ඔබ සල්ලි ගැන මොනවද දන්නේ? (817)

post-title

මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සල්ලි ගැන ඔයා මොනවද දන්නෙ කියලා ඔයාට තියෙන්නේ මොන වගේ උත්තරයක් ද? සමහරවිට ඔයා කියයි මම සල්ලි ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. තවත් අය කියාවි මම සල්ලි හොයනවා, එච්චරයි කියලා. තවත් අය මොකක්ද මේ තේරුමක් නැති ප්‍රශ්න කියලා අහයි. ඇත්තටම වෙලාවකට මේක තේරුමක් නැති ප්‍රශ්නයක් තමයි. හැබැයි අපි තේරුමක්, අර්ථයක් ලබාදිය යුතු ප්‍රශ්නයක්.

ඔයා සල්ලි ගැන ගොඩක් දේවල් දැනගන්න ඕන. ඒකෙ තේරුම ඔයා සල්ලි කොළ අඳුනනවා, කාසි ගණන් කරන්න පුළුවන් වගේ සරල දේවල් නෙවෙයි. ඔයාට සල්ලි හම්බ කරන්න, සල්ලිවල ඇත්තම වටිනාකම, යම් මුදලක් උපයාගන්න උපයා ගන්න කෙනෙකුට කළයුතු කැපකිරීම වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මං ඔයාගෙන් ආයෙත් ප්‍රශ්නයක් අහනවා ඔයා හිතන විදියට මේ සල්ලි ගැන තියෙන අවබෝධය ඔයාට ලැබෙන්න පටන් ගන්න ඕන මොන වයසෙදිද? ඔයා කියාවි අවුරුදු 18න් පස්සෙ, අවුරුදු 20 න් පස්සේ, 25න් පස්සෙ, ඉගෙන ගෙන ඉවර උනාම කියලා. සමහර විට කෙනෙකුට හිතේවි අපි සල්ලි ගැන අවබෝධය පුංචි කාලෙ ඉඳලම තියෙන්න ඕනි කියලා. අන්න ඒ උත්තරේ දෙන කෙනාගෙ පැත්තේ ඉඳලා තමයි මම අද මේ ලිපිය ලියන්නේ. මගේ පෞද්ගලික අදහසක් ළමයි පාසල් යන වයසේ ඉඳලම මුදල් ගැන අවබෝධය තියෙන්න ඕන කියලා.

ලංකාවේ පාසල් අධ්‍යාපනය ඇතුලේ ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව ජීවිතයට අවශ්‍ය දේවල් උගන්වන්නේ නැහැ. එක උදාහරණයක් තමයි ඒකට ලිංගික අධ්‍යාපනය. ඒ ගැන මේ වෙනකොට ගොඩක් දෙන කතා කරනවා. මොකද ඇත්තට මේක කතා කළ යුතු මාතෘකාවක්. ඉතින් ඒ වගේ කතා කළ යුතු, පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතු මාතෘකාවක් තමයි "මූල්‍ය අධ්‍යාපනය" කියලා කියන්නේ. 

ඉස්කෝලේ යන ගමන් ළමයෙක් part time job එකක් කරන්න පටන් ගත්තා කියල හිතන්නකො. ඒ ළමයා දිහා සමාජය, ඔබ, මම බලන්න කොහොමද කියලා චුට්ටක් හිතන්න. එක්කෝ ඒ ළමයට පව් කියලා අනුකම්පා කරාවි. එහෙම නැත්නම් ජොබ් එක පැත්තකින් තියන්න තියලා ඒ ළමයට නිකන් සල්ලි දෙන්න කට්ටිය පටන් ගනීවි, ඒ ළමයගෙ දෙමව්පියන් දිහා එක්කෝ අනුකම්පාවෙන් නැත්නම් වැරදියට බලන්න පටන් ගනීවි. ළමයි ලවා හම්බ කරගන්නවා, උගන්වන්නේ නෑ කියලා සමාජය විවිධාකාර ලේබල් ගහවි. එහෙම නැතිනම් ළමය ඉගෙන ගෙන ඉවරයි, සල්ලි අතගෑව කියන්නේ ආයෙ ඉතිං ඉගෙන ගන්නේ නැහැ කියලා කොන් කරාවි. සමහරවිට එයාගේ ගෙදර අයත් ඒකට විරුද්ධ වේවි. 

