“ ස්ත්‍රිය වූ කලී උපත ලැබුවා නොව නිෂ්පාදනය කරනු ලැබූවකි” (683)

post-title

අධිපති පිරිමියාට සියලු දේ හිමියි යන දෘෂ්ටිවාදය මූලික කොට ගත් සමාජ සංදර්භයන් නිර්මාණය වන වපසරියක ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබදව මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද සංවේදී වාර්තාකරණය සම්බන්ධව සමාජ සංකථනයක් ගොඩනැගීම තත්කාලීන සමාජ ව්‍යුහය තුළ, මේ තත්පරය තුළ ම සාකච්ජාවට බදුන් කිරීම වඩාත් උචිත යැයි හැගේ. පුරුෂවාදී සමාජයක, පීතෘ මූලික සංස්කෘතියක පවුලේ සියල්ල අධිපති පිරිමියාගේ පාලනය යටතට ගැනීමේ මූලධර්මය අනුගමනය කරමින් සමාජය තුළ ඒකාකෘතික දෘෂ්ටියක් හෙළීමට අප සියලු දෙනාම පුරුදුව ඇත. එය මනුෂ්‍යයාගේ ශික්ෂණය අභිබවා මිනිස් මනස ද යම් ආන්තීකරණයකට, සීමාකරණයකට ලක් කිරීමට ඉහත කී පුරුද්ද බලපෑම් කළ බව ඍජුව ප්‍රත්‍යක්ෂ කළ හැකිය. කළ යුත්තේ මෙතෙක් අනුකූල වූ අනුගත වූ සුපුරුදු ක්‍රමය බැහැර කොට යථාර්තවාදී වූ නුපුරුදු ක්‍රමය වැළදගෙන යථාවත් සංවේදී දෘෂ්ටිය සමාජගත කිරීමයි. 

ස්ත්‍රී පුරුෂභාවය උපතින්ම හිමිවන ජීව විද්‍යාත්මක බෙදීමක් වුවද පශ්චාත් නූතනවාදී සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමාජ සංස්කෘතික සාධකත්, සමාජ සම්බන්ධතා නිසා සකස් වී ඇති සමාජ ලක්ෂණත් නිසා උපතින් හිමි නොවේ. සිය වර්ගයා බෝ කිරීමේ දී දරණ ශක්‍යතාවයට අනුව ජීව විද්‍යාත්මකව උපතේ දී ස්ත්‍රී පුරුෂභාවය (ලිංගිකත්වය- sex) තීරණය වුවත්, සමාජය හා සංස්කෘතිය විසින් තීරණය කරනු ලබන භූමිකා හා වගකීම සමග බැදුණු සමාජයීය ආකෘතික ස්වභාවය මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය තීරණය කරයි. පුරුෂයාගෙන් පිටවන ශුක්‍රාණු වල x හෝ y බවේ වෙනස මත ස්ත්‍රී පුරුෂ බව තීරණය වුවද සෑම විටම දෙපාර්ශවයෙන් එක් අයෙක් හෝ ආන්තීකරණයට ලක් කොට සමාජගත කරන්නේ නම් එය සමාජ සෝදා පාළුව තීව්‍ර කරන තවත් එක් ප්‍රධාන සාධකයකි. එය ගුණාත්මක සමාජයක් නිර්මාණකරණයේ දී එයට එල්ල කරන ලද මරු පහරකි. හඩ නැගිය යුත්තේ ඒ සැබෑ ගැටලුව වෙනුවෙනි. නමුත් අවාසනාවට ඒ සියල්ල පසෙකලා ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස සංස්කෘතිය මගින් විශාල කොට පුරුෂාධිපත්‍යය වෙත නතු කොට ඇත. ඒ තුළින් නිර්මාණය වන සමාජ කුස්තුර වලට පැළැස්තර යෙදීම ඕනෑවටත් වඩා සිදුවෙමින් පවතින්නේ “ස්ත්‍රිය” යන්න තව තවත් සමාජයේ ආන්තීකරණයට ලක් වූ පිරිසක් ලෙස සමාජ දේහය තුළම ඔසවා තබමිනි. 

