ආදරය යනු වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අටවන ලද උගුලක් ද? (647)

post-title

ආදරය..... ආදරය..... ආදරය.....

කොතැනින් පටන් ගෙන කොතැනින් අවසන් කරන්නදැයි මා හට නොතේරේ. විටෙක ලෝකයේ සියලුම ප්‍රපංචයන්, ප්‍රස්තුතයන්, සංකල්පික න්‍යායන්, සංදර්භයන් , ප්‍රායෝගික භාවිතයන් අභිබවා ආදරය යන අක්ෂරයන් හතර තේරුම් ගැනීම වඩාත් අපහසු යැයි සිතෙයි. ආදරය යනු සරල කාරණයක් හෝ සිද්ධාන්තයක් හෝ හුදු එක් නාමමාත්‍රික වචනයක් හෝ නොවේ. යමෙකු මෙය බොහෝ සරල කාරණයක් හෝ සිද්ධාන්තයක් හෝ තවත් එක් නාමමාත්‍රික වචනයක් ලෙස තේරුම් ගන්නවානම් එය ඔහුගේ හෝ ඇයගේ මානසිකත්වයේ හෝ ලැබූ අධ්‍යාපනයේ හෝ තමා ජීවත්වන පවුල් පරිසරයේ ගැටලුවකි. ආදරය යන්න සංකීර්ණ ව්‍යුහාත්මක පදනමක් මත ගොඩ නැගී ඇති ලෝක දෘෂ්ටියට හසුවන භාවාත්මක සංකල්පයකි. මා එලෙස පවසන්නේ ආදරය යන්න පෘෂ්ඨීය තලයක සිට සාකච්ජාවට බදුන් කළ නොහැකි පෘෂ්ඨීය පරාවර්තනයක සිට සාකව්ජාවට බදුන් කළ යුතුම විද්‍යාත්මක කරුණක් වන නිසාය. එය හුදෙක්ම ෆැන්ටසියත් සමග තවදුරටත් හරඹ කරන සහ තවදුරටත් එවැනි ලෝකයක එල්බ නොසිටිය යුතු සංකල්පයක් වන නිසාමය. 

ආදරය පිළිබදව සමාජීය, සංස්කෘතික මිනිසා අර්ථකථන සපයන්නේ විවිධාර්ථයන් සමග බව අවිවාදිතය. ආදරය ඔබ දකින හෝ විදින ආකාරයට මා දකින්නේ නැත. මා දකින ආකාරයට හෝ විදින ආකාරයට ඔබ දකින්නේත් නැත. සත්‍ය නම් එයයි. ඒ අතර බහුත්වවාදී සමාජයක ආකර්ශනය ආදරය යන්න වටහා ගන්නා පිරිස් බහුල බවද අමුතුවෙන් සදහන් කළ යුතු නැත. නමුත් ආකර්ශනය යනු ආදරය නොවේ. ආකර්ශනය ආදරය ඇති වීමට බලපානු ලබන එක් සාධකයක් පමණි. ඔහු හෝ ඇය පිළිබදව යම් අයෙකුට ආකර්ශනයක් ඇති වීමට බලපාන සාධක විවිධය. නිතර දැකීම නිසා, එකට වැඩ කිරීම නිසා, එකට ජීවත් වීම නිසා (Geographical nearness/ mere exposure effect)" පෙනුමට ඇති කැමැත්ත නිසා (The Hotty Factor), පොදු කැමැත්ත ඇති නිසා (Similarity), තමාට සමීප වෙනත් කෙනෙකුගේ රූපයට හෝ ගති පැවතුම් වලට සමාන වීම නිසා (Liking through Association), අනෙක් කෙනා තමාට කැමති නිසා  (Reciprocal Liking) යනාදී වශයෙන් එය වර්ග කළ හැකිය. ඒ නිසා මා ආකර්ශනය යන්න පිළිබදව මූලිකාරම්භයේ දී සදහන් කළේ ආකර්ශනය හා ආදරය යන සංකල්පයන් දෙක පටලවා නොගෙන අමතර ගැටලුවක් සහෘද පාඨක මනසෙහි පැන නැගීම වළක්වාලීමටයි. 

