ලෝකය ම උඩු යටිකුරු කරමින් අනාගතය විසඳන නැනෝ තාක්ෂණය (660)

post-title

තාක්ෂණය මතින් හැඩවන අද්‍යතන සමාජ සංදර්භය තුළ අද වන විට බොහෝ ක්ෂේත්‍රයන්හි අනාගතය විසඳනුයේ නැනෝ තාක්ෂණයයි. මෙම නැනෝ තාක්ෂණය වර්තමානයේ ද ලොව පුරා ම අවධානයට මෙන්ම අභියෝගයට ලක් වී ඇති විෂය ක්ෂේත්‍රයකි. මෙකී නැනෝ තාක්ෂණය හේතුවෙන් ලොව පුරා විශාල පෙරළියක් සිදුවෙතැයි යනුවෙන් ද වර්තමානයේ බොහෝදෙනා අපේක්ෂාවෙන් පසුවන ප්‍රධාන කරුණකි. මුළු ලොවක් උඩු යටිකුරු කරමින්, මුළු ලොවක අනාගතය විසඳන්නට තරම් ඉතා කුඩා ම අංශුවක් වන නැනෝ අංශුව අද වන විට සමත් වුවත් විටෙක එය ඇතැමෙකුට එකවිට සිතා ගැනීමට පවා අපහසු වන්නක් ද විය හැකිය. මන්ද එවැනි කුඩා අංශුවකට එතරම් කාර්යයක් සිදුකළ හැකිදැයි යන ගැටලුව ඔවුන් කොයිකාගේත් සිතට නැඟෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන නිසාවෙනි. කෙසේ නමුත් සත්‍ය වනුයේ එවැනි කුඩා අංශුවක් වන නැනෝ අංශුව අද වන විට මුළු ලොවක් වසඟයට ගෙන ඇති බවය. 

වර්තමාන ලෝකයේ පස්වැනි පරම්පරාවේ තාක්ෂණය ලෙස නැනෝ තාක්ෂණය හඳුනාගත හැකිය. විශේෂයෙන්ම නැනෝ මීටර් 1ත් 100ත් අතර පරිමාණයක විහිදී යන මෙම තාක්ෂණයේ දී නැනෝ මීටර් 1ක් ලෙස හඳුන්වනුයේ මීටරයකින් බිලියනයකින් පංගුවකි. අතීත සමාජ ක්‍රමය තුළ ගල් යුගයෙන් ඇරැඹි තාක්ෂණය, කෘෂිකර්මාන්තයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි විශාල වශයෙන් ඇති වූ දියුණුවෙන් අනතුරුව, කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයාගැනීම් ඔස්සේ දියුණු වීම සිදුවිය. එසේ ඇති වූ කාර්මික විප්ලවයේ ඊළඟ අදියර වූයේ නැනෝ තාක්ෂණය හරහා ඇති වූ දියුණුවයි. 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හරහා මෙම නැනෝ තාක්ෂණය ආරම්භ වුවත් මෙම තාක්ෂණය, නැනෝ තාක්ෂණය ලෙස අතීතයේ දී නම් කරනු නොලැබිණි. එසේ වුවද 10 වන ශත වර්ෂයේ දී තරම් ඈත අතීතයේ දී නැනෝ පරිමාණයේ රත්තරං යොදාගනිමින් වර්ණ ගැන්වූ වීදුරු සහ පිඟන් භාණ්ඩ නිෂ්පාදනය සිදුකර ඇති බව ද වාර්තා වී ඇත. කෙසේවෙතත් මිනිසා අද දන්නා හඳුනන නැනෝ තාක්ෂණය ඇරඹෙන ලද්දේ මීට වසර 20කට පමණ පෙර සිටය. 

