එපා එපා මස් කන්නට කිරි අම්මාගේ (385)

post-title

ගගන සරනා සියොතුන්ටත්, මිහිමත වෙසෙන සියලු ජීවීන්ටත් නිදහසේ ජීවත්වීමේ අයිතියක් ඇත. ඒ සොබාදහමේ අයිතියයි. මේ මිහිතලයේ ජීවයක් ඇත්තා වූ සියල්ලන්ටම, එසේ ජීවත්වීමේ අයිතියක් පවතින බව, අද මිනිසාට අමතක වී ඇති සෙයකි. එසේම ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම ද උසස් මනසක් හිමි බහුතර මිනිසාට අමතක වී ඇති සේය. ජීවත්වීමේ අයිතිය පවා විනාශ කරමින් ඔවුන්ගේ ජීවිත අනතුරෙහි හෙළමින් මිනිසා කටයුතු කරනුයේ ඒ නිසාවෙනි. මෙකී කුරිරු ඉරණමට ලාංකේය සංස්කෘතියට අනාදිමත් කාලයක සිට මහඟු මෙහෙවරක යෙදෙන ගව සම්පත ද ගොදුරු වී සිටීම ඉතාමත් කණගාටුවට කරුණකි. ගවයා වනාහි ජාතික වස්තුවකි. මන්ද යත් මුලු මහත් රට ජාතියටම මී කිරි, දී කිරි, වෙඬරු, ගිතෙල්, මෝරු යනාදී පස්ගෝ රස ලබාදෙමින් ජාතියේ පෝෂණයට මහත් වූ මෙහෙවරක් ලබාදෙන නිසාවෙනි. එමෙන්ම වර්තමානයේ මෙන්, අතීතයේදී යන්ත්‍ර සූත්‍ර නොතිබුණ හෙයින් කෘෂිකාර්මික කටයුතු සඳහා ද උපයෝගී කර ගන්නා ලද්දේ ගව සම්පතයි. පුද්ගලයෙකු සතුව පවතින ගව සම්පත අනුව එදා සමාජයේ ඔහුගේ ස්ථාවරත්වය තේරුම් ගැනීමට හැකිවිය. එහිදී හොඳ ගව සම්පතක් ඇත්නම්, ඔහු සමාජයේ වටිනාකමක් සහිත පුද්ගලයෙකු බවට පත්වූයේ නිරන්තරයෙනි. ඒ නිසා එකළ ගොවියාට ගව සම්පත අගනා සම්පතක් ම විය. මිනිස් හෝ සත්ත්ව මවකට ලේ කිරි බවට පත්වනුයේ තම දරුවාට පවතින අසීමිත වූ ආදරය, සෙනෙහස නිසාවෙනි. මෙම ක්‍රියාවලිය ඉතාමත් විශ්මයජනක වූවකි. තම ආදරණීය වසු පැටවා වෙනුවෙන් ගව මව තුළ ඇතිවන අප්‍රමාණ සෙනෙහස කරණකොටගෙන ලේ කිරට හැරීමේ සිද්ධාන්තය ද වර්තමානයේ මේ වනවිට ලොව පුරා කිරි සමාගම් අත්පත් කරගෙන හමාරය. අප මවගේ මව්කිරි බීමේ කාලය අවසන් කළ පසුව කෙමෙන් වැඩිවියට එළඹ අද දක්වාම අප පානය කරන කිරි වීදුරුව සපයනු ලබන්නේ ද මේ අහිංසක ගවයා විසින් ය. එහෙයින් ගවයා තරම් මෙකී කාර්යයන් ඉටුකර දෙන තවත් සතෙක් මේ මිහිකතෙහි සිටීද? භාරතීය ඉතිහාසයෙහි ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සලකන ගවයාට හින්දු භක්තිකයන් දේවත්වයෙන් සලකනු ලබයි. එමෙන්ම ඔවුන් “ ගෝ මාතා ”, “ ගෝ පිතා ” යනුවෙන් ගවයාට සලකන්නට පුරුදු වී සිටියි. තම කුඹුරේ ගොඩමඩ කටයුතුවලට මෙන්ම ගැල් බර ඔසවාගෙන යමින් මිනිස් දිවියට ඉතාමත් මහෝපකාරී වන්නා වූ ගවයා මැරීම අසල්වැසි ඉන්දියාව තුළ සම්පූර්ණයෙන් ම තහනම් ක්‍රියාවක් වන අතර එසේ සිදුකිරීම එරට තුළ දඬුවම් ලැබිය යුතු වරදක් ද වේ. එහෙත් මෙතරම් උතුම් බෞද්ධ රටක් වූ ශ්‍රීලංකාවෙහි වර්තමානයේදී ගවයාට අත්වන ඉරණම කෙතරම් ඛේදජනකද? නමුත් ශ්‍රීලංකාව යනු අතීතයේදී ගවයින් ඝාතනය කළ රටක් නොවේ. විශේෂයෙන්ම අතීතයේදී ගවයාට කළගුණ දැක්වීමේ උදාර ගුණය පැවති රටකි. කාලයක් ගත වෙත්ම විදේශීය ආක්‍රමණවලින් පසුව සිදුවූ සමාජ විෂමතාවයන් හේතුවෙන් ගව ඝාතනය ලංකාව තුළ ආරම්භ වීම සිදුවිය. එතැන් පටන් අද දක්වාම මේ අහිංසක ගවයාව දිගින් දිගටම ඝාතනය කරමින් පැවතීම බලවත් ඛේදවාචකයකි. මෙසේ මස් මාංශ නොකා තණකොළ පමණක් තම ආහාරය කරගත් ගවයාගේ මාංශ අනුභව කරන්නට, අමු අමුවේ එම සත්ත්වයා කෲර ලෙස ඝාතනය කරන්නට දෙවතාවක් නොසිතන