අළු මතින් නැගී සිටින ෆීනික්ස් (519)

post-title

ජීවිතයේ අසීරුතම කාලවල දී "ෆීනික්ස් පක්ෂියෙකු" ලෙස නැගී සිටිය යුතුයි. ශක්තිමත් විය යුතුයි, වැනි උපදේශ ඔබ කෙදිනක හෝ අසා ඇති.

සැබවින්ම "ෆීනික්ස් පක්ෂියා" යනු කවරෙක් ද? සැබවින්ම ඔහු ශක්තිවන්තයෙක්ද? 

ෆීනික්ස් පක්ෂියා යනු හුදු මිථ්‍යා සත්වයෙක් ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් ග්‍රීක හා ඊජිප්තු ඉතිහාසයන් වල පුරාවෘත්තයක් ලෙස ෆීනික්ස් ගැන සදහන් වන අතර රෝම, අරාබි, රෝමආදී රටවල් වල ඓතිහාසික කතාන්දර තුලද ෆීනික්ස් පක්ෂියා පිළිබඳව කරුණු කාරණා ඇත. ෆීනික්ස් පක්ෂියා සහ සූර්යයා අතර සම්බන්ධය ඉතා සමීප වන අතර ෆීනික්ස් පක්ෂියා සූර්යයා වෙතින් තම මරණය සහ උපත වෙනුවෙන් දායාද ලබා ඇති බව පැවසේ. එමෙන්ම ෆීනික්ස් සූර්යයාට ගීත ගායනා කරන බවද පැවසේ.

එක් ඓතිහාසික කතාවකට අනුව ෆීනික්ස් පක්ෂියා සූර්යයාට ආශක්තව සූර්යයා වෙත පියඹා යන බව පැවසේ. එහිදී හිරු රැසින් දැවෙනා තම ශරීරය අළු වූ පසු සූර්යයාගේ මහිමයෙන් තම අළු තුළින්ම උපත ලබන බව පැවසේ. තවත් කතාවකට අනුව වසර 1000ක් වැනි දීර්ඝ ජීවිතයේ (ඇතැම් ජනප්‍රවාද වල වසර 500ක් ලෙස සැලකේ) අවසාන කාලයේ දී තම මරණය සිදු වීමට පෙර බොහෝ දුර ගොස් එකතු කොටගත් ඖෂධ වර්ග වලින් තමා ම විසින් ම තැනූ කූඩුවක ඔහු විසින්ම තම ශරීරය දවා අළු කරගන්නා බවත් ඉන්පසු ඒ අළු මතින් ම නැවත ජීවය ලබන බවත් පැවසේ. තවත් කතාවක් පවසන්නේ ෆීනික්ස් තම මරණ අවස්ථාවේ දී සූර්යයාට තම අවසන් ගීතය ගයන බවත්, ඉන්පසු ඖෂධ වර්ග තුළින් තැනූ කූඩුව සහ ෆීනික්ස් පක්ෂියා සූර්ය රැස් වලින් දැවෙනා බවත්, ඉන් මොහොතකට පසු ඒ අළු මතින් ෆීනික්ස් පක්ෂියා නව ජීවයක් ලබන බවත් ය. මීට අමතරව ෆීනික්ස් පක්ෂියාගේ උපත-මරණය සහ යළි ජීවය ලැබීම පිළිබඳව බොහෝ කතාන්දර දැකිය හැක.

කෙසේ නමුත් තමා විසින්ම තම ශරීරය දවා අළු කර ගැනීමෙන් පසු ඒ අළු මතින් ම නව ජීවය ලබන බව ෆීනික්ස් පක්ෂියාගේ අමරණීයත්වය පිළිබඳව ඇති ජනප්‍රිය සහ ප්‍රසිද්ධම ජනප්‍රවාදයයි. එය ඉතා වේදනාකාරී කටයුත්තක් බවත් දින තුනක් පුරාවටම ඔහු මෙම වේදනාකාරී කටයුත්තේ නියැලෙන බවත් සදහන්‍ ය. කෙසේ නමුත් එකී අසීරු ව්‍යර්ථයේ ප්‍රථිපලය වන්නේ ෆීනික්ස් පක්ෂියා ඉතා සුන්දර, ආකර්ෂණීය සහ ශක්තිමත් ලෙස නැවත තම ජීවිතය ලැබීමයි.

