වැස්ස, කවියා සහ අපි (426)

post-title

වැස්ස සොබාදහමෙන් අප ලද වෙසෙස් දායදයකි. වැස්ස සොබාදහම සේ ම මිනිස් සිත් ද ප්‍රබෝධමත් කිරීමට සමත්ය. වැස්සට පෙම් කරන්නන් ද බොහෝය. වැස්ස විටෙක මිහිරි මතක ආවර්ජනයටත් විටෙක අමිහිරි මතකයන්ගෙන් මිදී සිත් සනසා ගැනීමටත් කදිම අවස්ථාවකි. විටෙක රුදුරු වෙසක් ගත්තද වැස්ස මුළු විශ්වයටම ආශිර්වාදයකි. " සැමදා නියං එකදා වැහි වළාවේ " මෙන් නියඟයෙන් පීඩිත බිමකට වැස්ස කදිම ඔසුවක් වන්නා සේ ම පීඩිත සිත් සනසාලන්නට ද වැස්ස අපූරු අවස්ථාවකි. එනිසා ම වැස්සට සියල්ලෝම ඇලුම් කරති. කුඹුරු, වතුපිටි සරුසාර කිරීමට දියවර ලැබෙන හෙයින් ගොවියෝ ඊට ආදරය කරති. මෙලෙස විශ්වයටම ආශිර්වාදයක් වූ වැස්සට මිනිස් සිත් තව තවත් සමීප කිරීමට හැක්කේ කවියාටය. කවියා වැස්සට ආදරය කරනුයේ එය සාර්ථක නිර්මාණයකට අමුද්‍රව්‍ය සපයන්නක් බැවිනි. කවියා වැස්ස දුටුවේ විවිධාකාරයෙනි. විටෙක එය සොබාදහමේ දායාදයක් ලෙසින්ම වර්ණනයට හසුකරන කවියා විටෙක මිනිස් දිවිය හා ගළපමින් කරමින් අපූර්ව නිර්මාණයක් බිහි කිරීමට උත්සුක වේ.

 අහසේ වළාකුළු හා තරගයක  යෙදී 

තොටියා ඔරුව ආපසු තොටුපළට පදී

දියවැල බිදී දෙන රාවය දෙකට බෙදී

හබලේ ගැඹුරු හඬ සමඟ ම ගොඩට වදී

 

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා 

ගොඩ බිම නිවා සනහන්නට සියලු විඩා 

ගන වැහි වලා ඉගිලී එන විටදී අඩා

මට මහ සොම්නසක් ඇත මොනරෙකුට වඩා 

මේ එච්. එම්. කුඩලිගම කවියා වැස්ස දුටු ආකාරයයි. වැස්සේ පෙර නිමිති පිළිබඳ කියමින් පද්‍ය පංතිය අරඹන කවියා එමගින් කවි සිත ප්‍රබෝධමත් කරමින් නවමු ආකාරයෙන් වැස්සේ සිරි පාඨකයා හමුවට ගෙන එයි. වැහි පොද වැටෙන විට උද්දාමයට පත් වන්නේ මොනරුන් ය. මෙහෙදී කවි සිත ද මොනරෙකු මෙන් උද්දාමයට පත්ව ඇති බවක් කවියා දක්වයි. ගොඩබිම සියලු ගිනි නිවා සනහන්නට , ඇළ දොළ පුරවාලන්නට වැටෙන වැස්ස සැවොම උද්දාමයට පත් කරවන්නකි.

හැම වැහි වළාවම ඉගිලී ගෙන එද්දී 

මට එයි ජීවමය ගී රසයක් ඇද්දී

මුළු ජීවිතය සතු සිහි කටයුතු  සිද්දී

සිදුවුණු සේ හැගෙයි මහ වැසි පවතිද්දී 

කවියාට අනුව නම් අතීතාවර්ජනයකට සුදුසුම වේලාව මෙවන් වැසි අවස්ථාවකි. කවියා සේම ඕනෑම අයෙක් වැස්සේ අසිරියට ඇලුම් කරනුයේ එහෙයිනි. කවියා වැහි සිරියෙන් මන් මත්ව ගොතන කවි පද වැහි දිනක අපගේ මතකයන් ද සිහිගැන්වීමට සමත්ය.

