ලංකාවේ නව බුද්ධාගම් පිළිබඳව අසංක්ෂිප්ත සටහනක් (546)

post-title

මේ ගැන මුකුත් ලියනවද නැද්ද කියල හිතලා හිතලා ලියන්න කල්පනා කලේ. අපි නිරාගමිකයොලුනෙ. ඒ නිසා මේව විවේචනය කරන එක එච්චර හොඳ නැහැ. එහෙමයි කිව්වට මේක විවේචනයකුත් නෙමේ. මගෙ සිතිවිල්ලක් පමණයි.

මේ ලංකාවෙ හතර දික් බාගේ පංසල් පල්ලි කෝවිල් සුරුවම් කැටයම් අරව මේව තියෙනව. මේව මිනිස්සු රසවිඳිනව, වැඳුම් පිදුම් කරනව, පූජා පවත්වනව. කිසිම රසවින්දනයක්, දර්ශනයක් නැතිව අතරමං වෙලා වල්මත් වෙලා ඉන්න මානව සම්පතක් අපට තියෙන්නෙ. ඉතින් ඒ වගේ මිනිස්සු පංසල් පල්ලි කෝවිල් යන එක, ඒව වඳින එක, ඒව රසවිදින එක කියන මේවට මම කැමතියි. මොකද මිනිස්සුන්ට මේ දේවල්වත් නැත්තං මේ මිනිස්සු ටික මාර අසරණ වෙනව. 

දස අතින් ලැබෙන මානසික, දේශපාලන, ආර්ථික සාමාජීය වූ සියළු පීඩා මැද මිනිස්සු ආගමිකව කරන්නෙ යම් අරගලයක්. ඒක නිහඬ අරගලයක්. මේ අරගලයෙ ප්‍රතිඵලය වෙන්නෙ තම තමන් පාඩුවෙ ඉන්න ගමන් වක්‍රව තමාම යම් අගාධයකට යාම. මේ මිනිස්සුන්ට මේ දේවල් නැති වුනොත් මුකුත්ම නොකරන ජාතියක් බවට පත් වෙනව. මේක තව විදියකින් කිව්වොත් “මේව තිබිල වෙන දේම තමයි මේව නැති වුනත් වෙන්නෙ.” 

ලංකාවෙ පශ්චාත් යුධ සමයෙන් පස්සෙ ආගමික නායකයන්ට කරන්න වැඩක් නැතිව යනව. යුධ සමයේ අවසාන අවුරුදු පහ කියන්නෙ ආගම තදින් රාජ්‍යට මෙහෙකාරකම් කරපු කාලයක්. තමන්ගෙ වගකීම් සීයට සීයක් වෙනම පැත්තකින් තියල මේ මෙහෙකාරකම් කලා. ඉතින් මගෙ කියවාගැනීමට අනුව ලංකාවෙ යුද්ධය ඉවර වුනාට පස්සෙ ඒ කියන්නෙ පශ්චාත් යුධ සමයේ භික්ෂුව ඇතුළු සියළු ආගම්වලට අදාල අගාමික නායකයින්ට කරන්න දෙයක් නැතිවුනා. යුධ පෙරමුණට ගිහිං රණවිරුවන්ට පිරිත් නූල් ගැටගහල, පිරිත් පැන් පොවල, වතුර බෝතල් දීල අනාතාධාර බෙද බෙද යුද්ධය පවත්වාගෙන යන්න මානසිකව සහ කායිකව උදව් කරමින් හිටිය අයට යුද්ධෙන් පස්සෙ කරන්න දෙයක් නැති වෙනව. මේ දෙයම ලංකාවෙ දේශපාලකයන්ටත් සිද්ධ වුනා. එයාල පවා මේ පශ්චාත් යුධ සමයේ අහේනියට ලක් වුනා. විකුණන්න දෙයක් නැති වීම නිසා තිබුන පීඩාව අති මහත්. මේ අනුව තමයි ලංකාවෙ ඉස්ලාම් මිනිස්සුන්ව ත්‍රස්තවාදීන් ලෙස සිංහල මිනිස්සුන්ට පේන්න ගන්නෙ. (මේක ගේම් එකක්. මේ ගැන දීර්ඝව ලිවීම මම මේ ලියන මාතෘකාවෙන් පිට පැනීමක්. ඒ නිසා මෙතනින් නවතිනව.) 