සමාජයක් අද, වර්තමානය වනවිට ලංකාව තුළ බිහි වී හමාරය. එසේම යම් මනුෂ්‍යයෙක් හෝ සත්ත්වයෙක් හෝ මරණයට පත්කිරීමට යෑමේදී එම සත්ත්වයා තම කැමැත්තෙන් මරණයට ඉදිරිපත් වන්නේ නැත. මරණ බිය සහ ජීවත්වීමේ ආශාව මිනිසාට මෙන්ම සත්ත්වයාටත් පොදුය. ආදරය, සෙනෙහස ඇතිවීම නිසාම රුධිරය කිරි බවට පත්වන්නේ යම් සේ ද එලෙසම බලහත්කාරයෙන් තමා මරන්නට යෑමේදී එම සත්ත්වයන්ගේ සිත් තුළ ක්‍රෝධය, ද්වේශය, වෛරය හටගැනීම සාමාන්‍ය වූවකි. මෙසේ මර බියෙන් අඳෝනා දෙමින් මියයන සත්ත්වයන්ගේ මස් මාංශ ආහාරයට ගැනීමෙන් මිනිසා ද මානසිකව පිරිහීමකට නිරන්තරයෙන් ම ලක්වනු ඇත. එහෙයින් ගව ඝාතනයෙන් වෙන්ව මේ උතුම් සම්පත ආරක්ෂා කරගත යුතුය. ගවයා මරන්නට කිසිවිටෙකත් අනුබල නොදිය යුතුය. එය ආදර්ශයට ගනිමින් ගව ඝාතනයට සපුරා එරෙහි වී ගවයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් විය යුතු කාලයක් දැන් එළඹ ඇත. ගව ඝාතනය නැවැත්වීමට නම් පළමුවෙන්ම රට තුළ ඒකීය ජන මතයක් ඇතිකළ යුතුය. ඒ සඳහා මුද්‍රිත මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනිය තුළින් මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද සමාජය දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය. එහිදී ජනතාව දැනුවත් කිරීමට කාව්‍ය ගීත නිර්මාණය කිරීම, අවිහිංසාවාදී සන්නිවේදන ජනතා හදවත් තුළට කාවැද්දවීම ඉතාමත් ම කාලෝචිත සත්ක්‍රියාවකි. 1980 දශකයේදී ගව ඝාතනයට එරෙහිව හඬක් අවදි කළ ගායකයෙකු වන නිහාල් නෙල්සන් මහතාගේ “ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ” නැමැති ගීතය හරහා ජනතා සිත් සතන් මහත් සංවේගයට පත් කරමින් සත්ත්ව කරුණාව ඉස්මතු කිරීමට බෙහෙවින්ම සමත් විය. සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ එම ගීතය හරහා ලංකාවේ අප්‍රමාණ ජනතාවකගේ ගව මස් මාංශ අනුභව කිරීමේ පුරුද්ද වැළැක්වීමට හැකිවූවා පමණක් නොව ගවමස්වලට ලොල් වූ ඇතැම් මුස්ලිම් ජාතිකයින් පවා එයින් වළක්වා ගැනීමට බෙහෙවින් උපකාරී විය. මෙසේ ශ්‍රීලංකාව තුළ ගව ඝාතනයට එරෙහිව ඇතැම්විට දීප ව්‍යාප්තව හඬක් නැඟුණ ද ඝාතකයා තම කාර්යය එසේම සිදුකරගෙන යනු ලබයි. එවැනි අවස්ථාවක නිහඬව බලා සිටීමට වඩා තම විරෝධය දැක්වීම ප්‍රායෝගිකව සිදුකිරීම ඉතාමත් බුද්ධිමත් ක්‍රියාමාර්ගයකි. මේ අයුරින් මිනිසුන් වූ අපව පෝෂණය කිරීමට ලේ කිරි කර දෙන කිරි අම්මා අමු අමුවේ ඝාතනය කිරීමට කෙසේනම් ඉඩ දෙන්නනද? මරණයේ දොරටුව අභියස බියෙන් වෙව්ලමින් හඬා වැටෙනා අසරණ, අහිංසක ගවයන් කොතෙක් නම් මස් බුදින්නන් වෙනුවෙන් අද කැප වී සිටීද? එබැවින් සානුකම්පිතව සලකා බලමින් සත්ත්වයන්ගේ ජීවිත ගලවා ගැනීම මිනිසුන් වූ අපගේ පරම යුතුකම නොවේද? මිනිසා මෙන්ම ඔවුන් ද ප්‍රාණියෝය. මිනිසාට මෙන්ම ඔවුන්ට ද හැඟීම් දැනීම් නොඅඩුව පවතී. මිනිසාට මෙන්ම දුක, සතුට, කුසගින්න ඔවුන්ටත් දැනෙයි. එහෙයින් හුදෙක්ම හඬක් නැති අහිංසක ගවයා වෙනුවෙන් හඬක් නගමින් ගවයාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම උසස් මනසකින් හෙබි මිනිසාගේ පරම යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේ ය. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ....

Top