීවී රංගනයකි. ඔබ, මම එහි කොටස්කරුවන්ය. ඔබ සහ මම විටෙක භාණ්ඩ හා සේවාවන් නියෝජනය කරන අතර අක්ෂර, වර්ණ, හැඩතල භාවිතා කරමින් අධි රංගනයක නිරත වෙයි. නමුත් අප සියල්ලෝම කිසිවක් නොදනී. දැනුනත් නොදන්නවා සේ සිටී.

නූතන සංස්කෘතික රටාව තුළ නූතන මිනිසාගේ පුද්ගලත්වය, ස්වීයත්වය හා පෞරුෂත්වය තීන්දු වී ඇතිවා මිසක එය ස්වයංසිද්ධව තීන්දු වූවක් නොවේ. එය සමාජය විසින් යටපත් කර ඇත්තේ පුද්ගලයාගේ ස්වෛරීත්වයට ද අභියෝග කරමිනි. මිනිසාගේ සත්තාව මෙන්ම චින්තනය ද නොයෙකුත් විචල්‍යතාවයන්ට භාජනය වෙමින් ස්වාධීන අදහස්, ආකල්ප, මතිමතාන්තර වලට ගලා යාමට ඉඩ නොදී මායාකාරී සජීවීකෘතයක් ලෙස ඉදිරියට ගමන් කරවයි. මේ තුළ මිනිසා නැමැති සත්ත්වයා අවිඥානගත බලවේගයන්හි සිරකරුවෙකු බවට පත් වී ඇත. විටෙක මෙම තත්ත්වය තුළ පුද්ගලයාගේ සිහින වලට ද බාධා ඇති කරයි. පුද්ගලයාගේ අරමුණු, ඉලක්ක, ආකල්ප, දෘෂ්ටිවාද සහ මතවාදයන් පුද්ගලයා තුළම ගුලි කර දැමීමට වත්මන් ෆැන්ටසිමය ලෝකය යත්න දරා ඇත. ඒ සදහා කදිම සන්නිදර්ශිතය වන්නේ මාධ්‍යය. මාධ්‍ය නියෝජනය කරන සමාජ යථාර්තය ද්‍රව්‍යමය යථාර්තයෙන් සපුරා වෙනස් වේ. විශේෂයෙන්ම මාධ්‍යයෙහි අන්තර්ගත විශ්ලේෂණයන් මගින් පෙන්වා දෙන්නේ ඉන් නිරූපිත යථාර්තය හා තථ්‍ය ලෝකය අතර ඉතා විශාල වෙනසක් තිබෙන බවයි. භෞතිකව අප සිරවී සිටින්නේ මෙම ලෝක දෙක අතරය. අපගේ සිහින ද මෙම ලෝක දෙක අතර සිරව තිබෙන්නේ අපටත් නොදැනීමය.

වත්මන් මිනිසා පරිභෝජනවාදී සංස්කෘතියේ හිනිපෙත්තටම ගමන් කරමින් සැබෑ ලෝකය තුළ අතර අතරමංව ඇත. එවන් වටපිටාවක මාධ්‍ය නියෝජනය කරන දෙය සහ සැබෑ ලෝකය අතර දුර ඉතා අවම නිසා මාධ්‍ය ප්‍රබන්ධය හා සැබෑව අතර දුර මකා දමයි. එහි දී පුද්ගලයා මාධ්‍ය යථාර්තය සැබෑව ලෙස පිළිගනී. මැක්ලියොඩ් සහ ෂැගී පවසන ආකාරයට අපේ මුතුන් මිත්තන්ට මෙන් අපට කාලය හා අවකාශය පිළිබද පාලනයක් නැත. දේවල් පිළිබද හා ලෝකය පිළිබද අපේ අදහස් පාලනය කිරීම මුළුමනින්ම පාහේ අනෙක් අයගේ යටතට පත් වී තිබේ. අපගේ දිනපතා ජීවිතයට අදාළ නොවන ස්ථාන හෝ අත්දැකීම් පවා හෝ වුවමනාවටත් වඩා දැන ගනිමින් සිටිමු. මේ නිසාම ස්වාධීනව පුද්ගල විඥාණය හැසිරවීමට, චින්තනය තවදුරටත් ප්‍රසාරණය කිරීමට හැකියාව අහිමි වේ. ඒ අහිමි වීම තුළ තමන්ට තමන් අහිමිව යාම ද වැළැක්විය නොහැකිය.

