ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලියේ ආරම්භය හා විකාශය (596)

post-title

ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එය සිදුකළ යුත්තේ සැබවින්ම ආසියානු ප්‍රජා ගුවන්විදුලි සන්දර්භය මත සිටය. ආසියානු ප්‍රජා ගුවන්විදුලියක් ක්‍රියාත්මක වන්නේ ප්‍රධානවම සංවර්ධනය අරමුණු කොටගෙන ය. ගුවන්විදුලිය පිළිබඳ විමසා බැලීමේදී ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය බිහිවන්නේ ශ්‍රී ලංකාවේ බව අප දනිමු. ඒ බ්‍රිතාන්‍ය අභාසය මත බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ය. එබැවින් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලියේ මාධ්‍යවේදීන් පුහුණු කරවීම සිදුකර ඇත්තේද බි. බි. සි. ආයතනය මඟිනි. එමනිසාම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ බ්‍රිතාන්‍ය අභාසය අන්තර්ගතව තිබීම දැකිය හැකි ය.

ලෝකයේ ගුවන්විදුලි සන්නිවේදනය ආරම්භ වී කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේද ගුවන්විදුලි විකාශය ආරම්භ විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවියට අනුව ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි විකාශනාගාරය වූ ‘කොළඹ ගුවන්විදුලිය’ 1925 දෙසැම්බර් 16 වැනි දින දියත් කෙරිණි. ඉන් පසු දිවයින පුරා විකාශනයක් ලෙස පුළුල් විය. 1949 දී එයට ‘ලංකා ගුවන්විදුලිය’ නැතිනම් ‘රේඩියෝ සිලෝන්’ යන විකාශන නාමය හිමි වූ අතර මෙය වෙනම රජයේ දෙපාර්තුමේන්තුවක් වශයෙන් සංවිධානය වීම සිදුවිය. පසුව 1967 දී මෙම විකාශන දෙපාර්තුමේන්තුව 1966 අංක 37 දරන ලංකා ගුවන්විදුලි සංස්ථා පනත මඟින් රාජ්‍ය සංස්ථාවක් බවට පත්විය. 1972 දී ලංකා යන්න ‘ශ්‍රී ලංකා ජනරජය’ බවට පත් වීමත් සමඟ, ලංකා ගුවන්විදුලි සංස්ථාව ද සිය නාමය ‘ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) බවට වෙනස් කිරීමත් සිදු විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ජාතික ගුවන්විදුලි විකාශනයන් 7ක්, ප්‍රාදේශීය ගුවන්විදුලි විකාශනයන් 6ක්, ප්‍රජා ගුවන්විදුලි විකාශනයන් 4ක් පවත්වාගෙන යනු ලබයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාගත ගුවන්විදුලි සේවා බහුතරයකට වඩා කැපීපෙනෙන වෙනස්කම් සහිතව, සමස්ත ජනගහණය තුල නිශ්චිත “ප්‍රජා කණ්ඩායම්” ලෙස හඳුනාගත් උපකුලක නැතහොත් වඩා කුඩා ග්‍රාහක කණ්ඩායම්වල සුවිශේෂී අවශ්‍යතා සපුරාලීමට උපකාරී වීම අරමුණු කරගත් “ප්‍රජා ගුවන්විදුලි” ව්‍යාපෘති ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාල වකවානු තුළ ක්‍රියාත්මක වී තිබුණි.

1977 න් පසු ශ්‍රී ලංකාවේ ඇතිවූ සමාජ, ආර්ථික වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස මෙරට විද්‍යුත් ඒකාධිකාරිය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ගුවන්විදුලි විකාශන කටයුතු විමධ්‍යගත කිරීමටත් ඒ මඟින් ප්‍රාදේශීය සහභාගිත්වය ගුවන්විදුලි මාධ්‍ය සඳහා ලබාගැනීමටත් සලකා බලනු ලැබී ය. ඒ අනුව මහජන සේවා ආරම්භ කිරීමේ අරමුණ ඇතුව මුල්වරට ‘රජරට සේවය’ 1979 දී ආරම්භ කිරීම සිදුවිය. මින්පසුව 1980 දී ‘රුහුණු සේවය’ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවක් වශයෙන් ආරම්භ විය. නමුත් මෙය ගුවන්විදුලි සංස්ථාව යටතේ පැවතීම නිසා සැබෑ ලෙසම මහජන සේවා සංකල්පය යටතට ගැනීමට අපහසුය.

ශ්‍රී ලංකාව තුළ ඒ ඒ වකවානුවලදී ප්‍රජා ගුවන්විදුලි රාශියක් නිර්මාණය වුවද ඒවා පවත්වා ගැනීමේදී එල්ල වූ අභියෝගයන්ට මුහුණ දීමට නොහැකි වූ නිසා ගුවන්විදුලි මධ්‍යස්ථාන වර්තමානය වන විට අක්‍රීය තත්වයට පත්ව ඇත. ආරම්භයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථාන ලෙස මහවැලි ප්‍රජා ගුවන්විදුලිය, ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය, මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය, කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය, පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලිය, ඌව ප්‍රජා ගුවන්විදුලිය, දඹාන ප්‍රජා ගුවන්විදුලිය දැකිවිය හැකි ය.