මම පැවිදි වෙන්නෙ 2007 දි. ඊටත් කලින් මම පංසලට ආවෙ. ඒ නිසා මට ඉතා හොඳ ආගමික අද්දැකීමක් තිබුන. මම පංසලට එන කාලය තුළත් මහණ වෙන කාලය තුළත් ඒ ගැන තේරුමක් නැති වුනත් ඒ කාලය දැන් මතක් කරල ගත්තම ලංකාවෙ දැන් තියෙන බුද්ධාගම හාත්පසින්ම වෙනස්. එක්කෝ මම ඒ කාලෙ බුද්ධාගම දැකල නෑ. නැත්තං මම මේ කාලෙ බුද්ධාගමේ නෙමේ ඉන්නෙ කියල හිතෙන තරමටම මේක වෙනස් වෙලා. 

2002-2003, 2007-2009 වගේ කාලය වෙද්දි ලංකාවෙ බුද්ධාගමේ ජනප්‍රිය පූජාව වෙලා තිබුනෙ පිච්ච මල් පූජාව විතරයි. ඒක තිබුනෙ අනුරාධපුරයෙ. ඊට පස්සෙ ඔය කිසිම හිංසනයක් නැති අටවිසි බෝධි පූජා, ධර්ම දේශණා, සහ වෙනත් පිංකම් තිබුන. නමුත් මේ කිසි දෙයක් ඕවර් ගිහින් තිබුනෙ නැහැ. හරිම පූජනීය අදහසකින්, ජනප්‍රිය වීමේ අරමුණුත් අඩු වැඩියෙන් මේ දේවල් සිද්ධ වුනා. පාරවල් අසළ පධාන හංදියේ බෝධීන් වහන්සේලා සිටුවීම, සුරුවම් ආකෘතියේ බුදු පිළිම තැන්පත් වීමත් මේ කාලයේ සිද්ධ වුනා. 

නමුත් අර කියපු පශ්චාත් යුධ සමයෙදි අපේ දේශපාලන ස්ථාවරයන් අනාත වෙන්න පටන් ගද්දි, ආගම සමඟ තිබුන බල දේශපාලනයට ආගමික සෙල්ලක්කාර ප්‍රචණ්ඩත්වයත්, ආගමික අභිචාර විධිත් මහා විනාසයකට තල්ලු වුනා. මේ කාලයෙදි තමා කවිබණ රැළි, බණ රැළි, පටන් ගන්නෙ. ලොකු වාහන වල යනව, කොටු කොටු සිවුරු අදිනව, මේකප් කරනව, ස්ටාර් පන්නයේ හාමුදුරුවරු බිහිවෙන්නෙ මේ කාලය තුළ.(කලින් හිටියෙ නෑ කියල නෙමෙයි කියන්නෙ.) පස්සෙ මේ බණ රැල්ල විසික් වෙලා කවිබණ රැල්ල ස්මතු වුනා. ඒ කාලය තුළ කවිබණ කියන්න ඔට්ටුවෙන හාමුදුරුවරු වැඩියි වගේම හොඳ රැල්ලක් ඒකට නිර්මාණය වුනා. කවිබණක් නැති ගමක් හොයාගන්න නැති තරමටම මේක ජනප්‍රිය වුනා. ඒවට මුදල් වියදම් කලේ ගමේ මිනිස්සු සහ එක් ප්‍රධාන අනුග්‍රහයකුත් එක්ක. 

ඊටත් පස්සෙ පූජා රැල්ලෙ ස්මතු වීම සිද්ධ වුනේ. මේ වෙද්දි තිබුන සියළු සම්ප්‍රධායන්ට පයින් ගහල මිනිස්සු පූජා පටන් ගත්ත. තායිලන්තය වගේ බෞද්ධ රටවල සංචාරය කරපු හාමුදුරුවරු මේ රැළි වල මූලිකත්වය හැදුව කියල අදහසකුත් ලාවට වගේ මට තියෙනව. කොහොම නමුත් ඒ අද්දැකීම් එක්ක දහස් ගණනින් චෛත්‍ය ආවරණය කරමින් අටපිරිකර කඳු ගොඩගහල පූජා කරන පූජා සංස්කෘතිය ආව. අටපිරිකරයට හොඳ මිලක් නියම වුනා. ඒ වගේම හොඳ සැලැස්මක් මේ තුළ තිබුන. මේ සඳහා ඓතිහාසිත කරුණු ස්මතු කරමින් මහාවංශය පෘෆ් කරපු ඉතිහාසයක් පවා තිබුන. 

