බොනිෆේස් මුවංගි නම් මානව හිතවාදී කෙන්යානු ප්‍රකෝපකරුවාගේ ජීවිතය

post-title
" ඔබ කොහෙද යන්නේ?"
සෙල්ලම් කරමින් සිටින කුඩා දැරියක් තම පියාගෙන් විමසනවා.
 
" මම යන්නේ රජය පෙරළා දමන්න"
ඔහු බොහොම සරලව පවසා නිවසේ දොර හැර පිටතට ගමන් කරනවා.
 
" Softie Film Official Trailer " ලෙස
 යූ ටියුබ් හි ඇති වීඩියෝව නැරඹුවහොත් ඔබට ඉහතින් සදහන් කර ඇති සංවාදය දැකගත හැකියි.
 
2020 වර්ශයේ Sundance සිනමා උළලේදී ප්‍රථමව ජාත්‍යන්තරව තිරගත කළ මෙම
සුවිශේෂී ,සම්මානනීය Softie චිත්‍රපටය ,
සම්මානලාභී කෙන්යානු  ඡායාරූප මාධ්‍යවේදියෙකු සහ සමාජ දේශපාලන  ක්‍රියාකාරයකු වන බොනිෆේස් මුවංගි නම් මානව හිතවාදී කෙන්යානු 
ප්‍රකෝපකරුවාගේ ජීවිතයේ යම් සුවිශේෂී පරිච්ඡේදයක් අලලා නිර්මාණය කළ චිත්‍රපටයකි. 
ඉහත ආකාරයට තම කුඩා දියණියට
තමා රජය පෙරළා දමන්න යන බවට ඉතාමත් සැහැල්ලුවෙන් පවසන්නේ ඔහුයි. 
1983 ජූලි 10 වන දින කෙන්යාවේ ටැන්සානියානු දේශසීමාව අසල ටාවේටා නම් ගමෙහි මුවංගිගේ උපත සිදුවිය.
කුඩා මුවංගිගේ මව වීථි පොත් වෙළඳාමේ නිරත වූ කාන්තාවකි.
අවුරුදු පහක් හයක් පමණ වන විට මුවංගී තම මිත්තණිය හා මුත්තණුවන් සමග මධ්‍යම නයිරී හි  ජීවත් වුවත් ,තම මව සමඟ නයිරෝබිහි අඩු ආදායම්ලාභී උපනගරයකට  ජීවත් වීමට පැමිණීමට ඔහුට සිදුවිය.
උපතත් සමගම දරිද්‍රතාවය උරුම වූ බැවින් තම මව සමග වීදි පොත් වෙළඳාමේ නිරත වන්නටද ඔහුට සිදුවිය. 
කෙසේ හෝ ඔහුට අවුරුදු දාහතක් පමණ වන විට එනම් දෙදාහ වර්ෂයේ දී ඔහුගේ මවගේ අභාවයත් සමඟම තම ජීවන බර සමග තනිව සටන් කිරීමට
බොනිෆේස් මුවංගිට  සිදුවිය.
 විටෙක කම්කරුවකු ලෙස විටෙක  වෙළෙන්දෙකු ලෙස ආදී විවිධ රැකියාවල නිරත වෙමින් ඔහු එම අභියෝගයට මුහුණ දුන්නේය . 
අධ්‍යාපනයට කෙතරම් දක්ෂ වුවත් ඔහුට ජීවන අරගලයත් සමගින් තම අධ්‍යාපන කටයුතු කරගැනීමට විශාල වෙහෙසක් දැරීමට ද සිදුවිය.
කෙසේ හෝ දේවගැතිවරයකු වීමේ අභිලාෂයෙන් ඔහු බයිබල් පාසලක අධ්‍යාපනයේ නිරත වූ අතර එයින් බයිබල් ඩිප්ලෝමාවක් ද ඔහු හිමිකරගත්තේ ය.
පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරන සමයේදී මුවංගි  
ඡායාරුපකරණයට යොමු විය. 
ඔහු පුද්ගලික පුවත්පත් පාසලකට   යොමු ව ඡායාරූපකරණය හැදෑරීය.
කෙන්යානු ඡායාරූප ශිල්පී මොහොමඩ් අමීන් නම් චරිතය බොනිෆේස් මුවංගි තරුණ ඡායාරූප ශිල්පියාට යහපත් බලපෑමක් විය. මොහොමඩ් අමීන්ගේ ආභාෂය මුවංගිගේ ඡායාරූප තුළ දැකගත හැකිය. 
 
ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කළ  ඔහු 2005 වර්ශයේදී Standard පුවත්පත වෙනුවෙන් ලබාගත්  ඡායාරූපයකට වසරේ  හොඳම ඡායාරූපයට හිමි ත්‍යාගය ලබා ගනිමින් සම්මානනීය වූයේ තම ඡායාරූපකරණ මාධ්‍ය දිවියේ නවමු මංපෙත් විවර කර ගනිමිනි.
2005 වර්ෂයෙන් පසුව අඛණ්ඩවම තුන් අවුරුද්දක් පුරාවට අප්‍රිකාවේ වඩාත් ම බලාපොරොත්තු තබාගත හැකි ඡායාරූප ශිල්පියා වන්නේ ද බොනිෆේස් මුවංගිය.
එමෙන්ම 2008, 2010 වර්ෂවලදී CNN අන්තර්ජාතික හොදම මාධ්‍ය ඡායාරූප ශිල්පියා ලෙස තම නම රඳවා ගැනීමට ඔහුට හැකි වූයේ ඔහුගේ අති දක්ෂ ඡායාරූපකරණ හැකියාව නිසාමය.
roiter, boston globe සහ එවැනි තවත් පුවත්පත් කිහිපයකම නිදහස් ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස ඔහු කටයුතු කළේ ඔහුගේ දක්ෂතාවය තව තවත් මුවහත් කරගනිමින් .
 
2007 වර්ෂය බොනිෆේස් මුවංගිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.
2007 වර්ෂයේ සිදුවූ කෙන්යානු පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුකොට ගෙන මිනිසුන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ලක්ෂ හයක් පමණ  පිරිසක් අවතැන් වන්නේ කෙන්යානු දූෂිත දේශපාලනයේ පිළිකුල් සහගත සළු පට ලොව ඉදිරියේ ඉරී යමිනි.
ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස එම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කිරීමට මුවංගිට සිදුවේ.
ඔහු එහිදී ගොඩගසා ඇති මළ සිරුරු,පොලිස් නිලධාරීන් විසින් දූෂණය කළ කාන්තාවන්,පීඩනයට ලක්වූ කුඩා දරුවන්  සහ හානි වූ පොදු දේපල ආදී බොහෝ දෑ තම කැමරා ඇසට හසු කරගත්තේ දේශපාලන බල අධිකාරිය පිළිබඳව ඉතාමත් පිළිකුල් සහගත කලකිරීමකිනි.
 
කෙන්යානු දේශපාලනය විවිධ ගෝත්‍රික රේඛා ඔස්සේ බෙදී ගොස් තිබෙන අතර
ප්‍රධාන ධාරාවේ පක්ෂ අතර එම ගෝත්‍ර පෙළ ගැසී තිබේ. 
කෙන්යානු දේශපාලනඥයින් තම අභිවෘද්ධිය සහ වාඩු පිරිමසාගැනීමට එම ගෝත්‍ර අතර ඇතිකළ ප්‍රචණ්ඩත්වයේ දූෂිතම සිදුවීම් එලෙස 2007 වර්ෂයේදී කෙන්යානු මහමැතිවරණයෙන් පසු සිදුවිය .
ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස එම පසු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා කිරීමට සිදුවීමෙන් මුවංගි සෘජුවම කෙන්යානු දූෂිත දේශපාලනයේ ක්‍රියා කලාප වල ප්‍රතිඵල අත් වින්දේය.
එබැවින් ඔහු දැඩි මානසික අවපීඩනයකට ලක් වූ බව ප්‍රසිද්ධ කරුණකි.
ඔහු එම තත්ත්වයෙන් බොහෝ ලෙස තම ජීවිතයේ එක්තරා කාලයකදී පීඩාවට ලක්විය.
ඔහු පවසන ලෙසට සමහර රාත්‍රීන්  නොනිදා පහන්  කිරීමට සිදුවී ඇත්තේ බියකුරු සිහින දැක බිය වූ නිසා ය. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පීඩාවට ලක් වූවන්ගේ වේදනාව සිහිවී හැඬූ අවස්ථාද බොහොමයක් තිබූ බව බොනිෆේස් මුවංගි පවසයි.
ප්‍රචණ්ඩත්වයෙන් මාස දෙකක් තුනක් ගතවන විට කිසිවක් සිදු නොවුණ ලෙස දේශපාලනඥයින් සතුටු වන අයුරු   හා  වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ට වගඋත්තර නොබදින  අයුරු ඔහු ඉතා තද කලකිරීමකින් බලා සිටියේය.
ඔහු ඒ  පිළිබඳව මෙසේ පවසයි.
 