 ජගත් බුද්ධිමය සංවාද තුළ නිතරම ගෝචර වන සංකල්පයක් වන්නේ මහජන කක්ෂය  (Public sphere) යන සංකල්පයයි. මහජන කක්ෂයේ දී සමාජ ජීවිතයේ (Social life) එක්තරා ප්‍රදේශයක් නියෝජනය කරයි. එම  සමාජයේ සාමාජිකයන්ට එක්ව නිදහසේ සාකච්ජා කොට අදාළ සමාජයේ සමාජගත ප්‍රශ්න හදුනා ගැනීමට අදහස් හුවමාරු කර ගැනීමට මහජන කක්ෂයේ දී ඉඩ ලැබේ. ඔවුන් අතර ඇතිවන සාකච්ජාව අවසානයේ දී දේශපාලන ක්‍රියාවන් දක්වා වර්ධනය වීමට අවශ්‍ය පදනම සකස් කිරීම මහජන කක්ෂයේ දී සිදු කෙරේ. මෙහිදී අදාළ සමාජයේ සාමාජිකයින්ගේ  ජීවිත වලට බලපෑම් ඇති කරන අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ජාවට බදුන් කෙරෙන අතර එමගින් අදාළ සිද්ධි පිළිබද පොදු විනිශ්චයකට හෝ සංහිදියාවකට පැමිණීමට පුද්ගලයන්ට මහජන කක්ෂයෙන් ඉඩ සැලසේ. ඒ අනුව මහජන කක්ෂයේ අරමුණ වන්නේ ජනතාවගේ දේශපාලන මැදිහත්වීම සාකච්ජාව තුළින් දිරි ගැන්වීමට හා ශක්තිමත් කිරීමයි. නමුත් හබමාස් පෙන්වා දෙන්නේ වර්තමාන සමාජ සන්දර්භයේ දී මහජන කක්ෂයට දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවයි. එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ද මාධ්‍යයි. එය සැබෑවකි. නූතන මිනිසාගේ නිදහස් ආකල්ප, මතිමතාන්තර, දෘෂ්ටිවාද පෑළ දොරින් පැන ගොස් ඇත්තේ මාධ්‍යකරණයෙන් නිර්මිත දෘෂ්ටිවාද, මතිමතාන්තර පුද්ගලගත හා සමාජගත වීම සදහා තවදුරටත් අවකාශය සලසමිනි.

වත්මන් මාධ්‍ය කලාව පුද්ගලයාට කෑම බීම අනුභව කරන්නේ කෙසේද? ඇවිදීම, හිද ගැනීම, නිදා ගැනීම, ඇදුම් පැළදුම් භාවිතා කරන්නේ කෙසේද? යන්න පිළිබදව සමාජ පන්ති භේදයකින් තොරව උගන්වයි. අනෙක් අතට පවුලෙන්, අසල්වාසීන්ගෙන් හුදෙකලා වී පෞද්ගලික අවකාශයක් ගොඩ නගා ගැනීමට යාන්ත්‍රණය සකසා දෙයි. නමුත් මෙය සමාජ පන්ති පදනමෙන් සලකා බැලූ විට සිනහවට ලක් වන කාරණාවක් වෙයි. අධිපති සමාජ පන්තිය හා පීඩිත පන්තිය අතර අත්දැකීම් මෙන්ම ජීවන රටාද වඩාත් සවිස්තර ලෙස මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. එතෙක් බලවත් සමාජ පන්තිය විසින් අනුගමනය කළ ආවේණික වූ චර්යාවන් අනුකරණයට සහ ඒවා පිළිබද සජීවීව දැන ගැනීමට සියල්ලන්ටම විවෘත කර දී ඇත. මෙය පුළුල් දෘෂ්ටිකෝණයට අනුව ද්‍රව්‍යාත්මක, ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් සම්පත් සමව බෙදී නොගොස් තිබිය දීම සංස්කෘතික අත්දැකීම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සංකේතාත්මකව අත්විදීමක් වේ. මෙහිදී පීඩිත පන්තිය අධිපති පන්තියේ සමාජ, සංස්කෘතිකත්වයට අනුගත වෙමින් මානසිකව ඔවුන් අධිපති පන්තියට ඇතුළත් වෙයි. නමුත් භෞතිකව සහ ප්‍රායෝගිකව ඔවුන්ට කිසිසේත්ම මෙම තත්ත්වයට ළං විය නොහැකිය. එය තමාවම රවටා ගැනීමකි. මෙබදු තත්වයන් විග්‍රහ කරන මාර්සෙල් මෞස් සදහන් කරන්නේ සමාජය සෑම විටම පොට්ට කාසි වලට සිහින මිළ දී ගනිමින් සිටින බවයි.