ෆීනික්ස්පක්ෂියා ජීවත් වන්නේ කොහේද?

එම පැනයට ද විවිධාකාර වූ විසදුම් ඓතිහාසික කතාන්දර තුළ දැකිය හැක. බොහෝ කතාන්දර පවසන්නේ ෆීනික්ස් පාරාදීසයේ වාසය කරන බවයි. මෙම භූමිය සූර්යයාට එහා ගිය පරිපූර්ණ ලෝකයක් යැයි කියනු ලබන අතර සමහර විට එය ස්වර්ගයේ නිරූපණයක් ලෙස ද සැලකේ. ඇතැම් කරුණු වලට අනුව ෆීනික්ස්ගේ නිවහන යැයි කියනු ලැබූ එක් ස්ථානයක් වූයේ හෙලියෝපොලිස් (සූර්යයාගේ නගරය) ය. ඇතැම් ජනප්‍රවාද වලට අනුව ෆීනික්ස් නැවත ඉපදුණු ස්ථානය ද මෙයයි. ග්‍රීකයෝ කියා සිටියේ ෆීනික්ස් අරාබියේ ළිඳක් අසල ජීවත් වන බවයි. ඔවුන්ගේ වාර්තාවලට අනුව, ෆීනික්ස් සෑම උදෑසනකම ළිඳේ ස්නානය කර ඉතා සුන්දර ගීතයක් ගායනා කළ අතර, ඇපලෝට (හිරු දෙවියාට) තාලයට සවන් දීම සඳහා අහසේ ඔහුගේ අශ්ව රථ නැවැත්වීමට සිදුවූ බවද පැවසේ. ෆීනික්ස් ඉතා සුන්දර සහ ආකර්ෂණීය, පරිපූර්ණ පක්ෂියෙකු ලෙස සැලකේ. බොහෝ දුරට මෙම සත්වයා පාරාදීසය සමඟ සම්බන්ධ වී ඇති නිසා ඔහුගේ සෑම දෙයක් ම පරිපූර්ණ බව පැවසේ. ෆීනික්ස් පිළිබඳව බොහෝ වාර්තා විස්තර කරන්නේ ඔහු වර්ණවත් රතු සහ කහ පැහැයෙන් යුක්ත වන බවයි. මෙම බලසම්පන්න පක්ෂියාගේ පෙනුම අන් කිසිවකට වඩා වෙනස් බවත් එය කැපී පෙනෙන්නේ ඔහුගේ පිහාටු නිසා බවත් පැවසේ.

 ග්‍රීක පුරාවෘත්තවලට අනුව ෆීනික්ස්ට දීප්තිමත්දම් පාට වර්ණය සමඟ සම්බන්ධයක් ද ඇත. ග්‍රීකයින් දම් පැහැයට බොහෝ ආකර්ෂණීය වූවන් නිසා මෙසේ විශ්වාස කරනා බැව්ද පැවසේ. මිථ්‍යාවේ ග්‍රීක අනුවාදයෙන් ආනුභාව ලත් බොහෝ කලා කෘතිවල දීප්තිමත් කහ, රතු සහ දම් පැහැති පිහාටු ඇති පක්ෂීන් පෙන්වයි. බොහොමයක් දෙනාගේ පිළිගැනීම නම් ෆීනික්ස් පක්ෂියාගේ සිරුරේ දීප්තිමත් සහ වර්ණවත් ලෙස රතු සහ කහ වර්ණය බොහෝ ලෙස දැකිය හැකි බවත්, රත්‍රන් සහ නිල් පැහැය ද විචිත්‍රත්ව තරමක් දැකිය හැකි බවත්‍ ය. 