 "2007 වසරේ අපි කෙන්යාවේ මැතිවරණයක් පැවැත්වූ අතර එහි ප්‍රතිඵල  ප්‍රචණ්ඩ ලෙස මතභේදයට ලක්විය. එම මැතිවරණයෙන් පසුව සිදු වූයේ දරුණු ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී දූෂණය සහ දහසකට අධික පිරිසක්  ඝාතනය  කිරීමයි. 
 මගේ කාර්යය වූයේ ප්‍රචණ්ඩත්වය ලේඛනගත කිරීමයි.
 ඡායාරූප ශිල්පියෙකු ලෙස මම රූප දහස් ගණනක් ගත් අතර මාස දෙකකට පසු ප්‍රධාන පක්ෂ දෙකෙහි දේශපාලුවන්  දෙදෙනා එකට එකතු වී තේ කෝප්පයක් පානය කර සාම ගිවිසුමක් අත්සන් කර රට ඉදිරියට ගෙන ගියේය. ප්‍රචණ්ඩත්වය මා දුටු නිසා මා ඉතා කලබලයට පත් විය. මම මනුෂ්‍ය ඝාතන  දුටුවෙමි. අවතැන්වීම් දුටුවෙමි. දූෂණයට ලක්වූ කාන්තාවන් මට හමු විය, කුඩා දරුවන් බිය වී හඩන අයුරු මම දුටුවෙමි..
එය මට කරදරයක් විය, නමුත් රට කිසි විටෙකත් ඒ ගැන කතා කළේ නැත. අපි මවාපාමින් සිටියෙමු.  කරදරයකින් පීඩනයට පත්වීත් ඒ ගැන කතා නොකිරීමට තීරණය කළෙමු.
එය මට මහත් පීඩනයක් විය..බියගුල්ලකු වීම මහත් පීඩනයක් විය."
 
ධනවාදී දේශපාලනය තමා වැනි සාමාන්‍ය ජනතාව අතර ඇති කළ ප්‍රචණ්ඩත්වය සහ පීඩනය ඔහු සියැසින්ම දුටු නිසා කෙන්යානු දේශපාලනයේ ලැජ්ජාසහගත ලේ තැවරුණු  බලයට වෛර කිරීමට  පෙළඹෙන්නේ තමා තුළ සිටි ඡායාරූප මාද්‍යවේදියා විප්ලවකාරයෙකු ලෙස පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින්.
එකී අවශ්‍යතාවය නිසා තමා රාජකාරි කරමින් සිටි සියළු පුවත් පත් වලින් ඉවත් වීමට තීරණය කළේය.
ඉන්පසුව ඔහු තම මිතුරන් සමග  පැවති රජය බිඳ වට්ටා දැමීමට සහ එරෙහි වීමට මාස ගණනක් කතිකා සිදු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සජීවී විකාශන කතාවක දී එකල ජනපති මවායි කිබාකි ප්‍රසිද්ධියේ ඇමතීමට සැලසුම් කර ගත්හ.
නමුත් සැලසුමේ පරිදි එදින ඔහුගේ මිතුරන් ඔහු සමග සිටියේ නැත.
ඔහුට යම් කිසි බියක් සහ චකිතයක් දැනුන නමුත් ඔහු සැලසුමේ පරිදි ජනපති ඉදිරියට ගොස්  කෑගසා පශ්චාත් මැතිවරණ වින්දිතයන් සිහි කළ යුතු බවට පැවසුවේය.
එදින සිදු වීමේ  අත්දැකීම TED  සම්මුඛ සාකච්ඡාවක දී මුවංගි මෙලෙස බෙදා ගත්තේය.
 
