හොඳින් අහගන්න සියලුම බවලත් උදවියගේ දැනගැනීම පිණිස : එක්ව (නො) යන රේල්පීලි 14 වන ගමන (347)

post-title

සැරද සුලකළ'කුරු - මියුරු තෙපුලෙන් රඳනා

රජකුල රහසැ මැතිනිය - සියනිහී සැළලිහිණි සඳ

"රසී මොහොතක් ඒ කවිය තුළ අතරමං විය. ඒ තාලයට යළි යළිත් මුමුණන්නට වූවා ය. කොතරම් අපූරුයි ද ? "

ඒ දෑස් ... ඒ හඬ... ඒ බැල්ම...නෑ නෑ... මට වැරදීමක්. මට බෑ හිතන්න. මම මොනවද මේ හිතන්නේ. ඈ නැවැත පොත වෙතට මුහුණ යොමන්නට උත්සාහ කළා ය. එහෙත් එය කෙසේ නම් කරන්න ද නැවැත නැවැත ඒ දෙය ම සිදුවන්නට විය. ඈ වහා පොත වසා දමා නැගිට්ටා ය.

"සුදු මැණිකේ, සුදු මැණිකේ, චුට්ටක් මෙහාට එන්න පුතේ,"

"ආ අම්මා... ඇයි අම්මා... " ඈ වහා කාමරයෙන් එළියට දිව ආවා ය.

"කෝ ඔයා ආව ද ?"

"ඔව් ඇයි මේ?"

"ළිපට පිඹිනකොට ඇහැට රොඩ්ඩක් ගියා. දැවිල්ලයි."

"චුට්ටක් පිඹින්න පුතේ,"

"හ්ම්ම් කෝ බලන්න. ආ... ඇහැ පොඩි කරන්න එපා අම්මා. අරින්න බලන්න... රොඩ්ඩ පේන්න නෑ. ඔහොම මේ පුටුවෙන් වාඩිවෙන්නකෝ. " ඈ දබරැඟිල්ල හා මාපටැඟිල්ල වියල් කොට ඇගේ වම් ඇස හොදින් ඇර හිමීට පිම්බා ය. 

"හා හා ඇස් ගහන්නෙපා. අල්ලන්නත්තෙපා. ඇහැ තුවාල වෙන්න පුළුවන් ."

ඔහු ගෙට ගොඩ වූයේ දැඩි වෙහෙසකාරී බවකිනි. සුපුරුදු ඔෆිස් බෑගය මේසේ උඩට විසි කළ සෝමසිරි දකුණතින් කඩිමුඩියේ කමිසයේ බොත්තම් ගලවන්නට විය.

"ඔෆිස් එකේ ලොක්කෙක් අතුරුදන් වෙලා. අනේ මන්දා... දැන් නම් පාරට බහින්නත් බයයි. අනිච්චං දුක්ඛං."

"ඉන්දු ඉන්දු මොකද මේ?" සිය භාර්යාව අතකින් ඇස වසාගෙන සිටිනු දුටු ඔහු දඩස් ගා පුටුවෙන් නැගිට්ටේ ය.

"නෑ මේ පොඩි රොඩ්ඩක් ..."

ආ කර ගඳක් එනවා වගේ. මොනවද ළිපේ තියෙන්නේ ?"

"ආ මැණිකෝ, අන්න අල හොද්ද ළිපේ. දියකිරි ටික හිදිලා වගේ. මිටිකිරි ටික ඇති මැස්සේ. දාලා පොඩ්ඩක් ගින්දර අඩු කොරහං."

**** **** ****

"මේ අද භූගෝල විද්‍යාව නෑ. රිලීෆ් දාන්න කවුරුවත් නෑලු. යමන් කැන්ටිම පැත්තට. ඒ කාලේ රවුම් ගැහුවට මොකෝ අපි පන්තියට ම හිරවුණා නේ "

"දහම් වරෙන්,  ග්‍රවුන්ඩ් එක පැත්තේ වටයක් දාලා එමු. එකොළහ පැත්තටත් ඇහැ දාලා. " ඉඟි මරමින් සිරා කීවේ ය.

