මිනිසාව පාලනය කරන සංස්කෘතික හෙජමොනිය (516)

post-title

ගෝලීයකරණය වූ සමාජය තුළ ජීවත් වන අප සියල්ලෝම කවර ආකාරයකින් හෝ සංස්කෘතික හෙජමොනියෙහි කොටස්කරුවන් ය. එය විටෙක මිනිසාට යහපතක් මෙන්ම විටෙක අයහපතක් ද ගෙනදිය හැකිය. හෙජමොනිය යන්න පිළිබඳව, ඇතැම් විටෙක ශ්‍රී ලංකාව තුළ ද විවිධ වූ කථිකාවන්හිදී පවා අවධානය යොමුවන්නා වූ විෂය ක්ෂේත්‍රයකි. මෙකී හෙජමොනිය යනු, ග්‍රීක “ හෙජිස්ටායිට ” නැමැති වචනයෙන් නිපන් වචනයක් වන අතර එහි අර්ථය වනුයේ නායකත්වය යන්නය. හෙජමොනිය යන්න සරලව ගත් කළ එය බලයේ එක්තරා ආකාරයකි. එසේත් නොමැතිනම් විඥානික කාරණාවල එක්තරා ක්‍රියාවලියකි. කෙසේ නමුත් මෙම හෙජමොනිය නැමැති සංකල්පය ඉතාලියානු ජාතික ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි විසින් ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන ලද්දකි.

සංස්කෘතික කාරණාව තුළ ගොඩනැගෙන්නා වූ දේශපාලනික කාරණා හෙජමොනිය නම් වේ ” 

- ග්‍රාම්ස්චි 

මෙම හෙජමොනිය පිළිබඳව යථාර්ථවාදී ප්‍රවේශයන්ට, සංවර්ධනීය ප්‍රවේශයන්ට, මාක්ස්වාදී ප්‍රවේශයන්ට මෙන්ම ලිබරල්වාදී ප්‍රවේශයන්ට ද කේන්ද්‍රගතව සාකච්ඡාවට බඳුන් කිරීමට අපට හැකිවනු ඇත. මාක්ස්වාදය හරහා ග්‍රාම්ස්චි විසින් හෙජමොනිය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරනු ලැබූයේ පීඩාකාරී පාලන තන්ත්‍රයන් බලයේ රැඳී සිටිනුයේ, කැමැත්ත සහ බලහත්කාරය යන මෙවලම් භාවිත කර ගනිමින් ඇති කර ගත් එකඟතාවයන්ට වඩා මිනිසාගේ එදිනෙදා ජීවිතයේ හැසිරීම්වල අදාළ භාවිතයන් තුළින් වන බවයි. 

පුරාණ ග්‍රීකයන් විසින් හෙජමොනිය යන්න භාවිත කරනු ලැබ ඇත්තේ එක් නගර රාජ්‍යයක මිලිටරි ආධිපත්‍යය තවත් නගරයක් විසින් විස්තර කිරීමටය. නමුත් ග්‍රාම්ස්චි විසින් හෙජමොනිය යන්න විස්තර කරනු ලැබූයේ මිලිටරිය සඳහා පමණක් නොව සංස්කෘතිකමය ජනතාවගේ හදවත් සහ මනස ජය ගැනීම උදෙසාය. ඒ අවිආයුධ භාවිත නොකර වක්‍ර ආකාරයකින් බලය මෙහෙයවීමේ ක්‍රියාවලියක් මඟින් ය. මෙසේ පාලක පන්තියේ මතයට අවනත වීම යනුම බලය ව්‍යාප්ත වීමකි. ග්‍රාම්ස්චි විසින් 1929 සහ 1935 කාල පරාසය තුළදී රචනා කරන ලද — The Interlectuals ˜නැමැති ලේඛනය මඟින්, අදහස්වල පවතින බලය එසේත් නොමැතිනම් සංස්කෘතියේ පවතින බලය විශාල වශයෙන් විග්‍රහ කොට ඇත. පැරණි මාක්ස්වාදීන් නිෂ්පාදන මාදිලිය සහ පරිපාලනය සියතට ගැනීම තුළින් බලය අත්පත් කර ගැනීමට හැකිවේයැයි සිතුවද ග්‍රාම්ස්චි ඉන් ඔබ්බට බලය පිළිබඳ සංකල්පය රැගෙන යනු ලැබීය. මෙහිදී ග්‍රාම්ස්චිගේ අදහස වූයේ සැබැවින්ම බලය ලබාගැනීම සඳහා අදහස් පාලනය කිරීමේ යාන්ත්‍රණය ද සියතට ගත යුතු බවයි. එනයින් ඒ සඳහා මිනිසුන්ගේ විඥානය ආමන්ත්‍රණය කළ යුතු බව ඔහු වටහා ගැනිණි. මේ අනුව ග්‍රාම්ස්චිගේ අදහස වනුයේ මිනිසුන්ගේ විඥානය ආමන්ත්‍රණය කිරීමේ වඩාත් හොඳම ක්‍රමය වනුයේ සංස්කෘතිය බවයි.

