පරාජයන් කියන්නෙත් වෙස්වලාගෙන එන ආශිර්වාද කියලා හිතන්න (220 වන ලිපිය)

post-title

හුස්මකට වෙනසක්...

ජීවිතේ වෙනස් කරන ලිපි මාලාව

ඉපදුණු දවසෙ ඉඳන් ජීවිතයේ අවසන් මොහොත වන තෙක් අපිත් එක්කම, අපිව අත් නොහැරම හැමදාම ළඟ රැඳිලා තියෙනවා නම් එක දෙයක් ඒ තමයි හුස්ම. ඉතින් මේ හුස්ම පවා කිසිම වෙනසක් නැතුව හැමදාම එක වගේ අපි ළඟ රැඳිලා තියෙනවාද? නැහැ. අපි ගොඩක් සතුටින් ඉන්න වෙලාවට කොයිතරම් නම් සැහැල්ලුවෙන් අපි හුස්ම ගන්නවාද? ඒ වගේම දරා ගන්න බැරි දුකක් දැනෙන වෙලාවට කොයි තරම් නම් අපි සුසුම් හෙළනවාද? ඉතින් ජීවිතය කියන්නේ මේ සතුට - සුසුම අතරින් අමාරුවෙන් විසඳගෙන හරියට ගලපගෙන යන්න ඕනි සමීකරණයක්. තවත් විදිහකට කියනවා නම් හරි පදමකට, හරි සැලැස්මකට අනුව දාන්න ඕනි අත්තිවාරමක්. හරි විදිහට ගැළපුම් කරගන්න බැරි වුණොත් අන්තිමට සමීකරණය විසඳාගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම අත්තිවාරම වැරදුනොත්? හදන ගෙය වරදින්න පුළුවන්. කැඩිලා විනාස වෙන්නත් පුලුවන්. ඉතින් වචන වෙබ් එකත් එක්ක හුස්මකට වෙනසක් සමගින් අද ඉදන් ජීවිතයේ නොවැටී ඉන්න නෙවෙයි වැටුණු තැනින් නැගිටලා ඉස්සරහට යන්න අපි උත්සහ කරමු.

ජීවිතයේ හැමදාම හැමදේම දින්නන ම ඕනිද

මම නම් හිතන්නේ, නැහැ. ජීවිතයේ තියෙන්නෙ ජයග්‍රහණ විතරක් නෙවෙයි. පරාජයනුත් තියෙනවා. හැබැයි ඒ වෙන පරාජයන් තුළින් අපිට ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේ ම ඒ පරාජය මගින් ඉගෙන ගන්න දේ අපි දෙයක් අහලා දැකලා ඉගෙන ගන්නවාට වඩා වැඩියෙන් හොදට අපට දැනෙනවා. ඒ වගේමයි හැමදේම දිනුවොත් ඔබට ඉන් එහාට ලබා ගන්නට, උත්සහ කරන්නට යමක් ඉතිරි වෙලා තියෙනවාද? කිසිවක් නැහැ. ඒ නිසාමයි පරාජයන්, ප්‍රතික්ෂේප වීම් අහිමිවීම් තමයි පුද්ගලයෙක්ව සාර්ථකත්වයට පොළඹවන්න පුළුවන් හොඳම හැරවුම් ලක්ෂයන් කියලා කියන්නෙ.

ඇමරිකානු ලේඛක නීල් ඩොනල්ඩ් වෝල්ච් පවසන ආකාරයට නම් ජීවිතය ආරම්භ වෙන්නේ සුව පහසු කලාපයෙන් පිටතදීයි.

මං මේක තවත් විදිහකට කියන්නම්. ඕනි කට්ටක් කෑවම ඕනි මෙට්ටයක් උඩ යන්න ලේසියි. හැබැයි ඕනි මෙට්ටයක් උඩ ගිහින් පුරුදු කෙනෙක්ට ඕනි කට්ටක් නම් කන්න බැහැ. 