" ක්‍රීඩාංගනයේදී මගේ මිතුරන් පෙනී සිටියේ නැත. මම තනිවම සිටියෙමි, කුමක් කළ යුතුදැයි මම නොදනිමි.  , නමුත් එදිනම මට තීරණයක් ගත යුතු බව මම හොඳින් දැන සිටියෙමි. අනෙක් සියල්ලන් මෙන් මට බියගුල්ලෙකු ලෙස ජීවත් වීමට හැකි වූවාද, නැතහොත් මම ස්ථාවරයක් ගැනීමට යන්නේද? ජනාධිපති කතා කිරීමට නැගී සිටින විට, මම  පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සිහිපත් කරන ලෙසත්, දූෂණය නැවැත්වීම සඳහාත්, ජනාධිපතිට කෑ ගසමින් මාගේ විරෝධය එල්ල කලා.    හදිසියේම, කොතැනකවත් සිටි පොලිසිය කුසගින්නෙන් පෙළෙන සිංහයන් මෙන් මා වෙතට පැන්නා. ඔවුන් මගේ මුඛය අල්ලාගෙන මාව ඇදගෙන ගියා..  ඔවුන් මට තදින් පහර දී සිරගෙදර සිර කර තැබූ ක්‍රීඩාංගනයේ. මම එදින රාත්‍රියේ සිරගෙදර සීතල සිමෙන්ති තට්ටුවක ගත කළෙමි. එය මගේ සිතුවිල්ලට හේතු විය. මට මේ ආකාරයෙන් හැඟෙන්නේ කුමක් ද? මගේ මිතුරන් සහ පවුලේ අය සිතුවේ  මා කළ දේ නිසා මා පිස්සු වැටී ඇති අතර, මා ගත් පින්තූර මගේ ජීවිතයට බාධාවක් වි ඇතැයි කියා.
මම ගත් පින්තූර බොහෝ කෙන්යාවේ වැසියන්ට අංකයක් පමණි.බොහෝ කෙන්යාව  ප්‍රචණ්ඩත්වය දුටුවේ නැත.  එය ඔවුන්ට කතාවකි .. එදින ක්‍රීඩාංගනයේදී මම දක්ෂ බියගුල්ලෙකු ලෙස නැගී සිටියෙමි. ජනාධිපතිවරයාට කෑ ගසමින්, මම සැබවින්ම උපත ලැබුවේ මන්දැයි මම සොයා ගතිමි, අයුක්තිය හමුවේ මම තවදුරටත් නිහඩව නොසිටිමි.   අත්අඩංගුවට ගෙන පහරදී තර්ජනය කර තිබුනත් මා බිය නොවෙමි.  මාව මෘදුයි කියා හැඳින්වුවද, මම තවදුරටත් මෘදු නොවෙමි, මන්ද මම ඇත්තටම කවුදැයි මම සොයාගත්තෙමි."
 
එයින් පසු ඔහු සැලසුම් කර සමාජ අසාධාරණයට එරෙහි තම පළමු ව්‍යාපෘතිය ලෙස වීදි ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කළේය.
එය " picha matani" ලෙස නම් විය.
පැවති රජය  සිදු කළ බිහිසුණු මැතිවරණ ප්‍රචණ්ඩත්වය හුවා දැක්වෙන ප්‍රබල ඡායාරූප දහස් ගණනක් යොදා ගනිමින් ඔහු එම
 " picha matani" වීදි ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන්නෙ ඉතාමත් නිර්භය අයුරින්.
මුවංගි විසින් මෙම ප්‍රදර්ශනයට සමගාමීව "ජාතිය සුවපත් කරමු" ලෙස නිර්මාණය කළ වීඩියෝවක් ද එළි දැක්වූයේය.
ප්‍රදර්ශනය සහ එම වීඩියෝව ඉතාමත් සාර්ථක අයුරින් කෙන්යාව පුරා මිලියන 2 කට අධික පිරිසක් නැරඹුවේය.
ඔහු" picha matani" හරහා Team coverage
නම් සංවිධානයක් ගොඩනඟා එයින් රට පුරා තරුණ පිරිස තම අරමුණ වටා එක් රැස් කර ගැනීමට සමත් විය. 
 මුවංගි එම තරුණ පිරිස් සමගින් සමාජ ක්‍රියාකාරීයකු ලෙස අඛණ්ඩවම තම කටයුතු පවත්වාගෙන ගියේය 
 
" නිරායුධ මිනිසුන් ,කාන්තාවන් ,දරුවන් හට අවි ගත් රජය විසින් එල්ල කළ කෲර වධහිංසා මා සියැසින්ම දැක්ක.
 මෙම අසාධාරණය දැක දැක මට තවත් ඡායාරූපකරණයේ යෙදීමට නොහැකියි. මෙම කෲර පාලනයට එරෙහි වීමට මට තිබූ ආයුධය කුමක්ද?
ඔව් ඒ මගේ ඡායාරූපකරණ හැකියාව.මා එයින්  දේශපාලනයේ කෲර ක්‍රියාවන් මුළු රටටම ලෝකයටම වාර්තා කිරීමට පෙරමුණ ගත්තා."
ඔහු  අදට ද එලෙස පවසන්නේ ඉතාමත්
නැවුම් ලෙසිනි.
 
