කිසිදා වියපත් නොවන අපරිමිත ප්‍රේමයේ බැඳීම් (304)

post-title

ඔබේ සිනා ළග නෙත නැවතුන දා 

ඔබේ කතා ළග සිත නැවතුන දා 

ප්‍රේමය හැඳින්නෙමි..

මෙතකැයි වචනයෙන් කියා අවසන් කළ නොහැකි, ක්‍රියාවෙන් කර පෙන්වා නිමක් කළ නොහැකි මොනතරම් දේවල් අපේ ජීවිතවල තිබෙනව ද? එවැනි එක් වටිනා දෙයක් වන්නේ ‘බැඳීම්’ ය. මා මෙහිදී අර්ථ ගන්වන්නේ සාමාන්‍ය බැඳීමක් නම් නොවේ. සංසාරගත බැඳීම්.. හරියට අපේ දෙමාපියන් වගේම වටින ආදරණිය බැඳීම්.. ඒ ආදරේ වගේම වචනයෙන් කියා නිම කළ නොහැකි බැඳීම් ගැනයි මම ඔබට කියන්නේ. එවැනි ප්‍රේමනීය බැඳීමක් ඔබ සතුයි නම් ඇත්තටම ඔබ වාසනාවන්තයි. 

මා නෙත මුලින්ම නැවතුනේ ඔහුගේ සිනාව ළගයි. ඒ අහම්බෙන් වාගේ ය. ඔහුගේ කතාව මගේ සිත සැනසුවේ ය. සුවපත් කළේය. ඉඳින් මම ප්‍රේමය හඳුනා ගත්තෙමි. සොඳුරු අතීතයක නිර්මල පැතුමක් ලෙස ඔබ මගේ හද තුළ නිසැකවම ජීවත් වෙන්න ඇති. ඔබ හා මා යළිත් සෙනෙහසින් හමුවන්න ඇත්තේ ඒ නිසාමයි.

සොඳුරු අතීතයේ නිමල පැතුමවී 

මගේ හද තුළ ඔබ ඉන්න ඇතී 

ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි 

ආදරයෙන් හමු වෙන්න ඇතී...

ජීවිතේ එකින් එක පැමිණෙන හැල හැප්පීම්, බාධක, අභියෝග, බිඳ වැටීම්, පරාජය වීම් අපහසුවෙන් පසුකරමින් සිටින දුෂ්කර වකවානුවකදී මුණගැහෙන එක් ආදරණීය මිනිසෙක්ට අපේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් කළ හැකි ද? මම එසේ නොසිතුවෙමි. ඒ ඔබ හමුවන තෙක් පමණි. එවැනි පුද්ගලයින් අපි අතරම සිටින බව මම දැන සිටියේ නැහැ. අපහසුවෙන් ගත කරන දුෂ්කර වකවානුවලදීත් වසන්තයක් අරන් එන්න පුළුවන් මිනිසුන් අපි අතර ඉන්නවා. නමුත් හොයාගන්න ටිකක් අමාරුයි. ඔබ මට හමු වූයේ එවන් මොහොතකයි. මට ඔබව මෙතරම් වටින්නෙත් ඒ නිසාමයි.

ජීවන මංපෙත මලින් සැදී ගිය

යුගයක නොව ඔබ හමු වූයේ 

කටු කොහොලින් පිරි කලල් දියේ මා 

තනිව මියෙද්දිය හමු වූයේ..

 

අවැසිම මොහොතක, නොසිතුව ලෙස ඔබේ ජීවිතයට සෙමින් සෙමින් ඇතුලු ව, මුළු හිතම වෙළාගන්නා ආදරණීය බැඳීමට නිර්වචනයක් දෙන්න මට අසීරුයි. ඇත්තටම කොහොමද අපි ඒ තරම් ශක්තිමත් බැඳීමක දිග පළල මෙතැකැයි පවසන්නේ. ප්‍රේමය ලොව හැමතැනම තියෙනවා. නමුත් කිසිවෙක් ප්‍රේමය කියන්නේ කුමක්ද කියලා හරියට හඳුන්වන්න දන්නේ නැහැ. මටත් එය හඳුන්වන්න අසීරුයි.

