සිර කළ සීමා මායිම් බිද නිදහසේ හුස්ම ගන්නා ගැහැනියක් වෙමු (622)

post-title

ගෑනුන්ගෙන් මොලේ හැදිමිටේ තරම් කියලා ඈත අතීතයේ හැදුන කියමනක් ඔබත් මමත් ඉහේ කෙස් ගානට අසා ඇති. කාන්තාව සමාජය ඇතුළෙ රාමු කරන්න හොඳම අවියක් උනා ඔන්න ඔය කියමන. කාන්තා අයිතිවාසිකම් ඉල්ලලා කෑගහන සංවිධාන ඕනි තරම්. ඒත් මේ කතා කරන්නේ අයිතිවාසිකම් ගැන නම් නෙමෙයි. සමාජය ඇතුළෙ කාන්තාව දාලා තියෙන්නෙ යකඩ වගේ ශක්තිමත් රාමුවක් ඇතුළට. පිටට පනින්න බැරි වෙන්නම අගුලු දාලා. රාමුවෙන් පිටට ගියොත් ගල් ගහනවා. ඒ විතරක් නෙමේ කාන්තාවකට ගරු කරන සමාජයක් දැන් තියෙනවද? මං මේ කතා කරන්නේ ලංකාව ගැන. ලෝකයේ බොහෝ රටවල් එක්ක සංසන්දනය කළොත් කාන්තාවට විශාල ගෞරවයක් ලබා දෙනවා. කාන්තාව මාතෘත්වය, සහෝදරත්වය කියන ඇසෙන් නිතරම බලන සමාජය හැදිලා තියෙනවා. පොදු ප්‍රවාහනයකට ගොඩ වුණත් කාන්තාවට හිටගෙන යන්න දෙන්නෙ නෑ. පිරිමි නැගිටලා අසුනක් දෙන්න තරම් ඒ රටවල පිරිමි නිහතමානී. ඒක නිවටකමක් නෙමෙයි. හැබැයි ලංකාව ඇතුළෙ මේ රටාව වෙනස්. දුම්රියකට ගැබිණි මාතාවක් ගොඩ වුනොත් ඇයට අසුනක් දෙන්න පිරිමි විතරක් නෙමෙයි ගැහැණු උදවියත් දෙතුන් පාරක් හිතනවා.

සමාජමය වශයෙන් විතරක් නෙමෙයි දේශපාලන, ආර්ථිකමය වශයෙන් කාන්තාව සීමාවෙලා නෑ කියලා හිතුවත් ඔබට මට නොපැමිණ සීමා රාමු ඕන තරම් තියෙනවා. සංස්කෘතිකමය වශයෙන් බැලුවහම කාන්තාව කියන්නේ අමුවෙන්ම සිරකාරියක්. කාන්තාවගේ ඇඳුම , හැසිරීම, විලාසිතා මේ හැමදේම තීරණය කරන්නෙ සංස්කෘතිය. අලුත් විදිහට හිතලා රාමුවෙන් පිට පනින්න හැදුවොත් කකුලෙන් අදින්න තරම් සංස්කෘතිය කුහක වෙලා. හැබැයි මේ අලුත් විදියට හිතීම ඇතුළෙ අලුත් වන හැම දෙයක්ම නිරවද්‍යයියයි කියල නම් නෙවෙයි මේ කියන්නෙ. විවෘත ආර්ථිකයෙන් පස්සෙ ස්ත්‍රියට යම් නිදහසක් ලැබුණා. වෘත්තිය නිදහස බොහෝ දුරට ලැබුණා. එහෙත් අදටත් සමාජය විසින් කාන්තාවන හිරකරගෙන අල්ලගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට කාන්තාව හිර කරන්නේ කාන්තාව විසින්මයි .