දකුණු ආසියාවේ මුල්ම ප්‍රජා ගුවන්විදුලිය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ බිහි වූ ප්‍රජා ගුවන්විදුලිය ශ්‍රී ලංකාවේ පළමුවන ප්‍රජා ගුවන් විදුලියයි. ඒ ‘මහවැලි ප්‍රජා ගුවන්විදුලියයි.’ ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම අභ්‍යන්තර මිනිස් සංක්‍රමණය සිදු වූයේ මෙම ව්‍යාපාරයේදී ය. බහුකාර්ය අරමුණුගතව ක්‍රියාත්මක වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා තරුණ පරම්පරාවට ඉඩම් හා වගාබිම් ලබාදීම තුළින් මෙරට කෘෂි කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක් ඇති 

කිරීම, විදුලිබල සම්පාදනය, මිරිදිය ධීවර කර්මාන්තය නඟා සිටුවීම ආදිය එම අරමුණු විය. 

ඒ සඳහා උඩරට සාම්ප්‍රදායික පැරණි ගම්මානවල ජිවත් වූ විශාල ජනතාවක් වියළි කලාපය ආශ්‍රිතව නව ගොවි ජනපදවාසීන් ගේ සංවර්ධන වැඩ පිළිවෙළ සඳහා විවිධ සන්නිවේදන අවශ්‍යතා මතුවිය. මෙම අවශ්‍යතා පූරණය කිරීමේ අරමුණින් ප්‍රථම වතාවට ප්‍රජා ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන ලදී. මහවැලි ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ කිරීමට යුනෙස්කෝ සංවිධානය, ඩෙන්මාර්කයේ වැනිඩා ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ආදී ආයතනයන් ගේ පූර්ණ සහයෝගයෙන් ලැබී තිබේ. මෙරට මහවැලි ප්‍රජාව සංවර්ධනයට දායක කර ගැනීමත්, ඔවුන් පෙළඹවීම සහ සවිබල ගැන්වීම සඳහාත් මහවැලි ප්‍රජාවට ආමන්ත්‍රණය කිරීම සඳහා මතුවුණු සන්නිවේදන අවශ්‍යතාව හේතුවෙන් ඒ සඳහා ප්‍රජාවට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස මහවැලි ප්‍රජා ගුවන්විදුලිය බිහි වීම සිදුවිය. මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවා මහවැලි සංවර්ධන කලාපවල ස්ථානගත කිරීම නිසා මහවැලි ජනතාවට ප්‍රජා ගුවන්විදුලි සේවාවලට ප්‍රවේශ වීම පහසු විය.

ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍යවරයාව සිටි ගාමිණී දිසානායක මහතාගේ උපකාර, ශ්‍රී ලංකා මහවැලි ආර්ථික ඒජන්සියේ අනුග්‍රහය ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා යුනෙස්කෝ ඒකාබද්ධ ව්‍යාපෘතියෙහි ආධාරයෙන් ද ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ විය. 1985 මැයි 31 වන දින මෙම ප්‍රජා ගුවන්විදුලියේ අත්හදාබැලීම් සිදු කර ඇති අතර 1986 අප්‍රේල් 11 වන දින එය නිල වශයෙන් විකාශනය වීම ආරම්භ කර ඇත. මහවැලි සි. කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය දෙහිඅත්තකණ්ඩිය, මැදගම, සිරිපුර, සඳුන්පුර, නුවරගල, වෙහෙරගල, ලිහිණියාගම සහ මාවනාගම යන ප්‍රදේශයන්හි පදිංචි ප්‍රජාව ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක කරනු ලැබී ය. ඉතා කෙටි කාලයක් තුළ ප්‍රජාව හා සමීප වෙමින් අපේක්ෂිත අරමුණු කරා ලඟා වීමට ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලියට හැකි විය. නමුත් පවත්වාගෙන යාමට අවශ්‍ය ස්වාධීන මූල්‍ය පදනමක් නොතිබීම, දේශපාලන බලයට නතුවීම, ගුවන්විදුලි සංස්ථාව යටතේ පාලනය වීම ආදී කරුණු මත අර්බුදයට ලක්ව ඇත.

