සනීපාරක්ෂක නගර සංකල්පය ශ්‍රී ලංකාව තුළ සැබෑ ලෙසම ව්‍යුහගත කළ යුතුයි (598)

post-title

සාම්ප්‍රදායික සමාජය අභිබවා පශ්චාත් නූතනවාදී සමාජයක ගෝලීයකරණයේ ඵල විපාකයන් භුක්ති විදීමට ඔබට මට හැකියාව ලැබී තිබේ. කාර්මිකත්වය, නාගරිකත්වය තුළ ලැගුම්ගත් අප තිරසර සංවර්ධනයක් කරා යන ගමන් මගේ දී සනීපාරක්ෂක නගර සංකල්පය පිළිබදව දැක්මක් සහ නිවැරදිව ක්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් හදුනා ගැනීම අතිශය වැදගත්ය. සනීපාරක්ෂක නගර සංකල්පය පිළිබදව සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින් විග්‍රහ කිරීමට හැකි වේ. විශේෂයෙන්ම පරිධියේ රටවල් සංවර්ධනයක් අපේක්ෂා කරන අතර එය තෙවන ලෝකයේ රටවලට එතරම් ලෙහෙසි පහසු නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධන මාවත කරා ගමන් කිරීමේ දී නාගරිකරණය යන සාධකයේ ශීඝ්‍ර වර්ධනයත් සමග ඉන් විතැන්ව සංවර්ධනය කරා යාමට සංවර්ධනය වෙමින් පවතින රටවල් සූදානම් නැත. ඒ නිසාම කෙටි කාලපරිච්ජේදයක් තුළ වුවද නාගරීකරණය සමග ගැටලු රාශියකට මුහුණ දීමට පුරවැසියන්ට සිදුව තිබේ. දරිද්‍රතාවයේ පතුලට කිදා බසිමින් සිටින අඩු ආදායම් ලබමින් ජිවත්වන ජනතාවට ප්‍රධාන වශයෙන්ම ආර්ථික, සමාජීය, පාරිසරික ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබීම කණගාටුවකට කරුණකි. 

ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් අන්තර් ජාතික වශයෙන් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුවය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය ^ WHO ) ආරම්භ කරමින් පාරිසරික සාධක හා මානව සෞඛ්‍යය අතර අන්තර් සම්බන්ධතාවය හදුන්වා දුනි. මේ අනුව ලොව පුරාම සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික සෞඛ්‍යය ^ Environment Health & වැදගත් ලෙස සලකන ලදී. පාරිසරික යන්න මෙහිදී අදහස් කරන්නේ මානව සෞඛයය තත්ත්වය නැතහොත් ජීවිත ගුණාත්මක බව තීරණය කරන භෞතික, රසායනික, ජෛව විද්‍යාත්මක, සමාජීය හා සමාජ මනෝ විද්‍යාත්මක ආදී අංශයන්හි එකතුවකි.

දිනෙන් දිනම විටෙක අභියෝගයටත් මුහුණ පෑමට සිදුවන නාගරීකරණය නිසා පාරිසරික, සමාජ, භෞතික තත්ත්වයන්ට සිදු කරන බලපෑම සුලු පටු නොවේ. ඒ නිසාම ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සනීපාරක්ෂක නගර සංකල්පය ලොවට ඉදිරිපත් කරන ලදී. 1945 දී මෙහි මූලික කරුණ පිළිබද ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන ලදී. සනිපාරක්ෂක නගර සංකල්පය තුළින් ප්‍රධාන වශයෙන්ම ගම්‍ය කෙරෙන මුඛ්‍යාර්ථය වන්නේ නගරයක වඩාත් හොද සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යොම සදහා අවධානය යොමු කිරීමයි. මෙහිදී නාගරික පරිසරය හිතකර පාරිසරික පද්ධතියක් ලෙස පවත්වා ගෙන යමින් තිරසර සංවර්ධනය කරා යන මාවතට අවතීර්ණ වීමේ හැකියාව තවදුරටත් පූරණය කළ යුතුය.

සෞඛ්‍යය සහ සංවර්ධනය පිළිබදව අන්තර්ජාතික භූගෝල විද්‍යා සංගමය ^ International Geographical Union Commission Of Health and Deve;opment Conference on Health issues In Development 1992 )  මගින් පෙන්වා දෙන පරිදි නගරයක වඩාත් හොද සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යාමට වැඩි අවධානය යොමු කළ යුතු අංශ 06ක් පිළිබදව සැළකිලිමත් විය යුතුය.