ෆීනික්ස් පක්ෂියාගේ දෙනෙත් කහ පැහැයෙන් දීප්තිමත් වන අතර තවත් සමහරු කියා සිටින්නේ ඒවා දිලිසෙන නිල් මැණික් දෙකක් හා සමාන බවයි. ෆීනික්ස් පක්ෂියා රාජාලි පක්ෂියෙකුගේ ප්‍රමාණයටත් වඩා විශාල බවත් ඇතැම් කාරණා වලට අනුව ඔහු හොදින් වැඩුණු උකුස්සෙකුගෙ ප්‍රමාණයේ බවත් පැවසේ. කෙසේ නමුත් ෆීනික්ස් පක්ෂියා ඉතා තියුණු සහ ජවසම්පන්න පක්ෂියෙකු බවද පැවසේ. තවත් විශ්වාසයකට අනුව ෆීනික්ස් පක්ෂියා හට මිනිසුන් කෙරෙහි බලපාන බලගතු පුනර්ජනනීය බලයක් ඇති බවත්, ෆීනික්ස් පක්ෂියාගේ කදුළු බලගතු ඖෂධයක් බව ද පැවසේ. ඕනෑම දරුණු තුවාලයක් සුව කිරීමේ බලය ඒවා සතු බවද තවත් කරුණකි. මීට අමතරව, ෆීනික්ස් පිළිබඳ නව මිථ්‍යා කථා වලින් කියැවෙන්නේ ෆීනික්ස් සත්වයා අසල සිටී නම් පුද්ගලයෙකුට බොරුවක් පැවසිය නොහැකි බවයි.

මේ සියලු මහිමයන් ෆීනික්ස් වෙත හිමි වූයේ තම ශරීරය දවා අළු කරගැනීමට ගත් අසීරු තීරණය නිසා බවද තවත් විශ්වාසයකි.

 ෆීනික්ස් මේ ලෝකයේ අනෙක් පක්ෂීන්ට වඩා වෙනස් ආහාර වේලක් ඇති පක්ෂියෙකු බව සැලකේ. පලතුරු හා ඇට වර්ග අනුභව කරනවා වෙනුවට ෆීනික්ස් කට්ටකුමංජල් හා ඇරෝමැටික කුළුබඩු අනුභව කළ බව කියනු ලැබේ. 

එමෙන්ම ෆීනික්ස් පක්ෂියා වාසනාවේ, ජයග්‍රහණයයේ, සෞභාග්‍යයේ සංකේතයක් ලෙස ඇතැමුත් සලකයි.

තවද, ධනාත්මක ශක්තිය නිරූපණය වන සංකේතයක් ලෙසද සලකයි.

ෆීනික්ස් පිළිබඳව මෙවැනි බොහෝ කරුණු කාරණා, ජනප්‍රවාද, බොහෝ ඇති අතර ඒවා බොහෝ ආශාවෙන් රස විදිය හැක.

ෆීනික්ස් යන මෙම මිථ්‍යා සත්වයා තම අමරණීයත්වය වෙනුවෙන් ගත් අසීරු තීරණය වූ තමා විසින්ම තම ශරීරය දවා ගැනීම මෙන් අසීරු තීරණයන් අපටද ප්‍රායෝගික ජීවිතයේ දීගැනීමට සිදුවනු ඇත.

සාර්ථකත්වය, ඉලක්ක, සිහින හඹා යෑම වැනි ජීවන තරගයේ අභියෝගවලදී ඔබ සහ මා අසීරුතම සහ වේදනාකාරී කැපකිරීම්, තීරණයන් බොහොමයක් මේ වනවිටත් ගෙන ඇතුවාට සැක නැත. ඉදින් බලාපොරොත්තු තබා ගත හැක. අසීරුම කැපකිරීම්, වේදනාකාරී තෝරාගැනීම් වල ප්‍රථිපලයන් ඉතා වර්ණවත් සහ ශක්තිමත් ෆීනික්ස් පක්ෂියෙකු ලෙස අප ඉදිරියේ හිස ඔසවනු ඇත.

මා ලිපියේ මුලදී සදහන් කළාක් මෙන් ෆීනික්ස් පක්ෂියෙකු සේ ශක්තිමත් විය යුතු බවත්, නැගී සිටිය යුතු බවත් බොහෝ තැන් වලදී පවසන්නේ එබැවිනි.

හුදු මිථ්‍යාවක් වන පක්ෂියෙකුගෙන් අපට උගත හැකි වටිනාම පාඩම එයයි.

Top