දරුවන් භාවිත කර සිදුකරන ඔන්ලයින් ලිංගික ජාවාරම් හා ශ්‍රී ලංකාව (505)

post-title

ලිංගික ජාවාරම් යනු ගණිකා වෘත්තියට පමණක් සීමා නොවන යම් ආකාරයක බලහත්කාරයෙන් හෝ බලපෑමකින් ලිංගික සූරාකෑමකට සම්බන්ධ වන සිදුවීම් ය. මෙය විශාල වශයෙන් සෑම ගෝලීය ප්‍රජාවක් තුළ ම සැලකිය යුතු හා වර්ධනය වන ගැටලුවකි. රටක දරිද්‍රතාවය, එම රටේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් පිරිහීම හා උල්ලංඝණය වීම, දුර්වල ප්‍රජා සෞඛ්‍යය, සමාජ සංවර්ධනය අඩාල වීම, ලිංගික අධ්‍යාපනයට තැනක් නොමැති වීම වැනි හේතු සාධක ලිංගික ජාවාරම් වලට මඟ පාදයි. මෙම ලිංගික ජාවාරම් යනු වෛද්‍යමය, නෛතිකමය, දේශපාලනිකමය, අධ්‍යාපනය හා සමාජ වැඩ ආදී ක්ෂේත්‍ර වල විශේෂඥයින්ගේ අධි අවධානයකට ලක් විය යුතු සංවර්ධන, සමාජමය හා සෞඛ්‍යමය ගැටලුවකි. කෙසේ නමුත් ලිංගික ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ කාලයක පටන් කතා බහ වූවත් මෑතකදී සිදුවූ වයස අවුරුදු 15ක දැරියක යොදාගෙන සිදු කරන ලද ලිංගික ජාවාරම් සිදුවීම නිසා නැවතත් එය සමාජයේ ලොකු කතා බහකට හේතු වී ඇත. ලිංගික ජාවාරම් විවිධ ආකාරයකට සිදු වෙන නමුත් කොවිඩ්19 වසංගත තත්ත්වය නිසා එය වෙනස් මානයකට වැඩිපුර යොමුව ඇත. එනම් ඔන්ලයින් ක්‍රම ඔස්සේ සිදු කරන ජාවාරම්ය.

කෙසේ නමුත් නවසීලන්තයේ News Room පුවත් සේවය වාර්තා කරන්නේ මේ වන විට ලොව පුරා කෝවිඩ්19 වසංගතය හේතුවෙන් ලිංගික වෙළඳාම තුනෙන් එකකින් ඉහළ ගොස් තිබෙන බවයි. එහිදී මාධ්‍යවේදිනී නිකී ඩෙන්හෝම්(Kiwi photographer Nikki Denholm) මෙම ඔන්ලයින් ක්‍රම හරහා ලිංගික වෙළඳාම වැඩි වීමට ප්‍රධාන හේතු තුනක් බලපාන බව සඳහන් කරන්නීය. ඩිජිටල් තාක්ෂණයේ සීග්‍ර වර්ධනය නිසා ලිංගික ජාවාරම් වල යෙදෙන පුද්ගලයින්ට හා එයට නතුවන පුද්ගලයින්ට අන්තර්ජාලයට පිවිසීමට ඇති පහසුකම වැඩි වීම, සංචරණ සීමා කිරීම් නිසා සංචාරකයන් සයිබර් අවකාශායේ ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවීමට වැඩිපුර යොමු වීම. වසංගතය නිසා සිදුව ඇති දැවැන්ත ආර්ථික බලපෑම නිසා ආහාර නොමැතිව සිටින ජනගහණය වැඩව ඇත. එම නිසා දිනකට ඩොලර් 20 කට වඩා අඩුවෙන් උපයන පිලිපීනයේ පවුලකට තමන්ගේ දියණියක් ලිංගික වහල්භාවයට විකිණීමෙන් තම ජීවිතය රැක ගැනීමට හැකි වෙනවා නම්, එය සමහර විට පවුලකට ලැබිය හැකි අවසාන අවස්ථාව විය හැකි බව නිකී තව දුරටත් සඳහන් කරයි.