මේ වන විට බොහෝ දෙනාගේ අවධානය සහ විශ්වාසය බොනිෆේස් මුවංගි නම් සමාජ අසාධාරණයට එරෙහි වන මෙම අපූරු තරුණයා කෙරෙහි යොමු විය.
2009 වසරේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් ඔහුගේ සේවය අගයමින් ලිපියක් එවූ බවද සඳහන්ය.
2010 2011 වර්ෂ වන විට මුවංගි ගොඩනගාගත් Team coverage හි දිගුවක් ලෙස pawa 254 නම් කේන්ද්‍රස්ථානයක් සහ සහයක අවකාශයක් නයිරෝබි හි නිර්මාණය කරන්නේ මාධ්‍යවේදීන්ට ,සමාජ ක්‍රියා කරුවන්ට සහ  විශේෂයෙන්ම කලාකරුවන්ට හට යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට එකමුතු වන ලෙසට ආරාධනා කරමින්.
Pawa 254 සමග බොහෝ පිරිසක් අත්වැල් බැඳගත් අතර එය හරහා බොහෝ දැනුවත් කිරීම් සහ සමාජ ක්‍රියාකාරකම් කිරීමට හැකි විය.
heal the nation නම් වාර්තාමය කෙටි චිත්‍රපටයක්ද මෙහිදී   නිර්මාණය කළේය.
මේ සියලු දෙයින් තව තවත් ධෛර්යමත් වූ මුවංගි සැලසුමකට අනුව යමින් 2013 වසරේ මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර ව පවත්වා ගැනීමට සාමය පිළිබඳව පණිවිඩයක් ප්‍රවර්ධනය කරන්නේ ඔහු වටා ඒකරාශී වූ බොහෝ දෙනෙකුගේ සහාය ඇතිවය.
කණ්ඩායම් හැඟීම සහ ධෛර්යය එම සාම පණිවුඩයට පාදක විය .
  තමා තුළ සිටි 
විප්ලවකරුවා නිරන්තරයෙන්ම අවදියෙන් තබා ගැනීමට ඔහු අමතක නොකළේය.
ඔහු නිතරම රජයට සහ  දූෂිත දේශපාලනයට නිර්භයව ඇඟිල්ල දිගු කරන්නේ පවතින දේශපාලනය සහ පාර්ලිමේන්තුව නිතරම සමච්චලයට ලක් කරමින් .
දේශපාලනඥයින්ට ඔහු නිතරම පහර ගැසූ  අතර දේශපාලන සංස්ථාව අවුල් කිරීම පිළිබඳව සහ රජය අස්ථාවර කිරීමේ චෝදනාව මුවංගි හට නිතරම එල්ලවනවා.
එපමනක් නොව මිනිස් ලේ තැවරුනු දේශපාලනයේ නියැලෙන්නන්ගේ තර්ජන ගර්ජන නිරතුරුවම ඔහුට සහ ඔහුගේ පිරිසට එල්ල වෙනවා.
ඔහුගේ සදාචාර සම්පන්න විරෝධතා කඩාකප්පල් කර දැමීමට පමණක් නොව බොනිෆේස් මුවංගිගේ කටයුතු පිළිබඳව ඔත්තු බැලීමට ඔත්තුකරුවන් ද යෙදවීමට බලකාමී දේශපාලුවන් ක්‍රියා කරනවා.
කෙසේ වුවත් ගෝත්‍රික අනන්‍යතාවය නොසලකන කෙන්යානු බුද්ධිමත් තරුණ පිරිස සහ කුඩා කන්ඩායම් වලින් සැදුම්ලත් බොහෝ පරිත්‍යාගශීලීන් ඔහු වටා එක් රොක් වන්නේ රොනට ඇදෙන කඩිසර මී මැස්සන් සේය.
බොනිෆේස් මුවංගිගේ සමාජ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යාධාර දීමට ඉදිරිපත් වෙන්නේ බොහෝ විට   ධනවාදීන් නොවේ.
කුඩා කන්ඩායම් වලින් සැදුම්ලත් සාමාන්‍ය ජනතාවයි.
මුවංගිගේ අවංක සහ නිර්භය චරිතයට බොහෝ කෙන්යානුවන් ගෞරව කරති.
ඔහු නිතරම තම වගකීම වෙනුවෙන් නැඟී සිටි.
 
" රජයේ දූෂණ සහ අයුක්තියට එරෙහිව බොහෝ මිනිසුන් දැක නැති දේවල් මා දැක තිබෙනවා ඒ ගැන නිහඬව නොසිටීමට මට වගකීමක් තියනවා "
( 2015 TED සාකච්ඡාවක දී )
 
