මානව දයාවෙන් පිරිපුන් සමාජයක් තැනීමෙහි ලා සාහිත්‍යකරුවාගේ මෙහෙවර (709)

post-title

ජීවිතය ගෙත්තමක් වේවි. 

නේක පිරිපත උසුලන 

සාහිත්‍ය කරුවා එයගෙත්තම් කරාවි 

හදවතේ ගැඹුරු ම තැන් පිරිමැද 

ඉතින්, අපිට ලැබුණු මහා වාසනාවන්ත වරම ජීවිතය,

රිදුම්, වේදනා, සුසුම්, ළතැවුල්, කදුළ, සතුට, සැනසීම, සොම්නස මාරුවෙන් මාරුවට අපේ ජීවිත මැද අපූරු ගමනක. ලැබූ දා පටන් මිහිපිට ජීවත්වන්නට වරමක් විවිධාකාර සුයාමයන් මැද ගලන මේ අරුම පුදුම අකුරු හතරට අපූර්ව, වින්දනීය සුන්දරත්වයක් රැගෙන අපේ ජීවිත ස්පර්ශ කරන ඒ මහාර්ඝ වස්තුව සාහිත්‍ය.

ඔව්, එදත්, අදත්, හෙටත් ශිෂ්ටාචාරය බොහොම අපූරුවට ගලා යාවි. මේ ගලායාම ඇතුළේ මිනිසා ආර්ථික අභිවෘද්ධිය උදෙසා යාන්ත්‍රීකරණය වීම සරල සාමාන්‍ය සිද්ධියක් බවට පත්වේවි. එතැනදී මේ උදාවන නිමේෂය හරිම භයානක නිමේෂයක්. ඒ අපිට අපිව ම අතහැරෙන, මගහැරෙන, වැරදෙන, විදවන්නට සිදුවන, තැන. මනුෂ්‍යත්වය නිරුදක කතරක මං මුලා වෙලා දිය පොදක් නැති සා පිපාසාවෙන් පණාදින තැන.

මෙවන් සන්දර්භයක් අභිමුව සාහිත්‍යකරුවාගේ අනුපමේය මෙහෙවර සිහිකරනු වස් මේ කතිකාවත මෙලෙස ගොඩනැගිය යුතුමයි. තමන් ප්‍රමුඛ සමාජ සන්දර්භයට සංවේදී වනු රිසින්, සැඟවී සුසුම් හෙළන මනුෂ්‍යත්වය පණ ගන්වනු රිසින් සාහිත්‍යකරුවා නියැලෙන්න වූ සමාජ මෙහෙවර අපූර්වයක් මැයි. සිද්ධාන්ත වලින් කොටු වුණු රාමුගත සංස්කෘතියකින් මිදීඅපටත් දැනී-නොදැනී සාහිත්‍යකරුවා ජීවිතයේ සියුම් තැන් සියුම්ව ගෙත්තම් කරන අයුරු අපූර්වත්වයක් මැයි. එදා මෙදා තුර සුපහන් සමාජ වටපිටාවක් නිර්මිත කිරීමෙහිලා සාහිත්‍යයෙහි මෙහෙවර කියා නිම කළ නොහැක්කකි.

ඉතින් මේ අපි හදුනාගන්නේ මනුෂ්‍යත්වයට මානව භක්තියෙන් පණ පෙවූ අපේ ඒ සොඳුරු කලාකරුවන්ගේ වචන හරඹයයි. මුලින්ම දුෂ්කර මාරුවක් ලැබ ආදායම් පාලක නිලධාරි තනතුරක් සමගින්අසරණ ගැමියන්ගේ ගැමි ජීවන ප්‍රවෘත්තිය ගෙත්තම් කරන්නා වූ විමලරත්න කුමාරගමයන්ගේ නිර්මාණයක් දෙසට යොමු වෙමු .

"අලියා වැටුණු වැව සිටි හේරත් හාමි

මා වැනියෙකු වුවද මම වැදගත් වීමි

මිනී කපන මුත් ඒ හේරත් හාමි

ඔහු මට වඩා විසිතිස් ගුණයෙන්දෑමි"