නීති විරෝධී මිනිස් ජාවාරම් පිළිබඳ නෛතිකමය බලාත්මක කිරීමේ කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ රජය බැඳී සිටියි. දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඇ) වගන්තියට අනුව කම්කරු හා ලිංගික කටයුතු සඳහා නීති විරෝධී ලෙස පුද්ගලයින් ප්‍රවාහනය අපරාධයක් වන අතර අවුරුදු 2 සිට 20 දක්වා වූ සිරගත කිරීම් හා දඩ නියම කරනු ලබයි. මේවා දුෂණය වැනි අනෙකුත් බරපතල අපරාධ සම්බන්ධයෙන් පනවා ඇති දඬුවම් හා සමාන වේ. පුද්ගලයෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ගණිකාවන් බවට පත් කිරීම අපරාධයන් බවට කියැවෙන 360 (අ) වගන්තියද රජය ලිංගික මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් නඩු පැවරීමේදී බොහෝ විට යොදා ගනී. දණ්ඩ නීති සංග්‍රහයේ 363(ඉ) කාණ්ඩයේ 1995, නො.22 සංශෝධිත පනතට අනුව ගැහැනු ළමයා අවුරුදු 16ට අඩු නම් කැමැත්ත ඇතුව සිදු කෙරෙන ලිංගික සංසර්ගය ද ස්ත්‍රී දූෂණය යටතට අයත් වේ. ස්ත්‍රී දූෂණය සිදු වූ බව ඔප්පු කිරීමට සංසර්ගය සිදු වූ බවට සාක්ෂි පමණක් ප්‍රමාණවත් ය. අවුරුදු 15 දැරියගේ සිදුවීමෙන් පසු ආසන්න කාල වලදීම තවත් සිදුවීම් කිහිපයක්ම මාධ්‍ය තුළ ප්‍රචාරණය වූ අතර එහි වින්දිතයන් සියල්ලන්ම වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන් විය. ඉන් අවාසනාවන්තම සිදු වීම නම් අවුරුදු 16ක් වයසැති ඉෂාලිනී ගේ සියදිවි හානිකරගැනීමේ සිදුවීමයි. ශ්‍රී ලංකාව එකඟ වී සිටින විශ්ව ළමා ප්‍රඥප්තිය (1990) හා ලංකාවේ පවතින ලංකාවේ ළමා ප්‍රඥප්තීන්ට අනුව ළමයෙකුට සිය පැවැත්මට අවශ්‍ය ඕනෑම අයිතිවාසිකමක් ලබාගැනීම, ආරක්ෂා වීමට, සංවර්ධනය වීමට, සහභාගි වීමට, ආදී වශයෙන් විවිධ වූ අයිතිවාසිකම් ලබා ගැනීමට බැඳී සිටියි. මීට අමතරව විශෙෂයෙන්ම ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම (Optional Protocol to the UNCRC on Sales of Children, Child Prostitution and child Pornography) යන වෛකල්පික ප්‍රකාශනයත් මේ තුළ අඩංගු කර ඇත. මෙම අයිතිවාසිකම් ලබා දීමට හා දරුවන්වගේ ආරක්ෂාව සහතික කිරීමට රටක් වශයෙන් අප බැඳී සිටින්නේ නම් ඔන්ලයින් ක්‍රම හරහා අලෙවි වූ දැරියට හෝ ඉෂාලිනීට මෙවන් ඉරණමක් අත් වන්නෙ නැත.

කොවිඩ්19 වසංගතය තවමත් පැතිරෙමින් පැවතියත් අප සියලු දෙනාම මේ වන විටත් පශ්චාත් කම්පන සහගත වර්ධනයට(Post Traumatic Growth) මුහුණ දෙමින් සිටින්නෙමු. වෙනදා මෙන් සමාජ ආශ්‍රය නොලැබීමත්, ඒකාකාරී ජීවන රටාවත් නිසා වැඩිහිටියන් මෙන්ම දරුවන්ද මානසික පීඩනයෙන් හා ආතතියෙන් පෙළීම වැළැක්වීමට නොහැකිය. බොහෝ පවුල් වලට ආර්ථික අපහසුතා වලටද මුහුණ වීමට සිදුව ඇති නිසා මේ තත්තවය වඩාත් උග්‍ර වී ඇත. ඔන්ලයින් අධ්‍යාපනයද පෙනෙන තරම් පහසු නැත. හැරත් සියලුම දරුවන්ට ඔන්ලයින් ඉගෙනුම් සඳහා අවශ්‍ය පහසුකම් ඇත්තේද නැත. තිබෙන දරුන්ගෙන් වැඩ ප්‍රමාණයක් ඉගෙනුම් ක්‍රියාවලීන්ට අමතරව ඔන්ලයින් ක්‍රීඩා වලට යොමු වීම, සමාජ මාධ්‍ය ජාලා වලට ඇබ්බැහි වීම, ඒ හරහා නොදන්නා පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩ නගා ගැනීම ආදී බොහෝ ගැටලු වලට මුහුණ දීමට දෙමාපියන්ට සිදුව ඇත. මේවායේ අප බලාපොරොත්තු නොවන ප්‍රතිඵලක් නම් දරුවන් ලිංගික ජාවාරම් වලට ගොදුරු වීමට ඇති අවධානමයි. බොහෝ ලිංගික ජාවාරම් වල අඳුරු පැත්ත නම් ඒවාට නතු වන වින්දිතයාට ඉන් ගැලවීමක් නොමැති අතර තම පවුලේ අයට පවා සොයා ගැනීමට ඇති අපහසුතාවයයි. එම නිසා දෙමාපියන් තම දරුවන්ගේ තාක්ෂණික මෙවලම් භාවිතය ගැන සෙවිල්ලෙන් සිටිය යුතු අතර එසේ නොමැතිනම් ඔන්ලයින් ක්‍රම හරහා සිදුවන ලිංගික ජාවාරම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කර තැබීම වඩාත් නුවණට හුරු කාරණයයි. ඒත් සමඟම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් හා අධ්‍යාපනය පිළිබඳවද දරුවා යොමු කිරීම වැදගත් වේ. මන්ද බොහෝ දරුවන් ඒ පිළිබඳ තොරතුරු හෝ දැනුම ලබා ගන්නේ ඔන්ලයින් ක්‍රම හරහාය. දරුවන් නිතරම කුතුහලයෙන් පසුවන අතර අත්දැකීම් ලබා ගැනීමටද මේ තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට නැඹුරු විය හැක. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයෙන් දරුවන් සිදුකරගෙන කරන ලිංගික ජාවාරම් හා අපයෝජන වලට මූළික හේතුවලින් එකක් දරුවන් තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් හා අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් නොමැති වීමයි. තමාට ලිංගිකමය වශයෙන් යම් අවධානමක් පවතින්නේ නම් එයට එදිරිව යම් පියවරක් ගැනීමට ඔවුන්ට එම අවබෝධය අත්‍යාවශ්‍යමය.

Top