පූර්වෝක්තව සදහන් කළ පරිදි ආදරයට නිශ්චිත අර්ථකථනයක් නොමැත්තේ බහුවිධ මිනිසා ලබා දෙන අර්ථකථන එකිනෙකට හුදෙක්ම වෙනස් වන බැවිනි. සමාජ ජීව විද්‍යාත්මක මතය වන්නේ ආදරය යනු වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අප වෙත අටවන ලද උගුලක් බවයි. 

" Love is a trick on us to achieve the continuation of the species”

ආදරය පිළිබදව මෙලෙස සදහනක් විචාරාක්ෂියට හමු විය. ආදරය යනු ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැගීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රණයකි. ආදරය යනු චිත්තවේගාත්මක භාවාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතාවයයි. එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයෙකු වෙත දක්වන යහපත් පරාර්ථය මුසු සහකම්පනයකි. ආදරය යන වචනය විවිධ දෘෂ්ඨිකෝණ වලින් හා විවිධ අර්ථ දැක්වීම් වලින් ගහණය. මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර ඇති වන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි. මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයක් ද ආදරය ලෙස සළකයි. මෙවැනි අන්තර් පුද්ගල සම්බන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මානව නොවන ජීවියෙකු අතර ඇතිවන භාවාත්මක බන්ධනය ද ආදරය ලෙස සළකයි. තවත් අවස්ථාවල මානව නොවන, ජීවියෙකු ද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරෙහි ද භාවාත්මක බන්ධනයක් ඇති විය හැකිය. 

එසේ නම් සැබෑ ආදරයක් පුද්ගලාන්තර හෝ පුද්ගලාබද්ධ නොවන ලෙසට විය හැකිය. පුද්ගලා බද්ධ නොවන ආදරයේ දී පුද්ගලයා යම් භෞතික වස්තුවකට යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ආදරය දක්වයි. මනෝ විද්‍යාත්මකව ගත් විට යමෙකු තමා ආදරය කරන පුද්ගලයාගේ ජායාරූපයකට හෝ ඔහු හෝ ඇය විසින් භාවිතා කළ යම් භෞතික වස්තුවකට ආදරය කරයි. එය පරිසරයේ පොදු භෞතික වස්තූන්ට දක්වන ආදරයෙන් විතැන් වීමකි. මනෝ විද්‍යාවට අනුව මෙය 

වියෝග කාන්සාවෙන් මිදීම සදහා අවිඤ්ඤාණිකව භාවිතා වන සංරක්ෂණ ප්‍රයෝගයකි. දෙදෙනෙකු අතර ඇති වන භාවාත්මක හා චිත්තවේගී බැදීම මෙන්ම පුද්ගලාබද්ධ නොවන ආදරය ද වත්මන් මානවයා තේරුම් ගෙන නැතැයි පැවසිය හැක්කේ වත්මන් සමාජය ගමන් කරන දිශාව වත්මනෙහි මෙන්ම අනාගතයෙහි ද ඛේදවාචකයක් වන බැවිනි.

කෙසේ නමුත් ජීව විද්‍යාත්මකව බලන විට ආදරය ඇති වීම කෙරෙහි බලපානු ලබන්නේ සිරුර තුළ නිපදවෙන හෝර්මෝන මගින් බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කර ඇත. ස්ත්‍රී පුරුෂ ආදරය සදහා ටෙස්ටස්ටෙරෝන් හා ඊස්ට්‍රජන් හෝර්මෝන දායක වනවා සේම එසේ හෝර්මෝන නිපද වූ පමණින් සැබෑ ආදරයක් හට ගන්නේ නැත. ආදරයෙහි ස්වරූපයන් හතක් ඉදිරිපත් වී ඇති අතර මින් ඔබ අයත් වන්නේ කුමන උපකුලකයකටදැයි ඔබම වටහා ගන්න.