වර්තමානයේ නැනෝ අභ්‍යවකාශ තාක්ෂණය, නැනෝ පොහොර නිෂ්පාදනය, නැනෝ බලශක්තිය, නැනෝ කෘෂිකර්මාන්තය සහ වෛද්‍ය විද්‍යාව මෙන්ම වෙළෙඳ පොළ ආර්ථික ක්‍රියා යනාදී වූ ක්ෂේත්‍රයන් ගණනාවක ම සංවර්ධනයක් ඇති කළ, මානව ජීවන රටා පරිවර්තනයන්ට ලක් කරමින් ලෝකයේ නවෝත්පාදන වැඩිදියුණු කළ තාක්ෂණය ලෙස නැනෝ තාක්ෂණය අද වන විට සමාජය තුළ ප්‍රබල කාර්යයක් ඉටු කරමින් පවතී. කුඩා බව, සැහැල්ලු බව, ශක්තිමත් බව, වේගවත් බව සහ ලාභදායී බව යනාදී කරුණු හේතුවෙන් නැනෝ තාක්ෂණය කෙරෙහි ලෝකය ම අවධානය යොමු කරමින්, මෙලෙස ලොව පුරා විවිධ වූ ක්ෂේත්‍රයන් ඔස්සේ අද වන විට ජනප්‍රියව පවතී. මෙසේ නැනෝ තාක්ෂණය සඳහා ඕනෑම රටක් අනුගතවීම තුළින් වර්තමානයේ දී ලෝක ජාතීන් මුහුණ දෙන ආර්ථික හරිතකරණය සහ පාරිසරික තිරසරභාවය තුළින් සංවර්ධනයේ දී මෙම නැනෝ භාවිතයන් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම නැනෝ බලශක්ති උත්පාදනය, නැනෝ කෘෂිකර්මාන්තය තුළින් නැනෝ බීජ නිපදවීම, නැනෝ නාලිකා නිපදවීම යනාදිය තුළින් ද විද්‍යාවේ ප්‍රගමණය අද වන විට සහතික කොට ඇත. එමෙන්ම නැනෝ තීන්ත, නැනෝ ඇගලුම් කර්මාන්තය, නැනෝ ෘභ් අනුකරණය, නැනෝ ජාන ඉංජිනේරු තාක්ෂණය, නැනෝ දෙමුහුම් කිරීම යනාදී වූ බොහෝ ක්ෂේත්‍රයන් තුළ ද නැනෝ තාක්ෂණය වර්තමානය වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත.

රටක් වශයෙන් සංවර්ධනය කරා අවතීර්ණ වීමේදී නැනෝ තාක්ෂණයේ අදාළත්වය සම්බන්ධයෙන් විවිධ වූ ගැටලුවලට මුහුණ දීමට ද සිදුවේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල අධ්‍යාපනය තුළ පර්යේෂණ ක්‍රියාවලීන් මෙන්ම නවෝත්පාදනයන් අවම වීම මෙහිදී පවතින ප්‍රධාන ගැටලුවකි. එමෙන්ම මෙහිදී තාක්ෂණික ආයෝජන සඳහා වන පිරිවැය අධික වීමත්, බුද්ධි ගලනය වඩාත් ආකර්ශනීය ව ව්‍යාප්ත වීමත් නිසාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල නැනෝ තාක්ෂණයේ අදාළ බව සහ තාක්ෂණය පිළිබඳ ගැටලු රාශියක් උද්ගත ව පවතී. එසේම පර්යේෂණ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා ද ආයෝජකයින් පවා පසුගාමී වීම තුළින් ද මෙහිදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇත. 

මෙම අභියෝග ජය ගැනීමට නම් රටවල් විසින් විවිධ වූ ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවන අතර එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මත පදනම් ව දැනුමේ ආර්ථිකයක් හෝ දෘඪ කුසලතා ඇතුළත් නවෝත්පාදන දිරි ගන්වන ආර්ථිකයක් ඇති කරලීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවයකි. මෙයට අමතරව තාක්ෂණික ආයෝජන දිරි ගැන්වීම, තාක්ෂණික අනුකලනය, බුද්ධි ගලනය වළක්වා ගැනීම, පර්යේෂණ අවස්ථාවන් ඇති කරලීම ඔස්සේ නැනෝ තාක්ෂණය වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත. ඒ තුළින් නැනෝ තාක්ෂණික සංවර්ධනය ඔස්සේ රටකට ප්‍රතිලාභයන් රාශියක් අතකර ගැනීමට ද හැකියාවක් ලැබෙනු ඇත.

මේ අනුව වර්තමාන ලෝකය ලබා ඇති දියුණුවත් සමඟ ම ලෝකයේ සෑම රටක් ම පාහේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් සාකල්‍යවාදී ප්‍රවේශයක් අනුගමනය කළ යුතු අතර නැනෝ තාක්ෂණය සඳහා පවතින අවස්ථාවන් වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම ද වැදගත් වේ. එවිට මුළු මහත් ගෝලීය සමාජය ම උඩු යටිකුරු වෙමින් නුදුරු අනාගතයේ දී නැනෝ තාක්ෂණය සමඟ සුරක්ෂිත වීමට හැකියාවක් ම ලැබෙනු ඇත. 

Top