භෞතික පරිසරය

රසායනික පරිසරය

ජීව විද්‍යාත්මක පරිසරය

සමාජ පරිසරය

ආර්ථික පරිසරය

මනෝවිද්‍යාත්මක පරිසරය

සමාජයක අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය තුළ මෙම අංශ ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම නාගරික පරිසරයක්, ව්‍යුහයක් සනීපාරක්ෂක නගරයක් ලෙස පරිවර්තනය කිරීමේ දී මෙම අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ. ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටකට මෙය ආදේශ කර ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට සාපේක්ෂව භෞතික පරිසරය යහපත් මට්ටමක පවතිනු නිරීක්ෂණය කළ හැකිද යන්න ගැටලුවකි. භෞතික පරිසරය යහපත් අයුරින් 

පවත්වා ගෙන යාමේ දී නගර සැලසුම් හා නිවාස සැලසුම් රටාව ප්‍රධාන තැනක් ගනු ලබයි. විශේෂයෙන්ම ඉඩම් පරිහරණය තුළ ඉඩම් කළමනාකරණය කරමින් සනීපාරක්ෂක වැඩපිළිවෙළක් පවත්වා ගත යුතුය. නාගරීකරණයත් සමග බිහි වන කර්මාන්තශාලා වලින් පිටවන බැර ලෝහ මෙන්ම අපද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම වළක්වාලිය යුතුය. පානීය ජලය පිරිසිදුව පවත්වා ගැනීමට ගෘහස්ථ මළපහ ජලයට එකතු වීම වැළැක්විය යුතු අතර නාගරික අපද්‍රව්‍යය, අපිරිසිදු ජලය කඩිනමින් බැස යාම සදහා කාණු පද්ධතිය ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාම සිදු කළ යුතුය. එමෙන්ම දැව්තෙල් හා රත් වූ ජලය බැහැර කිරීම ක්‍රමවත්ව උචිත පරිදි සිදු කළ යුතුය.

නගරය තුළ ජීවත්වන්නා වූ ප්‍රජාවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටීම ජීව විද්‍යාත්මක පරිසරයක මූලිකම ලක්ෂණයකි. ප්‍රජාවගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කළ යුතු වීම අනිවාර්ය සාධකයකි. පරිසරය දුෂණය වැළැක්වීම, රෝග වාහකයන් සහ රෝග කාරකයන් හදුනා ගැනීම, හොද මහජන සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ප්‍රජා සෞඛ්‍ය පිළිබදව ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සන්නිවේදන ජාලයක් ගොඩ නැගීම සහ එය ඵලදායීව ක්‍රියාත්මක කිරීම, නාගරික සත්ත්ව ප්‍රජාව ක්‍රමවත්ව පාලනය කිරීම, සමබර තුලිතතාවයකින් යුතු භෞතික පරිසරයක් ගොඩ නැගීම මේ යටතේ ක්‍රියාත්මක කළ හැකිය.

සනීපාරක්ෂක නගර සංකල්පය තුළදී භෞතික පරිසරය මෙන්ම මානව පරිසරය ද ව්‍යුහීය වශයෙන් කේන්ද්‍රගත වේ. මානව ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය සංවර්ධනය කිරීමත්, එය සමබරව පවත්වා ගෙන යාමටත් නගරය තුළ මනා සංවිධානාත්මක ක්‍රමවේදීය පද්ධතියක් සැලසුම් කිරීම යෝග්‍යය. නාගරික ප්‍රජාවගේ සුහදත්වය වර්ධනය කරමින් ජනවාර්ගික අර්බුද වලට නොයා සාමය, සමගිය වැනි මානුෂීය ගුණාංගයන් වැඩි වර්ධනය කිරීම අත්‍යවශ්‍යමය. සමාජ දේහයේ යහපත් මුහුණුවර සූචනය කළ හැක්කේ එතුළිනි. දුෂණ, වංචා, අපරාධ, අපචාර, මනුෂ්‍ය ඝාතන වලට තිත තැබිය යුත්තේ මෙනිසාය. නාගරික ජන පීඩනය අවම කරමින් සහ මානව සංකූලතාවයන් අවම කරමින් ප්‍රජා සෞඛ්‍යය බල ගැන්වීම සිදු කළ යුත්තකි.

රටක් දිළිදුභාවයට පත් වීම සදහා ආර්ථික, දේශපාලන, සමාජීය, භූගෝලීය ආදී සාධක විවිධාකාරයෙන් බලපානු ලබයි. විවෘත ආර්ථිකය තුළ බොහෝ රටවල් සිය නිෂ්පාදන නිර්යාතකරණය කරනු ලබයි. ඒ නිසා නාගරික ජනතාව කුසගින්නේ සිටීම වැඩි ප්‍රවණාතාවයක් වේ. එමෙන්ම ඌන රැකියා නියුක්තිය හා රැකියා වියුක්තිය මගින් දිළිදුකම ශීඝ්‍රයෙන් වර්ධනය වේ. මේ නිසාම අයහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය වීමට මාර්ගය විවර වේ. නමුත් සනීපාරක්ෂක නගර සංකල්පය තුළ එසේ නොවිය යුතුය. ඒ නිසා මෙම සියලු අංශයන් පිළිබදව රටක් වශයෙන් අවධානය යොමු කරන්නේ නම් තිරසර සංවර්ධන අරමුණු පහසුවෙන්ම සාක්ෂාත් කර ගත හැකිය.

Top