  1. මෝහාදරය Infatuation (Passion)
  2. කැමැත්ත නිසා ඇති වන ආදරය Liking (Intimacy)
  3. හිස් ආදරය Empty love (Commitment)
  4. මාරාන්තික ආදරය Fatuous Love (Commitment+Passion)
  5. රොමෑන්තික් ආදරය Romantic Love (Passion+Intimacy)
  6. සහචර ආදරය Companionate Love (Intimacy+Commitment)
  7. සම්පූර්ණ ආදරය Consummate Love (Passion +Intimacy+Commitment)

1973 දී Lee ප්‍රකාශ කරන ආකාරයට ආදරවන්තයින් වර්ග තුනක් සිටින බව දක්වන්නේ ඔබ අයත්වන කුලකය ඔබටම නැවත සිතා බලන්නට අවකාශය සලසමිනි. ඒ අනුව තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේ දී අධ්‍යාපනය, කුලය, සමාජ තත්ත්වය, ආර්ථිකය වැනි කරුණු සොයා බලන ප්‍රායෝගික පෙම්වතුන් (Pragma) එක් උප කුලකයකි. උමතුව යනු ප්‍රේමයේ ශෛලියකි. ඉතා සුලු ගැටුමකින් පවා කලබලයට හා විස්සෝපයට පත් වන පෙම්වතා හෝ පෙම්වතිය තමා සතු කර ගැනීමට ප්‍රයත්න දරන උමතු ආදරවන්තයින් (Mania)  තවත් එක් උපකුලකයකි. Agape හෙවත් පරාර්ථකාමී ප්‍රේමය අනෙක් උප කුලකයයි. මේ ආදරයේ දී තමන්ගේ සහකරු හෝ සහකාරියගේ සතුට තමන්ට වඩා ඉහළින්ම අගය කරන ආත්ම පරිත්‍යාගශීලී ලක්ෂණ සැබෑ ආදරයේ මූලික බීජාංකුරය වේ.

කෙසේ නමුදු ආදරය යනු හුදෙක් වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම පමණක් නොව සමස්ත භෞතික සහ මානව ලෝකයේ පැවැත්ම ආරක්ෂා කර ගනිමින් ප්‍රගතිශීලී අදහස්, ආකල්ප, චින්තනයන් සංසරණය කිරීමට ප්‍රවාහනය කිරීමට උපකාර කරන්නකි. ඒ තුළ එකිනෙකාට ගරු කිරීම, වෙනස්කම් අගය කිරිම, නිදහස අගය කිරීම, කරුණාව, දයාව රැකබලා ගැනීම එකිනෙකාට පෙන්වීම යනාදී මානුශීය ලක්ෂණ ඇතුළත් වේ. කෙටියෙන්ම කිවහොත් ආදරය යනු භාවාත්මක වූ සහකම්පන තත්ත්වයකි. බහුවිධ සමාජයේ බොහෝ පිරිස් විලාසිතාවකට මෙන් සමාජගත කිරීමට නිර්මාණය කළ මතය වන්නේ System change ය. System change කරන්නට පෙර තමන් change විය යුතුය. මන්ද තමා තමාටවත් ආදරය නොකරන, ආදරය යන වචනාර්ථයේ උක්ත ආඛ්‍යාතයවත් හරියට නොහදුනන පුද්ගලයා System change කරන්නට වෙහෙසෙන්නේ කුමන පරමාර්ථයකින් ද යන්න ප්‍රශ්නාර්ථයකි. කළ යුත්තේ පළමුව තමාට ආදරය කරමින් අනෙකා කෙරෙහි සහකම්පනයක් ඇති කර ගනිමින් සමස්ත මානවයාටම ආදරය දැක්වීමයි. එහි දී සියල්ල වෙනස් වී ආදරණීයයන් පිරි ආදරණීය ලෝකයක් හමු වනු ඇත. එහිදී සැබෑ ආදරය ද එවිට ඔබට, මට මුණ ගැසේවි.

Top