ඒ කියන්නේ ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් ඔබ මවා ගෙන ඉන්න හීන ලෝකවලින් බිමට බහින්නම ඕනි. ඔබට අවධානමක් ගන්න තියෙන අනවශ්‍ය බිය ඔබ නැති කරගන්නම ඕනි. මොකද මේ ලෝකේ කරන්න තියෙන හැමදෙයක්ම අවධානමක් තමයි. හිතලා බලන්න ඔබ මොකුත්ම නොකර ඉන්නවා නම් ඒක කොයි තරම් නම් ලොකු අවධානමක් ද? ඔබ බයවෙන්න ඕනි ජීවිතයේ පියවරක් ඉදිරියට තබන්න නෙවෙයි. පියවරයන් කිහිපයක් ආපස්සට තබන්නයි. මොකද ගේම් එක දිනන්න නම් ඔබට තියෙන්නේ ඉතාමත් සීමිත කාලයයි. සාර්ථකත්වය කියලා කියන්නේ ඔබ විසින් ගොඩ නඟා ගත යුතු වන දෙයක්. එහි අවසානය කොතෙක් දුරකට ගෙනයනවා ද? කොතනින් නතර වනවාද? කියන එකත් ඔබ තීරණය කළ යුතු වන දෙයක්. කාගෙවත් වත්කමක් කාගෙවත් වැටුපක් ඔබට ප්‍රශ්නයක් වෙන්න අවශ්‍ය ද? කොහෙත්ම නැහැ.. ඔබට අවශ්‍ය තරමට ඔබ වත්කම උපයා ගන්න. එය කොතනකින් නතර කර ගන්නවාද කියන දේත් ඔබම තීරණය කරගන්න.

ඔබ අහලා තියෙනවාද චීන උණ ගස (Chinese Bamboo Tree) පිළිබඳව. චීන උණ ගසේ කතාව සමහරවිට ඔබ අහලා ඇති. චීන උණ ගසක බීජ රෝපණය කරලා අවුරුදු 5ක් යනතෙක් ගස වැඩෙනවා තබා පුංචිම පුංචි දළුවක්වත් මහ පොළවෙන් උඩට මතු වෙනනේ නැහැ. ඒත් අවුරුදු 5ක් ගත වුණායින් පසුව සති 5ක් ඇතුළත මේ උණ ගස අඩි 90කට වඩා විශාල ගසක් ලෙස වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ චීන උණ ගසේ ස්වභාවය දන්නා පිරිස මේ ගස වර්ධනය වීමට අවශ්‍ය සියළු සත්කාර එම බීජ තවන් දැමු දවසේ පටන් අවුරුදු 5ක් පුරාවට නොකඩවාම සිදුකරනවා. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ උණ ගසට සති 5කින් අඩි 90ක් දක්වා උසකට වර්ධනය වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ කරන දේවල් වල ප්‍රතිඵල මේ මොහොතේම ඔබට දකින්නට විඳින්නට නොලැබෙන්නට පුළුවන්. ඒ සඳහා ඔබට අවුරුදු ගණනාවක් පුරා බලා සිටින්නට සිදු වෙන්නට පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔබ කරන්න ඕනි ඔබේ උත්සහය කැපවීම අත් හැර දමන එක ද? මතක තබා ගන්න වැඩෙන්නට කාලයක් ගත වුණත් අවුරුදු 5කින් පසුව මේ උණ ගස වර්ධනය වෙන්නේ කාටවත්ම නවත්වන්න බැරි විදිහට. නවත්වන්න බැරි වේගයකින්.