පිරිස් ඒකරාශි කරමින් දේශපාලන අක්‍රමිකතා හා දූෂණවලට විරෝධතා ඇති කරමින් සිටින විට පද්ධතිය තුළ සිට පද්ධතියේ වෙනසක් ඇති කිරීමේ  අදහසින් දේශපාලනයට පැමිණීමට මුවංගි අදහස් කළේය.
එම තීරණයට අනුව ඔහු කිසිදු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක සහාය නොමැතිව සමාජ අසාධාරණයට එරෙහි    පිරිසගේ සහාය ඇතිව ස්වාධීන දේශපාලන පක්ෂයක් ගොඩනඟා ගන්නේ Ukweli Swahil Party යන නමිනි.
එම පක්ෂයෙන් ඔහු 2017  මහමැතිවරණයට ඉදිරිපත් වූ අතර සංස්කෘතික කෙන්යානු දේශපාලනයේ එතෙක් මෙතෙක් සිදුනොවූ ලෙසට විශාල සමාජ මාධ්‍ය ජාලා සහයක් ද ඇතිව තරග කළේය.
ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා විශාල ලෙස අරමුදල් රැස් කිරීමට ඔහුව විශ්වාස කළ සමාජ මාධ්‍ය භාවිතා කරන එම පිරිස  ස්වේච්ඡාවෙන්  පෙළ ගැසුණි .
මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාවක් නොලැබුනත්  ඒ වන විට කෙන්යානු දේශපාලනයේ සුවිශේෂී සලකුණක් බවට පත්වීමට බොනිෆෙස් මුවංගි සමත් වන්නේ ඔහුගේ සදාචාර සම්පන්න මැතිවරණ කටයුතු නිසා ය.
මැතිවරණය පවත්වා දින තුනක් ගත වන විට මුවංගි තම ආධාරකරුවන්ට Twitter පණිවිඩයක් නිකුත් කරමින් බොහෝ කාරුණිකව ඉල්ලා සිටියේ ඔහු වෙනුවෙන් නැවත පෙළගැසී  මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදාගත් පෝස්ටර් කටවුට් බැනර් සියල්ල ඉතාමත් ඉක්මනින් ඉවත් කරන ලෙසට ය.
එම සියල්ලම ඉවත් කරගන්නා බවට ඔහු  සාමාන්‍ය ජනතාවට ද එම පණිවුඩයෙන් පොරොන්දු විය .
එය මුවංගිගේ සදාචාර සම්පන්න දේශපාලනයට නිදසුනක් නොවන්නේ ද?
 
Sam Soko විසින් අධ්‍යක්ෂණය කළ Softie චිත්‍රපටයට ද පාදක වූයේ 2017 මැතිවරණයට ඉදිරිපත් වීමේ මුවංගි ගත් 
ධෛර්ය සම්පන්න සහ සුවිශේෂී තීරණයයි.
Softie යන අන්වර්ථ නාමයෙන් කුඩා කාලයේ දී බොනිෆෙස් මුවංගිව සියල්ලන්ම හඳුනා ඇත්තේ ඔහුගේ මෘදු සහ නිහඬ චරිතය නිසාවෙනි.
එකල ඔහු මෘදු සහ නිහඬ චරිතයක් වුවද මෙකල ඔහු කෙන්යානු සමාජය තුළ ඉහලටම ගමන් කරන්නේ යුක්තිය හා පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිමින් ය.
දරිද්‍රතාවයෙන් පීඩා විඳි ඒ නිහඬ කුඩාදරුවා අද කෙන්යාවට විශාල බලපෑමක් එල්ල කළ හැකි ප්‍රබල පුද්ගලයෙකි .
ඇතැම් අවස්ථාවල මුවංගිගේ සමීපතමයන් ට ඔහුගේ සමාජ ක්‍රියාකාරකම් යම් කණස්සල්ලක් එක් කළ ද මුවංගි තම රට වෙනුවෙන් ඒ සියලු දේ පසෙක තබන්නේ දැඩි අධිෂ්ඨානයෙනි .
මීට අවුරුදු කීපයකට පෙර බොනිෆෙස් මුවංගි සහ ඔහුගේ ආදරණීය බිරිඳ හෙලන් නජෙරි අතර  ඇතිවූ සංවාදයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
එය මෙයට කදිම නිදසුනක්.
එහිදී ඔහුගේ බිරිඳ මෙලෙස පවසනවා .
 
" ඉතිරි ව ඇති දේ ඔබේ දරුවන්ට ලබා දෙනවා වෙනුවට ඔබේ දරුවන්ට ඔබගේ ජීවිතය මුලින්ම ලබා දෙන්න "
 
තම බිරිඳ පැවසූ දෙයට දරුවන් තිදෙනකුගේ ආදරණීය පියකු වන බොනිෆෙස් මුවංගි මෙසේ පවසනවා.
 