කාන්තාව හා පිරිමියා අතර සංස්කෘතිය විසින් අර්ථ ගන්වා ඇති විෂමතාවන් වන්නේ පුරුෂයා වූ කලී ශරීර ශක්තිය දැඩි, ලිංගික ප්‍රහාරකයෙක් වන, තාර්කික විශ්ලේෂණකාරී, ඒකීයවාදී වූ, පරිසර ආක්‍රමණකාරී, නායකත්වයේ සළකුණ ඇති සමාජ සත්ත්වයෙක් ලෙසයි. කාන්තාව වූ කලී මුදු මොළොක් ලාමක, හැගීම්බර, සංශ්ලේෂිත, බහුවිධ වූ, පහසුවෙන් සසල වන, ඉවසිලිවන්තව දරා ගන්නා, යටත් වැසියෙකු ලෙස ලිංගික පීඩිතව සිටින පවුල් සත්ත්වයෙක් ලෙසයි. මෙය නිර්ණය කර ඇත්තේ සංස්කෘතිය විසින් විනා අන් කිසිවක නොවේ. ඒ සංස්කෘතිය නිර්මාණය කිරීමට මූල බීජය සකසා ඇත්තේ අප සියල්ලෝමය. සියල්ලන්ටම වැරදුණේ ද එතැනය. කාන්තාව වූ කලී පුරුෂයාගේ යටත් වැසියෙක් විය යුතුද? ලිංගික පීඩිතයෙක් විය යුතුද? සියලු අවස්ථාවන්හිම ලාමක ළද බොළද විය යුතුද? කාන්තාව පවුල් සත්ත්වයෙක් පමණම ද? සමාජ සත්ත්වයෙක් නොවේද? ඉදින් මෙලෙස සංස්කෘතිය විසින් පැවරූ මෙම නිර්ණායකයන්ට එකග විය හැකිද? කාන්තාවත් පිරිමියා සේම මේ කියූ සාර්ව ගුණාංගයන්ගෙන් යුක්ත අයෙකු බව මතක තබා ගත යුතුය.

ප්‍රංශ ජාතික ස්ත්‍රීවාදිනියක වන සිමෙන් ඩී බුවර් වරක් සදහන් කරන්නේ ස්ත්‍රිය වූ කලී උපත ලැබුවා නොව නිෂ්පාදනය කරනු ලැබුවා යන්නයි. 

‘ One is not born a women, but becomes one’

ඒ අනුව ස්ත්‍රියට සිදුවන්නේ සමාජය විසින් දෙනු ලබන අනන්‍යතාවයකට අනුගතව සිය පැවැත්ම දරා ගැනීමටයි. තවදුරටත් මෙහි ඛේදනීය තත්ත්වය වන්නේ ස්ත්‍රිය සිය ජීව විද්‍යාත්මක ශරීරය නිසා ස්ත්‍රියක් බවට පත් වනවා නොව සමාජය විසින් ස්ත්‍රියක් බවට පත් කරනු ලැබීමයි. ස්ත්‍රියට උචිත ප්‍රධාන ගති ලක්ෂණ ස්ත්‍රිය වෙත ආරෝපණය කිරීම තුළින් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන්ට බලහත්කාරයෙන්ම ද්විතියික ස්ථානයකට ඇද දමා ඇත. එහිදී පිරිමිකම හා ගැහැණුකම සමාජය විසින් පවරන ලද දෙයක් ලෙස සූචනය වන බවද සදහන් කිරීම වැදගත්ය. එය ගැහැණිය මෙන්ම පිරිමියාව ද පීඩාවට පත් කළත් මින් වඩාත්ම පීඩාවට පත් වන්නේ ගැහැණියයි.  නමුත් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කරුණ වන්නේ ගැහැණිය සහ පිරිමියා එක සමානය යන්නයි. සමාන අයිතීන්, සමාන වගකීම්, සමාන අවස්ථා, සමාන සැළකිලි ආදිය දෙපාර්ශවයටම හිමි විය යුත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