ජීවිතය මෙලෙසින් ගලා ගලාගෙන යාවි. දිනෙක අපි මිය යාවි. මරණ මංචකයේ අවසාන ප්‍රතිරූපය අපේ හදවතේ ප්‍රතිබිම්භනය කරන්නට හේරත්හාමි වැනි ඔවුන්ගෙන් ඉටු වන්නා වූ මෙහෙවර අප්‍රතිහත මෙහෙවරක් මැයි. මිනී කපන ඒ අහිංසක දෑත් වැසුනු සමාජ කඩතුරාවක ශෝකී කතන්දරය අපේ මනසේ සිත්තම් කරයි .අපි අතරේම උපන්, අපිත් සමගම හුස්ම ගන්නා අහිංසක අසරණ ජීවිත කලාකරුවා සිත්තම් කරන්නේ මානව භක්තියෙන් පරිපූර්ණ වෙමිනි. හේරත් හාමි යන මෙයින් සමාජයේ සැඟවුණු කඩතුරාවෙන් ඔබ්බට ගෙන විත් කලාකරුවා මෙවන් අපූර්ව ප්‍රතිරූපයක් නිර්මාණය කරන විට එකම ඇසිල්ලකින් එම චරිත ජීවමාන කරන විට පාඨකයා වශයෙන් අපටත් මෙම සන්දර්භයට සංවේදී වීමේ හැකියාව පවතී . සාහිත්‍යයෙන් අභිමත කරන්නාවූ සමාජ මෙහෙවර ද එතැනදී උපත ලබනු නිසැකයි. සාහිත්‍යකරුවා සමාජයේ අඳුරු සෙවණැලි වැසුනු පැතිකඩ මෙලෙස අප අබිමුවට ගෙන ඒවි. සමාජයේ මේයැයි පෙන්නුම් කරාවි. නමුත් ඒ සමාජය උඩුගම් බලා ගෙන යාමේ සොදුරු මෙහෙවරක සාඩම්බර හිමිකරුවන් වීමට පාඨකයන් උත්සුක විය යුතුවේ. හිතන්න උදාහරණයක් ලෙස ඔබ ගුරුවරයෙක් නම් ඔබට පුළුවන් මළ මිනී කපන අර අසරණ පියාගේ අහිංසක දරුවාට සමාජයේ ඉහළ තලයකට යන්නට මග පෙන්වන්නට. වෘත්තියෙන් මිනිසා මැනිය නොහැකි බවත් මනුසත් දම් උතුම් බවත් ඔබේ සෙවණේ අකුරු කරන දරුවන්ට උගන්වන්නට. එයින් මනරම් වූ සමාජය දැක ආත්ම තෘප්තියක් ලබන්නට.

ඔබ රාජ්‍ය පරිපාලකයෙක් වුනොත් මේ කාර්‍යයභාරය තවත් පුළුල් විදියට කරන්නට ඔබට මහඟු අවස්ථාවක් ලැබේවි. සමාජ සන්දර්භය ඇතුලේහිරවුණු, ගුලි වුණු,අසාධාරණයට ලක්වුණුඅහිංසක ජීවිත කරළියට ගෙනැවිත්දේශපාලඥයන් හරහාඔවුන් වෙනුවෙන් යම් ප්‍රතිපත්ති ප්‍රමාණයක් නිර්මාණය කරගෙන මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නටඔබට හැකියාව ලැබුණොත්ඒ අහිංසක ජීවිත කොයිතරම් පාට වැටේවිද.

දවසක් මම කියවපු පෝස්ටුවක තිබුන හරි අපූරු කතාවක්. පිටකොටුවේ මැනින් වෙළදපොලේ එළවළු විකුණන අසරණ අම්මලාගේ පටන් සමාජයේ සෑම ස්ථරයකම පිරිස් අපේ අධ්‍යාපනය වෙනුවෙන් නොදුටු තමන්ගේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් බොහොමයක් දායක වෙලා තියෙනවා. හිතන්න කම්කරු දිනයට නිරන්තරයෙන් අපි අහන අපේ කම්කරුවන්ගේ ටී එම් ජයරත්නයන්ගේ හඬින් සුමියුරු වුණු ඒ ගීතය දිහාව.

"පොළොව කොටන තැන

පාර කපන තැන

ගිනියම් අව්වේ මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ

බලන් කඩතුරා හැර දෑසේ"