මහවැලි ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම අරමුණු කොටගෙන මහවැලි කලාපය තුළ ස්ථාපිත කරන ලද තවත් ප්‍රජා ගුවන්විදුලියක් ලෙස මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය දැක්විය හැකි ය. මෙය මහවැලි එච්. කලාපය තුළ එහි ප්‍රජාව ඉලක්ක කොටගෙන 1987 නිශ්චිතව ස්ථානගත කොට ඇත. මෙම ප්‍රජා ගුවන්විදුලියේ විකාශය වූ වැඩසටහන් මහවැලි එච්. කලාපයෙන් පිටත වූ තිරප්පනේ, තලාව, කැකිරාව යන ප්‍රදේශ වලටද ශ්‍රවණය විය. යුනෙස්කෝ සංවිධානය විසින් ලබාදෙන ලද ආධාර නැවතීමත් සමඟ මූල්‍ය අර්බුද මතුවීමත්, දේශපාලන බලපෑම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් පාලනය වීම ආදී හේතු මත මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය බිඳ වැටීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලැබූ දෙවන ස්ථානගත ප්‍රජා ගුවන්විදුලිය ලෙස කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය දැක්විය හැකිය. කොත්මලේ ජලාශය ඉදිකිරීම නිසා ඒ ආශ්‍රිතව ජීවත්වූ බොහෝ ජනපදිකයින්ට නිවාස, වගාබිම්, පොදු පහසුකම් ආදිය අහිමි විය. එම ජනපදිකයන්ගේ ජිවිත නැවත නඟා සිටුවීම උදෙසා එය අරමුණු කොටගෙන කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය ස්ථාපිත කරන ලදී. 1989 පෙබරවාරි 12 වන දින අත්හදා බැලීම් විකාශය සිදු සිදු කරනු ලැබූ අතර 1991 පෙබරවාරි 27 වන දින කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කරන ලදී.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කළ දෙවන විශාලතම ව්‍යාපෘතිය කොත්මලේ සංවර්ධන ව්‍යාපෘතිය වේ. එහිදී කොත්මලේ නව පදිංචි කරුවන් 3000 ක් ඉලක්ක කොටගෙන කොරියානු රජයේ ආධාරද ඇතුව කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය ස්ථාපිත කර ඇත. මේ හරහා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා කොත්මලේ ප්‍රජාව ඍජුවම සහභාගී කර ගැනීමට හැකි වී තිබේ. පැරණි හා නූතන තොරතුරු සන්නිවේදන තාක්ෂණ එකිනෙක අන්තර්ග්‍රහණය කරගනිමින් සංවර්ධන ක්‍රියාදාමයට විශාල දායකත්වයක් සැපයීමට කොත්මලේ ප්‍රජා ගුවන්විදුලියට හැකිවී තිබේ. නමුත් කොත්මලේ ගුවන්විදුලියද වර්තමානයේ අක්‍රීය තත්ත්වයට පත්ව ඇත. ප්‍රජා ගුවන්විදුලි සංකල්පයට පුළුල් අරුතක් ලබාදෙමින් යහපත් මාධ්‍යකරණයක් වෙනුවෙන් එම ප්‍රජා ගුවන්විදුලි සේවාව පසුකාලයේ ජනමාධ්‍ය පුහුණු පාසලක් බවට පත්කර තිබේ. 

1998 අප්‍රේල් 4 වන දින මහවැලි සි. කලාපයේ ප්‍රජාව ඉලක්ක කරගනිමින් එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ අනුග්‍රහය ඇතුව පොළොන්නරුවේ අරලගංවිල මහවැලි පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලක පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ කර ඇත. කෘෂි සංවර්ධනයට දිරි දෙමින් ප්‍රදේශය තුල ක්‍රියාත්මකවන සංවර්ධන ක්‍රියාවලි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, තරුණ පරපුර සතු නිර්මන්ත්මක හැකිය එලි දැක්වීමට අවස්ථාවක් සලසා දීම අරමුණු කොටගෙන පුලතිසිරාවය ගුවන්විදුලිය ක්‍රියාත්මක කොට තිබේ. මෙම ප්‍රජා ගුවන්විදුලිය ඔස්සේ කාලයක් පුරාවට ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබුණි. නමුත් 2001 වර්ෂයේ සිට උද්ගත් වූ ගැටලු ඔස්සේ විකාශන කටයුතු තවදුරටත් මෙහෙයවනු ලැබුවද 2003 වර්ෂයේ අග භාගය වනවිට පූර්ණ වශයෙන් එහි විකාශන කටයුතු අඩාල විය. ක්‍රමවත් මූල්‍ය ශක්තියක් නොමැතිවීම, ජනතාවගෙන් ඈත්ව ස්ථානගතකොට තිබීම, ගුවන්විදුලි සංස්ථාව සිය නඩත්තු වගකීම් පැහැර හැරීම වැනි හේතු එයට බලපා තිබේ.

Sources: ප්‍රදීපා වීරසිංහ (2012) ප්‍රජා ගුවන්විදුලිය කෘතිය, කොල්වින් ජයවීර (2013) ප්‍රජා ගුවන්විදුලි සන්නිවේදනය කෘතිය 

Top