මේ හැමදේම සිදුවෙන්න එක මූලික හේතුවක් තමයි අපි ජීවත් වෙන්නේ ලංකාවේ වීම. ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන වන ගම්‍යා විජේදාස එක්තරා සාකච්ඡාවක දි කියනවා ඇය මුලින් ම උපයන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ ඇයගේ පාසලෙන් කියලා. ඒ ඇයට වයස අවුරුදු 14දි පමණ. ඇය ඇයගේ පාසලේ විවේක කාලයේ දී, පාසලේ ආපන ශාලාවේ කෑම පිළිගන්වන්නියක් ලෙස රැකියාව ආරම්භ කරනවා. ඒ වගේම පාසල් යන අතරතුරේදි තවත් බොහෝ part time jobs කරන අවක නිරත වෙනවා කියලා. ලංකාවේ අවුරුදු 14න් පමණ උපයන්න පටන් ගත්තොත් වෙන දේ ඇත්තටම ශෝචනීය යි. හැබැයි අවුරුදු 16න් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ලංකාවේ පාසල් ශිෂ්‍යයන්ගෙන් කොටසක් අධ්‍යාපනයට සමුදෙනවා. ඉන්පස්සෙ ඔවුන්ගෙන් බහුතරයක් රැකියා විරහිතභාවයට පත්වෙලා ආර්ථිකයට බරක් වෙනවා. ඒකට ටික දෙනෙක් රජයට චෝදනා කරනවා, තවත් ටික දෙනෙක් ඒ දරුවන්ගේ අම්මට තාත්තට චෝදනා කරනවා, තවත් අය ඒ දරුවන්ට චෝදනා කරනවා. හැබැයි ඇත්තටම චෝදනාව එල්ල වෙන්න ඕනි මේ කාටවත් නෙවෙයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මුදලක් උපයන විදිය, රැකියාවක් කරන විදිය, අවම වශයෙන් කුඩා හෝ ව්‍යාපාරයක් පටන් ගන්න විදියවත් පාසලේදී කවදාවත් ඉගෙනගෙන නැති අවුරුදු 16ක 17ක දරුවෙක් රැකියා විරහිතභාවයට පත් වෙනවා ඇර වෙන මොනවා කරන්නද. හැබැයි අපිට ලේසියෙන් බෑ ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන්න. හැබැයි අපිට පුළුවන් අපිව වෙනස් කරන්න. අපිට පුළුවන් ස්වයං ඉපයීම පටන් ගන්න. අපේ වියදම් අපිට උපයගන්න. ඒ තුළින් ශක්තිමත් ගැහැනියක, පිරිමියෙකු ලෙස සමාජගත වෙන්න. නිරන්තරයෙන් තවත් අයෙකු මත යැපෙන පරාධීන මානසිකත්වයෙන් මිදිලා ස්වාධීනව ශක්තිමත් ව ඉදිරියට යන්න. 

ඉතින් ඔබත් පටන් ගන්න. තමන්ගේ ජීවිතය වෙනුවෙන් ශක්තිමත් වෙන්න. සල්ලි කියන්නෙ ජීවිතේ නාස්ති කරන ආයුධයක් නෙවෙයි, ජීවිතය නිර්මාණය කරන අවියක් කර ගන්න. කුඩා කාලයේ පටන්ම තමන් වෙනුවෙන් ඉපයීම ආරම්භ කරන්න. එය මුළු ජීවිත කාලයටම අත්දැකීම් සම්භාරයක් එකතු කරන, සුන්දර මතකයන් රැසක් ජීවිතයට දායාද කරන, ස්වාධීන, ශක්තිමත් මනුස්සයෙක් වශයෙන් නැගී සිටීමේ මූලාරම්භය සනිටුහන් කරන අවස්ථාව වනු ඇත.

Top