ඊටපස්සෙ මේ පූජා රැල්ල වර්ධන වෙන්න පටන් ගත්තෙ අපි හිතුවෙ නැති විදියට. බණක්, කවිබණක් කියද්දි ලාවට හරි මිනිස්සුන්ට බුදුබණක් ඔලුවට ගියත් මේ පූජා රැල්ලෙදි මිනිස්සුන්ට කිසිම දෙයක් වුනේ නැහැ. කොහොම නමුත් ලොකු මිළ මුදල් වියදම් වුන තැනක් බවට පත් වුනා. පූජා පවත්වන හාමුදුරුවරු මෙහි ඇතුළාන්තය සංවර්ධනය කළා. කියන ගාථා, දෙන අනුශාසනා, පොඩි විනාඩි පහක විතර බාවනාවක්, වගේ දේවලින් මේක පූර්ණත්වයට පත් කළා. මෙහි අතුරු ඵලයත් විදියට පිච්ච මල් පූජාව අබිබවා විවිධ මල්, කැලෑ මල්, දාස්පෙතියෙ මල්, ඉද්ද මල්, නෙළුම් මල්, සුදු නෙළුම් මල්, ආදී පූජාවන්ගෙ සංවර්ධනය ආරම්භ වුනා. මේවයෙ මිනිස්සු වැඩි වැඩියෙන් නියැළුණා. 

පස්සෙ ගිතෙල්, එළගිතෙල්, පස්තෙල්, අඹතෙල්, වගේ පහන් පූජා කාලය එළැඹුණා. මේවයෙදි වැඩි වැඩියෙන් අපල, විභාග, කරදර වගේ දේවල් වලට ටාගට් ගෲප් එකක් නිර්මාණය වුනා. ඇමතිවරු පවා මේව සිද්ධ කරා තමන්ගෙ ප්‍රදේශයේ දේශපාලන බලය තහවුරු කරගන්න. මේක ඕවර් ගිහිල්ල තමා ජෝතිශ්‍යවේදියො පවා මේක බිස්නස් එකක් විදියට සංවර්ධනය කලේ. කොහොම නමුත් මේකෙන් බුදු දහමෙ තිබුන හරය පවා විනාස වෙන්න පටන් ගත්ත. 

මෙහෙම යද්දි තමා නැවත මිනිස්සු ඓතිහාසික ස්ථානවල පූජා ආරම්භය සිද්ධ වෙන්න පටන් ගන්නෙ. මේව මුලින් මුලින් කරපු අයට එතික්ස් තිබුන. එයාල දැනන් හිටිය “තමන් කරන්නෙ වරදක්ය. එනිසා මෙවන් දේවල් ඓතිහාසික වන්දනීය පූජනීය තැන්වලට ගෙන්වීම හොඳ නැතය” ආදි වශයෙන්. ඒ නිසා හොඳ ධර්ම දේශණා, පිරිත් පිංකම් පමණයි මේ ස්ථාන අරමුණු කරගනිමින් ව්‍යාප්ත වුනේ. නමුත් පස්සෙන් පහු මේක චෛත්‍ය වටා සිවුරු රෙදි එතීම, දාස් ගණන් තැඹිලි පළතුරු ආදී දේවල් පූජා කිරීම දක්වා සංවර්ධනය වුනා. ඒ සංවර්ධනයත් එක්කම අර මුල් පූජා පවා තවම සිද්ධ වුනත් දැන් (2012-2021) දක්වා කාලය වන විට මේ පූජා සංස්කෘතිය පමණක් ජනප්‍රිය වෙමින් පවතිනව. 

නමුත් බුද්ධාගමේ අති ජනප්‍රියම කාලය 2015-21 දක්වා වන මේ කාලය. මේ කාලය තුළ ස්මතු වී ඇති හා වෙමින් පවතින දාර්ශනික සහ ආගමික රැල්ල කිසියම් වූ දේශපාලන ප්‍රවාහයක් ඇතිව සහ නැතිව පවතිනව. ඒ ජනප්‍රියත්වය එසේම තිබියදී පවා උඩදි කියපු පූජා සංස්කෘතිය වියැකි නොයා මේ හැම දෙයක්ම කණ්ඩායම් ලෙස නඩත්තු වෙමින් පැවතී යාම සුවිශේෂීයි. මේ ජනප්‍රියම කාලයේ පවතින දේවල් ලැයිතුවක් ලෙස;

  • කොළඹ කේන්ද්‍රීයව ගොඩ නැගෙන එක් නමක් පමණක් වැඩ සිටින අසපු, (මේවා බොහෝ විට මිළට ගත් නිවසක් හෝ පූජා කරනලද නිවසක්. මේවා සම්ප්‍රදායික පංසලෙන් බැහැරයි)

මේ රැල්ලෙන් පසුව;