අපි වෙනුවෙන් දුක් විඳිනමේ අසරණ දෙවිවරුන්ට අපෙන් සාධාරණයක් ඉටු වෙනවා ද? ඇත්තටම නැහැ නේද? භූගෝල විද්‍යා විෂය තුළින් උත්තරවලට විතරක් සීමා වුණු බුද්ධි ගලනය. බුද්ධිමතුන් රටට ආයුබෝවන් කියන ඒ ශෝකාන්තය මේ ශෝකාන්තය වළක්වලා කාලය දේශය මේ සීමා මායිම් ගැන නොහිතා ඉවසීමෙන් දරාගැනීමේ ශක්තියෙන් ඒ අසරණ ජීවිත ඒකාලෝක කරන්නට පුළුවන් නම් සාහිත්‍යකරුවා ඔබට හඬගා කියන මානව භක්තිය සමාජය තුළ ඉතිරි යාවි. විප්ලව ගැන කතා කරන විප්ලව ගැන ඉගෙනගන්න අපි ඇත්තටම අපේ හිතෙන් විප්ලවයක් කරල ද.? ජාති ආගම් කුල විවිධාකාර බෙදුම් රේඛා මැද්දේ මිනිස්සුන්ගෙ සිතුවිලි ඉතාමත් පටු සීමාවක් ඇතුළෙ හිර වෙලා. මේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සූරීන් අතීත සමාජ ප්‍රවෘත්තියක් ගෙනහැර පාමින් සිත්තම් කරන කුල බෙදීමේ දුක්බර ජීවන ප්‍රවෘත්තියයි. සමාජය තවමත් භින්න වූ සමයක මෙයත් කතා කළ යුතුමයි.

"කඩ පිලේඉතාම කුඩා නිදි රෙදි පොට්ටනිය තබන්නට සෑදූ කළ වීරප්පුලි හේනයා එය වළක්වා අසල පීතර ගේ ආප්ප කඩය කෙලවරේ වූ ගලක් මත එය තබන ලෙස ආදර්ශය දෙමින් තම විශාල රෙදි පොට්ටනියගල මත තැබීය."

වැඩිහිටියෝ තමන්ගේ දරුවන්යහමග යවනු රිසි වෙති. ඒ වෙනුවෙන් දරන වෙහෙස ද සුළුපටු නො වුවකි. දරුවන් සමාජය අබිමුව අසරණ වීමඔවුන්ට දුකකි. මේ නිසාඔවුන්ට සිදුවන්නේ කඳුළ සුසුම මැදපන්ති විෂමතාවයේ ශෝකාලාපය මැද තම දරුවන්ට ද එකී පූර්වාදර්ශයන්පුහුණු කරවන්න ටයි. සමාජයට තවමත් නො පිළිපන් රටේ අනාගත භාරකරුවන් අහිංසක දරුවන් කෙරෙහි වැඩිහිටියන්ගේ මෙකී බෙදීම බලපාන කළ සාධාරණත්වයේ දෘෂ්ටිකෝණයෙන් එය කෙතරම් නම් ශෝකී වූවක්ද ? අකම්පිතව ජීවිතේ දරාගන්න ඔවුන්ගේ කතා කතාන්දරය සිත සංවේදී කරවන්නකි.

චින්තන විප්ලවයකට කාලය එළැඹ ඇත්තේය. අපි අතර හුස්ම ගන්නවා අපි අතරේ පණ ගැහෙන සාහිත්‍ය සත්‍යත් කල්පිතයත් අතරේ අනවරත සංවාදයක නියැළෙමින් එකී මහගු මගපෙන්වීම ද කරනු ලබමින් සිටී. එසේ නම් සිදුවිය යුත්තේ කුමක්ද අපගේ ආකල්ප තුළින් නවමු වෙනසකට මුල පිරීමයි. බෙදුම්වාදයේ කඳුලු තොටුපළ තරණය කොට ලෝකය තනි යායක් කිරීමේ දී තීර්ථ යාත්‍රාව මැදින් සමානාත්මතාවයේ හසරැල්ලෙන් දිදුලන සුපහන් සසිරිබර අනාගතයක සාඩම්බර හිමිකරුවන් වීමට සිතට ගත යුත්තේම ය. ඉදින් සහෘදයිනි, මේ ඔබ වෙනුවෙන් සිතන්නට ඉසිඹු ලබා දෙන නිමේෂයයි. අපේ මේ සාහිත්‍යය,

බලා සැනසෙන්නට නොව

අසා රස විඳින්නට නොව

කියවා මෙනෙහි කරන්නට නොව

ජීවන යථාර්ථයේ සැබෑ ස්වරූපය වටහා ගන්නට

උපයෝගී කළ යුතු කාලය සීඝ්‍රයෙන් අප වෙත ළඟා වී ඇත. මානව දයාවෙන් පිරිපුන් සුපහන් සමාජයක් තැනීමේ වගකීම අප වෙත භාරදූර කාර්ය භාරයක් ලෙසින් පැවැරී ඇති නිසාවෙනි.

ඉඳින්ඔබට එලෙස සිතන්නට හැකි උනු සඳ,

මහගමසේකරයන් දුටු,

තනි යායක් වූ ලෝකය අභිමුව සිනහා සලන සාඩම්බර පුරවැසියෙකු වීමේ ගෞරවය ඔබට හිමි වනු ඒකාන්තය.

Top