" මගේ ජීවිතයේ රට මුලින්ම පැමිණෙයි.තමන් රට වෙනුවෙන් සටන් කරන විට වාසි සැලසෙන්නේ දරුවන්ට "
 
ඔහු සැබවින්ම තම රටට පළමු තැන ලබා දෙන සුන්දර මනුෂ්‍යයෙකි.
ඔහුගේ සමාජ ක්‍රියාකාරකම් නිසා ඔහුගේ පවුලට සහ ඔහුට නිරන්තරයෙන් ම විවිධ තර්ජන වලට මුහුණ දීමට සිදු වූ අවස්ථා බොහොමයි.
එමෙන්ම පොලිස් අත්අඩංගුවට පත්වූ  අවස්ථා ද බොහොමයි. ආසන්නතම ලෙස ඔහු අත්අඩංගුවට පත් වූයේ 2019 දී සමාජ   ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීමට සහ පවතින දේශපාලන රටාවට එරෙහි වෙමින් කළ විප්ලවයක් නිසාය.
තම ගමනට අදිසි හස්තයන් ගෙන් කෙතරම් බලපෑම් සිදු වුවත් ඒ සියල්ල තම සමාජ සේවයට පන්නරයක් කරගන්නේ ඔහු  තව තවත් ශක්තිමත් වෙමින්. 
රටක දේශපාලනයට සෘජුවම  එරෙහි වීමට නම් එම පුද්ගලයාට පුදුමාකාර ශක්තියක් සහ තම රට පිළිබඳ හැඟීමක් තිබිය යුතුයි. 
එකී සියල්ලෙන්ම පෝෂිත බොනිෆෙස් මුවංගි නිරතුරුවම දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහ රාජ්‍ය  නිළධාරීන්ගේ ක්‍රියා කලාප කෙරෙහි තම විරුද්ධතාවය දක්වා එවැනි සිදුවීම් තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා මුදා හැරීමට කටයුතු කරයි.
එවැනි අවස්ථා බොහොමයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැකගත හැකියි..
මෑත කාලීනව ද ඔහු
පාරේ වැරදි පැත්තෙන් රිය ධාවනය කළ රජයේ නිලධාරියකුගේ වාහනය අවහිර කළ සිද්ධියක්ද ,පොලිසිය විසින් කාන්තාවන්ට පහර දීමේ සිද්ධියක් ද තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.
ඔහු විවේචනයට සහ කරුණු ඉදිරිපත් කිරීමට ඉතා  දක්ෂය.
නිර්භයය.
හිටපු ජනපති ඩැනියෙල් අරප් මෝ ගේ
අභාවයෙන් පසුව ඔහුගේ ඒකාධිපති පාලනය පිළිබඳව හා ඇතැම් අවස්ථාවලදී ඔහු කළ කී දෑ පිළිබඳව ප්‍රශංසා ද ලැබෙමින් තිබූ මොහොතක මුවංගි ඉතා සත්‍යවාදී ලෙස ඩැනියෙල් අරප් මෝව 
 විවේචනය කර තිබුණි.
එමෙන්ම දැනට ද ඔහු ජනපති උහුරු කෙන්යාටා ටද ප්‍රසිද්ධ මාධ්‍යයේ ඍජුව ඇඟිල්ල  දිගු කරමින් විවේචනාත්මකව යම් යම් දෑ පවසයි.
මුවංගිගේ ක්‍රියාවන් නිතරම විවෘත සහ සෘජු ඒවාය. 
රහස් ක්‍රියාවන් ඔහුගේ දිවියේ නොමැති තරම්ය.
 
මුවංගි විසින් unbounded නමින් කෘතියක් රචනා කර ඇති අතර එය ඔහුගේ ජීවිතය වටා ගෙතී ඇත.
මුවංගි තමාගේම යථාර්ථය එම කෘතිය තුළින් තුලින් ඉදිරිපත් කර ඇත.
මිනිසුන් දන්නා විප්ලවකාරී විශිෂ්ට ඡායාරූප ශිල්පියාගේ චරිතය ගොඩ නැංවීමට උපකාරී වූ ඔහුගේ මව සහ මිත්තණිය පිළිබඳවද එහි බොහෝ ලෙස සඳහන්ය.
ඔහු එම කෘතියේ යම් තැනක මෙසේ පවසයි .
 
" පුද්ගලයන් ලෙස ලෝකය වෙනස් කරන්න බෑ. නමුත් පුද්ගල කණ්ඩායමකට එය කිරීමට පුළුවන්"
 
එම කාරණය ඔහු අද වන විට සාක්ෂි සමගම ලොවට පෙන්වා දෙමින් සිටී.
නෙල්සන් මැන්ඩෙලා , මාටින් ලූතර් කිං වැනි චරිත ඔහුගේ පරමාදර්ශයන් ය.
ඔහු නිතරම නිකැළැල් සහ සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින සරල පුද්ගලයෙකි.
ගෙවුනු ඩෙනිම් කලිසමකට තමාට තරමක් විශාල ටී ෂර්ටයක් හැද  කෑගසා
විප්ලව කරනා  මේ අවුරුදු තිස් හතක්   වයසැති මානව හිතවාදී විප්ලව කරුට කෙන්යානුවන් බොහෝ ලෙස ආදරය කරයි.
එමෙන්ම ඔහුව කෙන්යාවේ යහපත වෙනුවෙන් ආරක්ෂා කර දෙන්න යැයි ඔවුන් දෙවියන් ගෙන් ඉල්ලයි.
බොනිෆෙස් මුවංගි ගේ  නිල සමාජ මාධ්‍ය ගිණුම් අතර සැරිසර ඕනෑම   කෙනකුට එවැනි දේ බොහෝ ලෙස දැකගත හැකියි.
 