රටක් වෙනස් කරන්න එකපාරට ම බැහැ. ඇත්තටම වෙන්න ඕන තමන්. එහෙම වුනොත් අපිට පුළුවන් රටක් වෙනස් කරන්න. සමාජයේ කුඩාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. අපිට පුළුවන් අපේ පුංචි පවුල වෙනස් කරගන්න. අපේ ගෙදර ඇතුළෙ ඉන්න මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න යම් තරමකට අපිට පුළුවන්. නිකමට හිතලා බලන්න ගෙදරක දුවලා පුතාලා කලවමේ ඉන්න ගෙදරක අම්මා මොන වගේ විදිහටද ඒ ඒ අවස්ථාවල ප්‍රතිචාර දක්වන්නෙ. පුතෙක් රෑවෙලා ගෙදරට ආවොත් අම්මා මොනවද කියන්නෙ? දුවෙක් රෑවෙලා ගෙදර ආවොත් අම්මා මොනවද කියන්නේ ? ගොඩක් වෙලාවට මෙන්න මේ අවස්ථාවලදී ඇත්තටම හිතුවේ ආරක්ෂාව ගැන විතරක් නෙමෙයි. අම්මලට ඇතිවුණ ලොකුම ප්‍රශ්නෙ තමයි 'මිනිස්සු මොනව හිතයිද?' කියන එක. පුංචි කාලේ ඉඳලම ගෑනු දරුවෙක්ට පවුල ඇතුළෙන් පවා සීමා මායිම්වලට යටත් වෙන්න සිද්ධ වුණා. ඒක විවාහයෙන් කෙලවර වෙන්නේ නැහැ. ඉන් පස්සෙත් කාන්තාව කියන්නේ සමාජය ඇතුළෙ හිර වෙලා ඉන්න චරිතයක්. සමාජය මොනවද ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු වෙන්නෙ? සමාජය මොනවද පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ? පිරිමි ගෙදරදොර වැඩ කළොත් සමාජය මොනවා කියයිද? 'ඕව ගෑණු වැඩ. පිරිමින්ට ඕවා ගැලපෙන්නේ නැහැ.' අන්න ඒ තැන්වලදී පිරිමින්ට සමහර වෙලාවට අකමැත්තෙන් වුණත් සිද්ධ වුණා ගෙදර දොරේ වැඩවලට උදව් නොවී ඉන්න. ඇත්තටම පිරිමි බයයි එළිපිට මිදුලක් අතුගාන්න. සමාජයේ මොනවා හිතයිද කියන තැන පිරිමි ඇත්තටම හිර වුණා. 

මට මතකයි විවාහක රූ රැජින කිරුළ සම්බන්ධව පහුගිය දවස්වල ඇතිවුණු කතාබහ. පුෂ්පිකාට හිමි කිරුළ ලෝක රූ රැජිණ වන කැරොලයින් ජූලි විසින් ගලවා වෙනත් ස්ත්‍රියකට ප්‍රසිද්ධියේ පැළඳවීම තමයි ඒ සිදුවීම. පුෂ්පිකා දික්කසාද කාන්තාවක් වීම එයට හේතුව බව කැරොලයින් ජූලිගේ අදහස වුණා. ඇත්තටම දික්කසාදවීම කොහොමද කාන්තාවකට විතරක් බලපාන්නෙ? ඒකට වගකියන්න ඕන කාන්තාව විතරද? ඔබ නිකමට සිතා බලන්න ගණිකා නිවාසයක් වැටලුවොත් අත්අඩංගුවට ගන්නෙ ගණිකාවො විතරයි. එතකොට ගණිකාවො සොයාගෙන එන පිරිමි කලේ වරදක් නෙමෙයිද? පිරිමි මොන වැරැද්ද කළත් 'අනේ ඉතින් පිරිමිනෙ' කියල කිව්වෙ කාන්තාවමයි. කන්‍යාභාවය මිසක් සමාජය හෙව්වේ කුමර බඹසර නෙමෙයි. 

මං හිතන්නේ කාන්තාව සංවිධානාත්මක වෙලා පිරිමින්ගෙන් අයිතිවාසිකම් ඉල්ලන්න විතරක් නෙමෙයි ඇත්තටම ඕනි. කාන්තාව සංවිධානාත්මක වෙලා වෙනස් කරන්න ඕනි කාන්තාවගේ ආකල්ප. අන්න එතකොට පුළුවන් හිර කරල තියන සීමා මායිම් බිඳින්න, කාන්තාවකට ඇත්තටම නිදහසේ හුස්ම ගන්න. ඉතින් එන්න අපි නාරි කියවමු. නාරි ගැන ලියමු. ඒ වෙනුවෙන් මේ ඉසවුව ඉදිරි සතිවල ඔබටත් ඉඩ හදනු ඇත. 

Top