මේ ලෝකේ සාර්ථකත්වය අතින් හිණිපෙත්තටම ගිය මිනිසුන් පිළිබඳව අහනකොට බලනකොට ඔවුන් හැමෝම හරිම ලස්සනට හරිම සාර්ථකව අද ඔවුන් ඉන්න ඒ තැන් වලට ගිහින් තියෙනවා ද? ඔබ අහලා තියෙනවා ද ලුඩ්විග් වැන් බීතෝවන් ගැන. ඔහු ජර්මානු ජාතික සංගීත ශිල්පියෙක්. 1770 වසරේ දෙසැම්බර් මස 16 වෙනිදා මෙලොවට උපත ලද මොහු සංගීත දිවිය ආරම්භ කරනකොටම ඔහුගේ සංගීත ගුරුවරයා පවසා ඇත්තේ සංගීත ශිල්පියෙක් ලෙසට ඔහුට අනාගතයක් නොමැති බවයි. ඒ වගේම ඔහුගේ සංගීත දිවියේ අතරමගදී ඔහුට අවුරුදු 26ක් පමණ වන විට ඔහුට ඔහුගේ ශ්‍රවණ හැකියාව අහිමි වෙලා තියෙනවා. හරියටම 1801 වසර වන විට ඔහුගේ ශ්‍රවණ හැකියාව 60% කින් පමණ අඩු වී ගොස් තිබෙනවා. පසුව වයස අවුරුදු 46දී සම්පූර්ණයෙන් ම ශබ්ද ඇසීමේ හැකියාව ඔහුට අහිමි වී ගොස් තිබෙනවා. ශ්‍රවණ හැකියාවක් නොමැති සංගීත ශිල්පියෙක් පිළිබඳව ඔබට විශ්වාස කරන්න පුළුවන් ද? එහෙත් ඔබට ලෝක ප්‍රකට බීතෝවන්ගේ සංගීත නිර්මාණයන්ගේ ඇති උසස්භාවය පිළිබඳව විශ්වාස කරන්න පුළුවන් නේද? විශ්වාස කරන්න නෙවෙයි ඒවා අදහගන්නත් බැරි තරම් උසස් නිර්මාණයන් නෙවෙයි ද? ඉතින් ඔබ හිතනවාද පැහැදිලි අරමුණක්, නිශ්චිත ඉලක්කයක් තියෙන ඕනිම කෙනෙකුට බාහිර දේවල් මගින් වන බලපෑම් ඒ යන ගමනට බාධාවක් වෙනවා කියලා? කොහෙත්ම නෑ. තියෙන්න ඕනි බොහොම සුළු දේවල් ටිකයි. ඒ පැහැදිලි අරමුණක්, නිශ්චිත ඉලක්කයක් සහ ඕනිම දේකදි අත්නොහරින අධිෂ්ඨානයක් විතරයි.

ජීවිතයේ එන හැලහැප්පීම්, බාධක, ප්‍රශ්න එකින් එක එන තරමට ඔබ එක දෙයකට පුරුදු වෙන්න පටන් ගනියි. ඒ තමයි දරා ගැනීම. මේ ලෝකයේ මනුස්සයෙක් ලබන්න පුළුවන් වටිනම දේ. ඒ තුළින් විඳවන ජීවිතය වුව ද විඳින්නට පුළුවන් වන තරමට ඔබේ මනස ගොඩ නඟා ගන්න. ඔබ සතුව තිබෙන ශක්තිමත්ම දේ සහ දුර්වලම දේත් ඔබේ මනස බව හැම වෙලාවකම මතක තබා ගන්න. ඔබට කරන්න පුළුවන් කියලා හිතෙන දේ කියන්නට පෙර ඔබ ඒ දේවල් කරලම පෙන්වන්න. ඒ මොන දේටත් කලින් ඔබ ඔබවම විශ්වාස කරන්න. ඇසෙන දෙයට වඩා අසන්නටත්, පෙනෙන දෙයට වඩා දකින්නටත් පුරුදු වෙන්න. අද ඉදන් හුස්මකට... වෙනසක් දෙන්න. අලුත් හුස්මකට ඉඩක් අරගෙන ලබන ඉරිදාත් වචන.lk මගින් මම එන්නම්. එතකල් මේ සතිය පුරාවට ම හිතන්න මේ කියුව හැම වචනයක් ගැනම 

Top