උපතින්ම නිදහස් මතවාදී චින්තනයක් රැගෙන එන පුද්ගලයා සමාජ, සංස්කෘතික ව්‍යුහය තුළ තම නිදහස් මතවාදී චින්තනය පසෙකලා කෘතිම චින්තනයක් හිසේ දරා ගන්නේ මේ කියූ බලපෑම්කරණය නිසාය. එහිදී භාවිතා කරන වචන ඕලාරිකය. මානුෂීය හැගීම් සරලය. එවැනි භාවිතයක් පුද්ගලයා තුළ ගොඩ නගන්නට වර්තමාන අළෙවිකරණ සහ දැන්වීම්කරණ කලාව ද පෙරමුණ ගෙන තිබේ. ඒ තුළ ඇත්තේ කාන්තාව රන් බඩු සමග දුක් සුසුම් උකසට තබන සජීවී දසුන්ය. උකස් ආයතනයක් තුළ මොහොතක් ගත කරන පුද්ගලයන්ගේ හදවත ගිනි මුහුණින් පළ වන දසුන්ය. ඒ අනුව මේ අප ක්‍රමයෙන් ගමන් කරන්නේ වස්තුව උකසට තබා කල්බදු ක්‍රමයට වාහන ලබා ණය ගැනීම් මත යැපෙන ජාතියක් කරා දක්කනු ලබන යාන්ත්‍රික පරිසරයකට නොවේ ද?

නිදහස් ව්‍යවසායකත්වයක් ස්වාභිමානීව ගොඩ නගා ගත හැකි මොහොතක මෙවන් වූ සිහින මිළදී ගන්නේ මන්ද? වැඩි මිළට සිහින විකුණන්නේ ඇයි ද?

මාධ්‍ය සජීවීකෘතය තුළ නිළියන් සුවද විලවුන්, කිරිපිටි විකුණති. වෛද්‍යවරුන් සබන් විකුණති. ඉංජිනේරුවන් සිමෙන්ති විකුණති. ක්‍රීඩකයෝ දුරකථන, අයිස්ක්‍රීම් හා පැණි බීම විකුණති. ගුරුවරු ඉඩම් දිනන්න සබන් විකුණති. සූපවේදීහු රසකාරක විකුණති. ටියුෂන් ගුරුවරු තමන්වම විකුණති. මේ අතර යතිවරු පිරිත් සංගත තැටි, තිරස්චීන විද්‍යාවන් විකුණති. මෙවන් වූ විකුණුම් පද්ධතියක් තුළ පුද්ගල දෘෂ්ටිවාදයන් හා මතවාදයන් මෙන්ම පුද්ගල විඥාණය ගොඩ නැගිය යුත්තේ කෙසේදැයි නොදනිමි. එවන් වපසරියක ස්ත්‍රීන්ගේ දෙතන සහ දෙකලවා ගැන කතා කරමින් මේ කියන මාධ්‍ය සජීවීකෘතය තුළ සිනහ වන්නට පිරිස් සිටින බව ද අමතක නොකළ යුතුය. ලෝකය භෞතික සංවර්ධනය පෙරදැරිව ගමන් ආරම්භ කළත් පුද්ගල ආකල්ප සංවර්ධනය තවමත් පසුගාමී නම් එයට වගකිව යුතු ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස මාධ්‍යය ද සිටින බව සිහි තබා ගත යුතුය.  සිතන්නට ඉඩ තබමි.

තමන් බිහි කිරීම පිණිස ස්ත්‍රියකගේ දෙකලවා රුධිරයෙන් තෙමුණු බවද තමන් ජීවත් කරවීම සදහා ඇගේ දෙතනට කිරි එරුණු බව ද සිහිපත් කරන දිනයක පුද්ගල ආකල්ප ද දියුණු වී ඇති යැයි එදිනට පවසමු. එමෙන්ම එදිනට පොට්ට කාසි වලට තවදුරටත් සිහින මිළදී ගන්නවා ද යන්නත් පිළිබදව කතා කරමු.

Top