"එක් ක්‍රියාවකින් මම බියගුල්ලෙකු ලෙස ජීවත් වූ අවුරුදු 24 ට සමු දුන්නෙමි.  
රට පුරා සිදුවන ප්‍රචණ්ඩත්වය සහ ඒ ගැන මිනිසුන් අතර කතාබහ කිරීමට අපි රට පුරා සංචාරය කර රූප පෙන්වූ අතර මෙය ක්‍රියාකාරී මාවත මා ඇරඹූ ගමනක් වන අතර එහිදී මම නිහඩව සිටීමට තීරණය කළෙමි.  .. 
වඩාත්ම බලගතු දෙය නම් එය මාධ්‍ය ජනමාධ්‍ය විසින් තෝරාගෙන රට පුරා, මහාද්වීපය පුරා විස්තාරණය කර තිබීමයි.  මීට වසර ගණනකට පෙර මම තනිවම නැගී සිටි තැන, දැන් මම අයත් වන්නේ බොහෝ මිනිසුන්ගේ ප්‍රජාවකට ය. මා සමඟ නැගී සිටින්න
.මම මේ දේවල් ගැන කතා කිරීමට නැගී සිටින විට මම තවදුරටත් තනි නොවෙමි
.මම අයත් වන්නේ රට ගැන දැඩි උනන්දුවක් දක්වන, වෙනසක් ගෙන ඒමට කැමති බුද්ධිමතුන් සමගයි".
ඔහුගේ ආත්ම විශ්වාසය පිරි වදන් නිතරම පාහේ කෙන්යානු පුරවැසියන්ව දිරිමත් කරනවා.
 
කුඩාකල Softi ලෙස සියල්ලන් හැඳින්වූ  බොනිෆෙස් මුවංගි ඉතා දක්ෂ සහ ප්‍රබල සම්මානනීය ඡායාරූප මාධ්‍ය වේදියකු වූ 
මුවංගි, මේ වන විටත් කෙන්යානු දේශපාලනයට එරෙහි  වෙමින් ඉතා ක්‍රියාකාරී   ලෙස වැඩ කටයුතු කරමින් සිටී.
   පොදු  කෙන්යානු සමාජ අවශ්‍යතාවයක් සඳහා පෙනී සිටින, කෙන්යානු පාලන තන්ත්‍රයට හිසරදයක් වී ඇති මේ   යුක්තිගරුක සොඳුරු ප්‍රකෝපකරුවා නිතරම මෙලෙස පවසයි. එනම් ,
 
" ඔබගේ ජීවිතයේ වඩාත් ප්‍රබල දින දෙකක් ඇත.
 එයින් පළමුවැන්න වන්නේ ඔබ ඔබ මෙලොවට බිහි වූ දිනයයි .
දෙවැන්න වන්නේ ඔබ මෙලොවට බිහි වීමට හේතුව සොයා ගත් දිනයයි"
 
යථාර්ථය නම්
බොහෝ මිනිසුන්ට මගහැරී  ඇත්තේ ද ඔහු පවසන දෙවෙනි  කාරණයයි. 
මිනිසුන් වශයෙන් අප සොයා ගත යුත්තේද එයයි.
ගද ගසන ලාංකික දේශපාලන මඩ ගොහොරුවේ ද බොනිෆෙස් මුවංගි වැනි සියපත් පිපේදැයි සැක සහිතයි. 
ඉතින් ඔබගේ දේශපාලනය කොළ රතු නිල් කුමක් වුවත් තම දේශපාලන මතවාදය සහ ක්‍රියා කලාපය තුළ නිතරම මානව හිතවාදී දෘෂ්ටිකෝණයකින් ක්‍රියා කරන්න. 
එවිට මඩ ගොහොරුවේ සිටියත් මඩ නෑමෙන් තොරව ජීවත්වීමට  ඔබටද මටද හැකිවේවි..
 
මූලාශ්‍ර.:_ www.nairobinews.nation.com / Bonifacemwangi.com / www.bbc.com / KTV news kenya / TED blog.com
                      
Top