අද්‍යතන බල යාන්ත්‍රණය තුළ එනම් දේශපාලන බලය, ආර්ථික බලය, මිලිටරි බලය, සංස්කෘතික බලය තුළ ලිංගිකත්වයේ දී ස්ත්‍රියට එරෙහිව පුරුෂයා නැගී සිටී. මෙය සමාජ පැළුම් රේඛාවන්හි මූලික ලක්ෂණයකි. මෙම ලිංගිකත්වය තුළ කාන්තාව ආන්තික ප්‍රජාවකි. එහිදී පිරිමියාගේ ලිංගික ශක්තිය ඇගයීමත්, ගැහැණියගේ ලිංගික ශක්තියට අවමන් කිරීමත් යුක්ති සහගත නොවේ. නමුත් සමාජ සංස්කෘතිය විසින් මේ වන විටත් එය තීරණය කර ඇත. බසයක් එනතුරු රාත්‍රී දහයට තුංමුල්ල හන්දියේ ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ටයකින් සැරසී රැදී සිටි පමණින් එම ස්ත්‍රිය වෛශ්‍යාවක් වනවා ද? එම ස්ථානයෙන් රෝද තුනක්, රෝද දෙකක් උඩ යමින් සිටින පුද්ගලයා එම ස්ත්‍රිය කොළඹ අහස යට තවත් එක් ගණිකාවක් යැයි තීරණය කරමින් ඊට අදාළ ලේබලය අළවා ඇයගේ ලිංගිකත්වයට අවමන් කරන්නට තරම් පුද්ගල මනසෙහි ශික්ෂණය බෙලහීන වනවා නම් ජූඩිත් බට්ලර්ගේ (Judith Buttler)අදහසට එකගවීමට සිදුවීම පුදුමයට කරුණක් ද නොවේ. 

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෙන්ම ඒ පිළිබද සංවේදී වාර්තාකරණය ද පූර්වෝක්ත විෂද කළ කරුණු අනුව සමගාමීව යන්නකි. එහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද සමාජය තුළ කිදා බැස තිබෙන සාම්ප්‍රදායික මතවාදයන්, දෘෂ්ටිවාදයන් වලට බලපෑම් එල්ල කිරීමට හැකි ප්‍රබල අවිය වන්නේ මාධ්‍යයි. සමාජයේ සිව්වැනි බලය නැතිනම් සිව්වැනි ස්ථම්භය ලෙස මාධ්‍යය හදුන්වන්නේ ද එබැවිනි. පුද්ගලයා තුළ සවිඥාණිකත්වය හැඩ ගැසීමත්, දෘෂ්ටිවාදිමය ආකල්පයන් හැඩ ගැසීමත් සිදු වන්නේ ස්වයං අනුස්ථාපන ක්‍රියාවලිය තුළිනි. එහිදී සමාජයෙහි ක්‍රියාත්මක වන විවිධ දෘෂ්ටිවාදීමය ආයතනයන්ගේ බලපෑමට ද එය යටත් වේ. සමාජමය අනුස්ථාපන ක්‍රියාවලියේ දී ජනමාධ්‍යවේදයට විශේෂ ස්ථානයක් හිමි වේ. සමාජයේ නිරන්තරව සිදුවන සිදුවීම් එකතු කොට ඒවා පිළියෙල කොට සාපේක්ෂව ක්‍රමානුකූලව මහජනතාව වෙත ඉදිරිපත් කිරීමේ ශක්‍යතාවය ඇත්තේ සංහතික මාධ්‍යටය. මේ අනුව සීඝ්‍රයෙන් වෙනස්වන සමාජ තත්ත්වයන්ට අනුකූලව ප්‍රතිචාර දැක්වීමෙන්, ඒ අනුව පොදු ජනතාව ප්‍රතිඅනුස්ථාපනය කිරීමේ හැකියාව හිමිවන්නේ ජනමාධ්‍යයටයි. 

 