"උඹලා පලයල්ලා. ටිකක් ඔළුව රිදෙනව. මම ඉන්නම් පන්තියේ"

"අප්පේ කියන්න එපාය බොල. වර වර... ඕකට බේත් තියෙනවා. සිරිල් සර් ළඟ... නැගිටහං ඉතින් ."

"අනේ මේ මම කැමති නෑ මේ ... මේ ඔය බේත් ..."

"මොකක්ද මේ වෙලා තියෙන්නේ. කවියක් වත් හිරවුණා ද ?"

"අචල ,ඇත්තට ම මටත් හිතෙනවා .මෙලෝ සිහියකින් නෙවෙයි මේ දවස් ටිකේ හිටියේ එයා."

"අනේ පින්සිද්ධ වෙයි. උඹලා යනවා නම් පලයල්ල. අඩු උනොත් එන්නම්."

"ආ එහෙමද ? හොදින් අහගන්න සියලුම බවලත් උදවියගේ දැනගැනීම පිණිස ය. දහම් චන්ද්‍රභානු ඔබේ ආරක්ෂාව සඳහා මෙතැන් සිට ක්‍රියාකරනු ඇත. අපි යනවා ."

එක්වර ම දහම්ගේ දෑස රැඳුණේ රසීගෙ දෑස් ළඟ ය. ඈ මද සිනාවක් පා ඉවත බලාගත්තා ය.

"ඒයි මේ අපි ඔක්කොම දහම්ගේ රැකවරණය පතා ඉන්නම්. ඔයාලා යන්න " සකූ කෑගසා කීවා ය.

"කොහෙද යන්නේ ඔක්කොම එන්න පන්තියට. මට වැදගත් කතාවක් තියෙනවා ."

ගීතානි ඇද කරනු දුටු අචල දිව එළියට දමා ඇද කළේ ය. ඉදපං අහුවෙනකම් වැනි වදන් ඒ සංඥාවල අන්තර්ගත විය.

"මොකද මහිම ඇඹරෙන්නේ. මම දැන් බලා ගෙන.'

"සර් සර්...මේ..."

"ඇයි රේඛානී."

"නෑ සර් පව් මේ මහිම. බඩෙ අමාරුවක් කියලා යනකොට තමයි සර් ආවේ. ඔය කියන්න බැරුව ලැජ්ජාවෙන් ඉන්නේ."

"ආ ඇත්ත ද ? ඇයි දරුවෝ නොකීවේ. ගෑනු ළමයි කියනකම්. හා හා යන්න යන්න ."

"නෑ සර් මේ. එහෙම අවුලක් නෑ සර්."

"හරි හරි අපිත් ඒ කාලේ ඔහොම තමයි. හ්ම්ම් ගිහින් එන්න. මේ අචල යන්න ඔයත් එයා එක්ක."

"දෙන්නට ම බඩේ අමාරුව තමයි" සකුන්තලා කෙඳිරුවා ය.

"දැන් ඉතින් ඔලුව ඩෙස් එකේ ගහං ඉදපං. වස ලැජ්ජාවේ බෑ. කොහොමද ගෑනු ළමයින්ට මූණ දෙන්නේ. වික්‍රම සර්ටත් අපේ පන්තිය උන් නිකන් ඉන්නවා පේන්න බෑ."

ඔහු කලා උළෙල පිළිබඳ තොරතුරු එකින් එක ප්‍රකාශ කරන්නට විය. ඔහුට අවශ්‍ය වූයේ එය ඉතා ම උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ය.

**** **** ****

ඊළග ට අචල ලා මොනවා කරාවි ද ? ටිකක් ඉන්න වෙනව.



ලබන සතියට

Top