මඩවල එස්. රත්නායකයන් ද වැස්ස දුටු ආකාරය අපූරුය. තනිකමට පාළුවට අකමැති බොහෝ දෙනා පාළුව, කාංසිය නිවා ගැනීමට වැස්සට පෙම් බඳිති. කවියා ද එවැන්නෙකු ලෙස කවි පද ගොතයි. 

කඳු බිම්ද තැනිතලා 

ගහ වැලද වනපෙත් ද 

මගේ සිත පරිද්දෙන් 

දැලි අඟුරු ගෑවිලා

මහා බරක් ඔසවා ගත් ලෙසින් වැහි වලා ගුවනේ රැස්වේ. ඒ වලාවන් අඟුරු මෙන් කළුය. එය පාළුවෙන් පෙළෙන ඔහුගේ සිත වැනි බව කවියා දක්වයි. අපගේ සිත් ද විටෙක කවියාගේ සිත හා සමානය. එය මනාව නිරූපණයට කවියා උත්සාහ ගෙන ඇත. 

මොකක්දෝ ශෝකෙකින් 

මෙතෙක් වේදනා ලද 

ගුවන් ගැබ අඬනවා 

වහිනවා වහිනවා 

ශෝකයට පත් සිත් මෙන් අහසද ශෝකයෙන් බරව කඳුළු වගුරවයි. කවියා මිනිස් සිතට වැස්ස වඩ වඩාත් සමීප කරමින් වචන හරඹයක නිරත වන්නේ එලෙසිනි. 

සේකරයන් වැස්ස සිය කවීත්වයට හසුකර ගන්නේ අපූර්වාකාරයෙනි. අහස වැස්සකට සැරසෙන මොහොතෙහි කවියා සිය අඳුරු කුටිය තුළ වැතිර සිහින සිතිවිලි අතර අතරමං වෙයි.

සැඩ සුළං වැල් හමා

අකුණු විදුලිය කොටා 

මහා වැහි වලාවක්

හදිසියෙන් ඇද හැළිණ

කෙමෙන් කෙමෙන් අකුණු විදුලි කොටමින් මහා වැසි වසින්නා සේ කවි සිතද නොයෙක් සිතුවිලිවල අතරමං වෙයි. 

කාලයෙන් කාලයට පරපුරෙන් පරපුරට 

ලොව පැවති දා පටන් මෙතෙක් සුවහස් ගණන් 

පෙම්වතුන් විසින් ලූ උණු කඳුළු කැටි වලින් 

වැසි බිංදු ගොඩ නැඟී ඇතැයි මා හට සිතිණ 

කවියා මේ මහා වැස්සට පෙම්වතුන්ගේ සිතුවිලි එක් කරන අයුරු මනහරය. වැසි බිංදු හා කුණාටුව පෙම්වතුන්ගේ කදුළු, දුක් සුසුම්වලට සම කොට දක්වන කවියා තවදුරටත් පාඨක සිත් වැස්සේ ඒ අපූර්වත්වට සමීප කිරීමට සමත්කම් දක්වයි. 

කළු වලා ඇදී ගොස් කුණාටුව සංසිදී 

පෙරදි නොපැවති මහා අලුත් කල එළියකින් 

එවිට ලෝකය නැවත පුබුදුවන බව දනිමි...

වැසි කුණාටුව පහව යන්නා සේ පෙම්වතුන් ද අමිහිරි මතකයන්ගෙන් ඉවත් වන දිනක් කවදා හෝ උදා වේ. එය වැස්සෙන් පිබිදීමට සමාන වූවක් බවට කවියා ඉඟි කරයි. මිනිස් දිවියේ සතුට සේම දුකද ඇති වී නැති වී යන්නේද වැස්සක් ලෙසිනි.

මේ අයුරින් මිනිස් දිවියට හුරුපුරුදු වැස්ස කවියා විවිධාකාරයෙන් සිය කවීත්වයට හසුකර ගනියි. කවියා වැස්ස කවරාකාරයෙන් කව්‍යකරණයට හසුකර ගත්තද ඒ කෙරෙහි මිනිස් සිත් ඇඳ බැඳ තබා ගැනීමට දක්වන සමත්කම අගනේය.

Top