එවැනි සංක්‍රාන්ති යුගයක හමුවන බැඳීම් හරිම ගැඹුරුයි. නිසලයි. කිසිමකෙනෙක්ට පහසුවෙන් පේන්නේ නැහැ. නමුත් එය අපේ හදවතටම හොඳටම දැනෙනවා. එවැනි ප්‍රේමයක් ඕනෙම අවස්ථාවකදී තනියෙන් නැඟිටින්න දරන් ඉන්න අපිට කියලා දෙනවා. ටිකෙන් ටික අපිටත් නොදැනි අපිව ආපහු ශක්තිමත්ව නිර්මාණය කරනවා. ආපහු බිඳෙන්නේ නැති තරමට. ලෝකයත් එක්ක නොවැටී නොරැවටී ඉදිරියට යන්න මඟ පෙන්වනවා. කිසිම විටෙක තනි කරන්නේ නැහැ. ශක්තිමත් හිතින් අපිව දරන් ඉන්නවා. ඔහු විසල් රුක්ෂයක් වගෙයි. එහි මුල් පුරාම පැතිරී ඇත්තේ ඔහුගේ ප්‍රේමය යි.

සුවිසල් රුක්ගොමු දෙරණත රඳවන 

ප්‍රේමයේ මුල් පස යට සැඟවෙයි

නන් ඵල මල් දලු පුබුදන මුත් ගස 

මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි 

ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි..

එවැනි අයෙකු ඔබේ සතුටේ දී ඔබ සමඟම සිනාසේවී. ඔබේ කඳුළ ඔහුගේ ජීවිතයේ දකින වේදනාකාරීම දේ වන බව නම් නිසැකයි. මුළු ලෝකයම ඔබට එරෙහි වී අත ඔසවද්දී ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටීවී. කිසිවිටෙක ඔබ තනි නොකරාවී. සංසාරය පුරාවටම ඔබේ දෑත දරාගෙන පැමිණෙන්නට ඇති.. භවය පුරාවටම ඔබ ළගින්ම ඉන්න ඇති.. ඉතින් එදා වගේම අදත් මගේ සිත එක ලෙසින් පිරිසිදුව කැපවී ඔහු නමට පුද නොදී කොහොමද?

කදුළු සුසුම් මැද 

සතුටු සිනා මැද 

භවය පුරා ළග ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී 

ඔබේ නමට පුද දෙන්න ඇතී..

එවන් ප්‍රේමයක් දිනෙන් දින අලුත් වෙනවා. එවැනි අයෙකුගේ ආදරයට සමකරන්න කොහොමවත් උපමා රූපක අවශ්‍ය නැහැ. හොයාගන්නත් නැහැ. ඉතිහාසයේ ප්‍රේම කතා කොතෙකුත් ඇති. නමුත් ඒ කිසිවකින් ඔහුගේ ආදරයට සමකරන්න මට නොහැකියි.

කුමට ද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින් ගෙන් 

කුමට ද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන් 

නිමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා 

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා

ඔබ කෙමෙන් කෙමෙන් වියපත් වෙවී. නමුත් ප්‍රේමය කිසිවිටෙක වියපත් නොවෙවී. ඔහු ඔබට ශක්තියක් වූවා සේම ඔබද ඔහුට ශක්තියක් විය යුතුයි. එක ලෙස නොවෙනස්ව පැමිණි ප්‍රේමයක් සංසාරයෙන් සමුගත යුත්තේත් එකටම නොවේද? ඉතින් ඒ ගමනත් ඔහු සමඟ එකටම යා යුතුයි. එතෙක් මා කිසිඳු භවයක ඔහු තනි නොකාරවී. සෙවණැල්ල මෙන් ඔහු පසුපස ගමන් කරාවී...

සැරයටියෙන් අපි යනෙන තුරා 

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නා දා 

ඒ ගමනත් අපි එකට යමූ..



Top