මෙසේ සංස්කෘතිය මූලික කර ගනිමින් ඒ ඔස්සේ සිදුවන සංස්කෘතික හෙජමොනිය යන්න පාලක පන්තියක් විසින් සංස්කෘතික වශයෙන් විවිධත්වයක් ඇති සමාජයක සංස්කෘතික අධිපතීත්වය හිමිකර ගැනීම යැයි සරලව අර්ථකතනය කළ හැකිය. මෙහිදී මිනිසුන්ගේ විශ්වාසයන්, සංජානනයන්, වටිනාකම්, අදහස් යනාදී වූ සියල්ලක්ම පාහේ පාලක පන්තියේ අවශ්‍යතාවයන්ට අනුව පාලනය වීම සිදුවේ. එනම් පාලක පන්තියේ ලෝක දෘෂ්ටිය නිල සංස්කෘතික ප්‍රතිමානය බවට පත් කරනු ලබයි. නිදර්ශනයක් වශයෙන් රටක සංවර්ධනය යනු මේ යැයි පාලක පන්තිය විසින් සමාජගත කෙරෙන අදහසක් පැවතිය හැකිය. එහිදී වී ගොවිතැන යහපත් නොවන අතර ඒ වෙනුවට වාණිජ කෘෂිකර්මාන්තය වර්ධනය කළ යුතුය යනු එවැනි පාලක පන්තිය සතුව දෘෂ්ටියක් පැවතිය හැකිය. එහෙත් එම දෘෂ්ටිය කෙතරම්දුරට සමාජගත කිරීමට හැකිවේද යන තත්ත්වය මත පාලකයන්ගේ පැවැත්ම ද තීරණය වේ. නමුත් මේ අයුරින් පාලකයන් විසින් සංස්කෘතිය කෙරෙහි නව අදහසක් ස්ථාපිත කිරීම සිදුකිරීමේදී මෙතෙක් සංස්කෘතිය තුළ මුල්බැසගත් අදහස් සමඟ නිසර්ගයෙන්ම ගැටුමක් ඇතිවීම සිදුවේ. එම ගැටුමේ අවසානය තීරණය වන්නේ අදහස්වල ප්‍රබලත්වය මත වන අතර පැරණි අදහස ප්‍රබල නම් එය තවදුරටත් පවතින අතර, එසේ නොමැතිව නව අදහස ප්‍රබල නම් එය ද තවදුරටත් ඉදිරියට පවතිනු ඇත. 

එමෙන්ම අප හරි, වැරදි නිර්ණය කරනු ලබනුයේ ද සංස්කෘතියක් ඔස්සේය. ලස්සන දේ, අවලස්සන දේ වෙන් කරනුයේ ද සංස්කෘතිය ඔස්සේය. තමන්ට කළ හැක්කේ කුමක්ද, කළ නොහැක්කේ කුමක්ද යන්න පවා අර්ථ දක්වනුයේ ද සංස්කෘතිය තුළින් ය. නිදර්ශනයක් වශයෙන් අප කිරි පැකට්ටුවක් පානය කිරීමට යනවිට එය පානය කිරීම සඳහා බටයක් ද පැකට්ටුවටම සවිකොට ඇත. එහිදී අපට අවශ්‍ය ආකාරයට එය පානය කිරීමට නොහැකි වන අතර එය අපට පානය කිරීමට සිදුවනුයේ භාණ්ඩයට අවශ්‍ය ආකාරයටය. මේ තුළින්ම අපට මිනිසාව කෙතරම් සංස්කෘතිකව හෙජමොනියකට කොටුකර ඇත්දැයි මනාව පැහැදිලි වනු ඇත. ඒ අනුව පැහැදිලි වනුයේ මිනිසාගේ මුලු ජීවිතයම පවා ඇතැම්විට සංස්කෘතික හෙජමොනියකට යටත්ව පවතින බවයි. නමුත් මෙයට අනුගත වූ ජනතාවට නම් එයින් ගැලවීමක් නම් කිසිදා දක්නට නොලැබේ. කෙසේවෙතත් මෙම සංස්කෘතික බලය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වනුයේ නොපෙනෙන ආකාරයකින් බව නම් විචක්ෂණශීලීව බලන කල්හි කොයිකාහටත් පැහැදිලි වන සත්‍යයකි.

එසේ නමුත් හමුදාවක් විසින් ලබාගන්නා බලය කෙටි කාලීන බව ද ග්‍රාම්ස්චි විසින් පෙන්වා දෙන ලදී. මේ අයුරින් බලන කල තුවක්කුවකින් හෝ දේශපාලන ක්‍රමයක් මඟින් හෝ ව්‍යවස්ථාවෙන් පමණක් ස්ථාවර සමාජ ක්‍රමයක් ගොඩනැඟීමට නොහැකිය. ඒ අනුව පැහැදිලි වනුයේ ස්ථාවර සමාජ ක්‍රමයක් ගොඩනැඟීමට නම් ඉතා වැඩි නැඹුරුතාවයක් සංස්කෘතිය කෙරෙහි ලබාදිය යුතුම වන බවයි. 

Top