  • තමන්ටම වෙන් වූ අනුගාමිකයන් පිරිසක් සමඟ බුදු දහමේ ඉගැන්වීම් අර්ථ නිරූපණ සහිතව ගොඩ නැගෙන එක් නායකයෙක් වටා බැඳි පිරිස්.(මහමෙව්නා අසපු සමූහය, සිරිසඳහම් අසපු, වහරක, …etc)
  • බුදුන් ලංකාවේ ඉපදුණා යැයි පවසන පිරිස්
  • බුදු ලංකාවේ නොඉපදුණා යැයි පවසන පිරිස්
  • තමන් බුදු වී සිටී යැයි පවසන පිරිස්(ගිහි පැවිදි)
  • කුමන හෝ මාර්ගඵලයක් ලබා සිටී යැයි පවසන පිරිස්.
  • තමන් රහත් වී ඇතැයි පවසන පිරිස්(ගිහි- පැවිදි)
  • ධර්ම දේශනා පවත්වමින් රටවටා වැඩම කරන පිරිස්
  • සමාජ මාධ්‍යය හරහා අනුගාමිකයන් ගොඩනගාගෙන සමාජ මාධ්‍ය හරහා පමණක් පෙනී සිටින පිරිස්.
  • සමාජ දේශපාලන කටයුතු සඳහා මැදිහත්ව සිටින දේශපාලන බලයක් ඇති, ධන බලයක් ඇති බෞද්ධ පිරිස්.(බුද්දාගම රැකගැනීම, ඒ සම්බන්ධ නීති සම්පාදනය, පනත්, පනත් සංශෝධන ආදී) (ගිහි පැවිදි)
  • රාවණ වැනි පුරාවෘත්ත ග්‍රහණය කරගනිමින් ගොඩ නැගෙන බෞද්ධ පිරිස්(ගිහි - පැවිදි)
  • ටියුෂන් පන්ති හරහා විෂය සමඟ බෙදෙන බුද්දාගම් ඉගැන්වීම්.

(ඉහත ලැයිස්තුව කිසිවෙකුට අපහාස කරන මුවාවෙන් යොදාගත්තක් නොවන බව කරුණාවෙන් සළකන්න.) 

මෙවන් වූ සංවර්ධන පසුබිමක් තුළ බුද්දාගමේ ව්‍යාප්තියේ නව රැලි සමුදායක් ඇතත් ඒවයේ ජනප්‍රියතම අංගය ලෙස හදුනාගත හැක්කේ අභිචාර විධි මුල් කරගනිමින් නිරන්තර ව්‍යාපාරික අරමුණු පමණක් පෙනෙන්නට ඇති දෙලොව සුබ සිද්ධිය පිණිස යැයි ව්‍යාප්ත වන කණ්ඩායම්ය. 

පූජා විධි මුල් කරගනිමින් මේ පවත්වාගෙන යන සම්ප්‍රදාය තුළ ස්මතු නොවන එකම දෙය බුද්ධිය යැයි කිව හැකිය. එහි 2020 -21 සමය තුළ ගොඩ නැගෙන නවතම උපහාර පූජා සම්ප්‍රදාය පසුගිය දා කරළියට පැමිණි චෛත්‍ය සුවඳ පැනින් නැහැවීමයි. මෙවන් වූ නිශ්ඵල සහ අතාර්කික කරුණු සමූහයකින් ගොඩ නැගෙන නවතම බුද්ධාගම කිසිවෙකුට ඵල සහිත වේදැයි ගැටළු සහගතය. බුද්දාගමේ ව්‍යාපාරික ලක්ෂණ ඉදිරියේදී තව තවත් පිළිබිඹු වෙමින් ව්‍යාප්ත වීම දැනට වැලකී ඇත්තේ කොරෝනා වසංගතය අබිමුඛවය. 

මේ බුද්දාගමේ සාමාන්‍ය ආකෘතියෙන් බැහැරව ගොඩනැගෙන පශ්චාත් යුධ සමයේ බුද්ධාගම මිනිසුන් තුළ සංහිදියාව, සාමයික බව, සන්සුන් මනස අබිබවා අරගලකාරී අප්‍රසන්න බහුතර මිනිසුන් පිරිසක් ගොඩනැගෙනව. සරළවම කිව්වොත් මේ රැළි ගොඩනැගෙන කණ්ඩායම් කණ්ඩායම් තුළ පවා ලොකු බෙදීම්, අවලාද නැගීම් දක්වාම වර්ධනය වෙලා. අතපය කඩා ගැනීම් දක්වාම සංවර්ධනය වෙලා තියෙනවා. එය නැවැත්විය හැකි ප්‍රවාහයක් පිළිබඳව මිනිසුන්ම කල්පනා කළ යුතුයි. නැත්තං ලංකාවතුළ බුද්ධාගම මුල් කරගත් පුංචි සෞදියක් නිර්මාණය වීම වළක්වන්නට බෑ.

Top