මෙවන් වටපිටාවක් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද සංවේදී වාර්තාකරණය ජනමාධ්‍යවේදය, සංහතික මාධ්‍ය තුළ නිවැරදි ඵලදායී භාවිතාවකින් සිදුවනවා ද යන්න ගැටලුවකි. ස්ත්‍රී පුරුෂ අසමානතාවයන්ට සංවේදී වන අයුරින් මාධ්‍ය අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම හා කාන්තාවන් හා පිරිමින් සාධාරණ ලෙස මාධ්‍ය තුළ නිරූපණය කිරීම අද්‍යතන මාධ්‍ය කලාව තුළ සිදුවිය යුත්තකි. නමුත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ පුරුෂ කේන්ද්‍රීයව (Male Dominate) සාම්ප්‍රදායික මතවාදයන් අගය කරමින් කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කාරණාවකි. එබැවින් සිදුවන්නේ කාන්තාවන් ආන්තීකරණයට ලක් වීම හරහා කාන්තාව මත පුරුෂ බැල්මක් (Male Gaze) ක්‍රියාත්මක වීමයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද සංවේදී වාර්තාකරණය මගින් පිරිමින් මෙන්ම කාන්තාවන් ද එක හා සමානව අගය කරන්නට හා සාම්ප්‍රදායික සමාජ මතවාද වෙනස් කරන්නට හැකියාව ලැබේ. සමාජ සංස්කෘතික භාවිතය තුළ මාධ්‍ය වාර්තාකරණයේ දී,

■ ස්ත්‍රිය පිළිබද සත්‍ය වාර්තාකරණය

■ ස්ත්‍රිය පිළිබද සංවේදී වාර්තාකරණය

■ ස්ත්‍රිය පිළිබද විශ්වසනීය වාර්තාකරණය

■ ස්ත්‍රිය පිළිබද ඍණාත්මක වාර්තාකරණය

■ ස්ත්‍රිය පිළිබද ඒකාකෘතික වාර්තාකරණය

යනාදි ස්වරූප වලට වාර්තාකරණය සිදු කළත් අද බහුලව සිදු කරන්නේ ස්ත්‍රිය පිළිබද ඍණාත්මක වාර්තාකරණය හා ඒකාකෘතික වාර්තාකරණයයි. මේ සම්බන්ධ සන්නිදර්ශිත විමසුමක් වන්නේ යම් ප්‍රවෘත්තියකට ඍජුව අදාළ නොවන විටක දී පවා කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ භාවිතාවක් මාධ්‍ය වල දක්නට ලැබීමයි. “රූමත්”, “සුරූපී” වැනි යෙදුම් භාවිතා කරමින් සිදුවන මෙම බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ ගැටලුව වන්නේ කාන්තාවන්ව හැදින්වීම සදහා ඔවුන්ගේ බාහිර 

ස්වරූපය යොදා ගැනීමයි. පුරුෂයන්ගේ බාහිර ස්වරූපය හරහා ඔවුන්ව හැදින්වීමක් දක්නට ලැබෙන්නේ අතිශයින්ම කලාතුරකිනි. එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගනිමින් කාන්තාව කොන් කිරීමකට ලක් වීම නොවේ දැයි ප්‍රශ්න කරමු. කෙටියෙන්ම කිවහොත් මේ හරහා සිදුවන්නේ පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රිය ලිංගික විශ්වීයකරණය (Sexual Globalization) තුළ හුවමාරු වටිනාකමින් යුත් ලිංගික වෙළෙද භාණ්ඩයක් බවට පත් වීමයි. ඒ අර්ථයෙන් ද සලකා බලන විට සිමෙන් ඩී. බුවර්ගේ One is not born a women, but becomes one යන ප්‍රකාශයත් සමග සියයට සියයක්ම එකග විය හැකි බව සත්‍යක්ෂණය වේ. ඒ අනුව ලිබරල් ආර්ථිකය තුළ ස්ත්‍රිය ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස්කාරිය බවට නිතැතින්ම පත්ව ඇත.

 

තවත් කිසිත් නොලියමි. සිතන්නට යමක් තබන්නෙමි. ඒ අනාගත මාධ්‍ය වෘත්තිය අතික්‍රමණය කිරීමට මග බලා සිටින මාධ්‍යවේදීන්ට, මාධ්‍යවේදිනියන්ට........

ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ ස්ත්‍රිය වූ කලී උපත ලැබුවා නොව නිෂ්පාදනය කරනු ලැබුවාය යන්න තවදුරටත් සමාජ සංස්කෘතික සංදර්භය තුළ තහවුරු කරනවා ද?

 

නැතිනම්,

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද සංවේදී වාර්තාකරණය තවදුරටත් සත්‍ය, විශ්වසනීය, සංවේදී වාර්තාකරණයක් ඔස්සේ ස්ත්‍රියට හා පුරුෂයාට සම සාධාරණත්වය හා සමානත්වය ලබා දෙනවා ද?

Top