පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ එක්ව (නො) යන රේල්පීලි 15 ගමන... (362)

post-title

"මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි."

දහම් එක්වර ම ඈ දෙස බැලී ය. ඇගේ දෑස ද ක්ෂණික ව ම ඒ දෑසෙහි ගැටිණි. තත්පර කිහිපයක් ලෝචන සංවාදයක නියැළුණ ද පුරුද්දට මෙන් ගීතය මුවින් ගිලිහිණි. වර්ෂාව තව තවත් වේගවත් විය. විදුලි එළි නිකුත් උව ද එය එතරම් ගානක් නොවූයේ දහවල නිසා ය. ඈ ද මුළු හදින් ම ගීතය හා ඒකාත්මික වී තිබුණි. වින්දනය මෙය නොවේ ද,

"දහම් අල්ලපං තව හොද නම්බරයක්.. මරු බං. නැගල ම යනවා ."

"පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොදුරියේ..."

දහම් ද ගායනයට පිවිසි කල අමුතු ම රසවතෙකි. පිස්සෙකි. උපරිමය ආස්වාදය කරන්නෙකි. දැන් පන්තිය ම එක ම සංගීත සාජ්ජයකි. මේ ඔවුන්ගේ විඳීම ය. තාලයට ඩෙස්ක්වලට ගසා සංගීතය සපයන්නෝ සුලබ ය. ගායකයෝ තම රාජකාරිය ඉටු කරති. ඒ කිසිවක් බැරි ළමෝ අත්පුඩියක් ගසා සම්මාදම් වෙති.

මෙලෝ සංගීත රසක් නැති, පොතට පමණක් ඇලුණු, බියෙන් පෙළෙන්නෝ පැත්තකට වී තමන්ගෙ වැඩවල නිරත වෙති.

නවාතැන මගේ ඔබෙ හද තුළයි සොදුරියේ පදය කියන සෑමවිට ම ඔහුගේ ප්‍රේමයෙන් බර වූ දෙනෙත ඈ හා යා වීම නම් ඔහුට වළක්වා ගත නොහැකි විය. පුදුමය තවමත් උකුසු ඇස්වලින් ඔහු බේරී සිටීම ය. එන්න එන්න ම සිය හදෙහි ප්‍රේමය සොළොස් කලාවෙන් මෝරන චන්ද්‍රයා සේ වැඩි වෙන බව නම් හොදට ම දැනිණි. ඒත් ඔහු සිර වී සිටී.

ඔහු මොහොතක් පියවි ලොවින් මනෝ ලොවට සංක්‍රමණය වූයේ කාටත් නොදැනෙන ලෙස ය. ප්‍රේමය... දරුණු රෝගයක්... ඔව් සුව කළ නොහැකි... එහි වින්දනය... හ්ම්ම්... අතිශය වේදනාකාරී රෝගයකින් පෙළෙන්නෙක් ඒ හැඟීම දරාගන්නේ කෙසේ ද ? ප්‍රේමය ද එසේමැයි. කිසිවෙකුට එය දරා සිටිය හැකි ද ? රෝගවලට කවුරු කැමති වෙත් ද ? කවුරුත් කැමති සුන්දර ම රෝගය මෙය නොවේද...?


ඔහුට මහා හඬින් කෑ ගසා ඈට එය කීමට සිත් විය. සිරුරේ ලේ ගමනාගමනය වේගවත් විය. මුළු සිරුර ම එක් හැඟුමක් සමග... ඈට මෙය දැනේවි ද ? ඈ කුමක් කියාවි ද ?

"හිනාවුණා ම මනුස්සකමට , යාළුකමට කතා කළා ම ආදරේ ඉල්ලගෙන එනවා. කොල්ලෝ ඔහොම ම තමයි. කෙල්ලන්ට ඉගෙනගන්න දෙන්නෑ. මේක පුදුම වැඩක් නේ. අපි ආවේ ඉගෙනගන්න. දෙමව්පියන්ගේ සිහින ඉටු කරන්න "

"අනේ සමාවෙන්න , අහිතක් හිතන්නෙපා. කරදර කරන්නෑ ආයේ."

"ඒයි ඒයි මොකෝ මේ උඹ හීනයක් දැක්ක ද ?මේ මම. බලාපංකෝ ඈ."

දහම් තැගැස්සිණි. ජංජාලයි. ඔහුගේ අත අචලගේ ඔලුවේ ය. තමා සිහින ලොවෙන් ම මේ කර ඇත්තේ කුමක් ද ? ඔක්කොටම හිනාය. රසී ද අතින් මුව වස මදහසක් පායි. ඒත් එහි උපහාසයක් නොවන බව පෙනෙන්නට විය.

"ඈ බං දහම් උඹ ඊයේ නිදාගත්ත ද ?නවකතාවක හිරවෙලා හිටියා ද ?"
එවර නම් ඔහුට දෙන්නට පිළිතුරක් නොවී ය.

"මේ රත්නායක සර්... පඩිපෙළ ගාව... " වතුර බොන්නට ගොස් පැමිණි නිලන්ත පැවසීය.

"ඉතින්..."

"ඉතින් තමයි ආවොත්..."

"ආවොත් ඉතින් අපි කියමු ලස්සන සිංදුවක් කියන්න කියලා "

"ආ හිතං ඇති. මෙයා ප්‍රින්සිපල් නේ. සර්ලා මෙයා කියනකොට සිංදු කියන්න ".

"සර් එනවා නෙවෙයි ගියා. උඹල දැක්කෙ නැති උනාට සර් කොරිඩෝවේ ඉදන් අහගෙන හිටියේ ."

"මළා, ඇයි බං නොකීවේ."

"එහෙම අවුලක් පෙනුන්නෑ. අනික සර්ල උනත් ඔය කාලේ පහුකරලා ඇවිත් ඉන්නේ. ගහමරා ගන්නවා නෙවෙයි නේ. අහිංසක ව සිංදුවක් කියලා සතුටක් ලබනවා."

"ඔව් එයාලට කෙළින් ම අපිට සිංදු කියපල්ලා කියන්න බැරි නිසා. නැත්නම් කියනවා ෂුවර්. මේ වැස්සෙ ඉගෙනගන්න උනත් පුළුවන් යැ."

***** ***** *****

ඔහු වරින්වර පාර දෙස හැරි හැරී බැලුවේ ය. ඒ රුව ඔහුට දැන් හොඳට හුරු ය. දහසක් රූ අතරින් වෙන්කර හඳුනා ගත හැකි තරමට හිතේ ඇඳී ඇත.

"මේ ඉක්මනට යන්න ඕන බං. අඩිය ඉක්මන් කරපංකෝ."

"මොකෝ මහිමයෝ හදිස්සි. ඔහොම යමන්."

"ඒ බං අචලයෝ, කව්ද බං මේක කරලා තියෙන්නේ. බලාපංකෝ ඉතින් ".

"හම්මේ, ඔව් මයි. හ්ම්ම් අවුලක් මයි..."

**** **** ****

මොකක්ද ඒ පාර? අවුලක් වගේ. හා ගිහින් බලමුකෝ.

ලබන සතියට 

Top