බෑරක් ගොසින් පැමිණි කිරි අම්මා ගෙපිලට එනතුරු ම කිසිවෙකුගේ දෑසට ලක් වූයේ නැත. ඔවුනොවුන් තමන්ගේ ලෝකවල ගිලී උන්නා මිසක අවට වන්නේ කුමක්දැයි යන්න ගැන නිනව්වක් නොවී ය. ඈ මද වේලාවක් එකිනෙකා දෙස බලා උන්නේ කිසිවක් අවබෝධ කර ගැනීමට ය.
"ආ...මේ කට්ටිය ම හුඟ වෙලාවක ඉදන් හිටගෙන. වාඩි උනා නම් ඇතුළට ඇවිත් ආ...එන්න එන්න"
නිහඬතාව බිඳිමින් ඈ කීවා ය. මනෝ ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණීමේ මාර්ගය ඈ නිසා ලැබුණා සේ විය.
ඉස්තෝප්පුවේ වූයේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දැවයෙන් නිම වූ අපූරු පුටු හත අටකි. ඉතා ම සැප පහසු විදියට වාඩිවීමට ද හාන්සි වීමට ද හැකියාව ඇත.
"වෙද මාමේ, ඇත්තට ම මේ කවුරුවත් මට වෙච්ච දේ දන්නෑ. මට බය හිතුණා කියන්න. ධර්මසිරි කොහොමත් අකමැති උනා මම ඒ ගැන කියනවට."
"හ්ම්ම් ඒකත් එහෙම ද , හ්ම්ම් හ්ම්ම් කාරි නෑ බොල ඒවා හිමීට විසඳගමු."
"මම මේ ගේ ගාව නවත්තනකම් දන්නෑ මෙහේ එන විත්තියක්. ඒත් හිතට මොකක්දෝ අමුත්තක් නම් දැනුණා ." ඔහු හීන් සුසුමක් හෙළී ය.
"කිරි අම්මේ, එහෙනම් කට්ටියට ම තම්බපු රණවරා මල් ටිකක් අරන් ආව නම් වෙලාවේ හැටියට පංකාදුයි."
"සූරීටත් මාව අන්තිමට මතක් උනා එහෙනම් . හරි ඒකට කාරි නෑ ... හ්ම්ම් කෙලින්ම කාරණාවට බහිමුකෝ."
"අනේ මන්දා කොහොමද කියන්නේ මේවා. පහුගිය කාලේ හිතාගන්න බැරි දේවල් සෑහෙන්න උනා නෙව. මම අවුල් උනා එහෙම් පිටින් ම.. මගේ පර්යේෂණ ඔක්කොම නවත්තන්න උනා. මහා බහුබූත හීන පේන්න ගත්තා . . හිටපු ගමන් එක එක විකාර මැවුණා. කවදාවත් නොදන්නා දේවල් ඔළුවට ආවා. . මම විතරක් නෙවෙයි බිරිද , මගේ පුතා ගොඩක් කරදරෙන් ඉන්නේ මා ගැන ."
ඩිංගිරාල ඔහුගේ සුපුරුදු ක්‍රියාවේ නොනවත්වා ම යෙදුණේ ය. සුදු වන් වූ දිගු රැවුළ දිගේ සුරත කීපවරක් ම උඩට පහළ ගමන් කළේ ය. පසු ව ඔහු හඬ අවදි කළේ හෙමිහිට ය.
"හ්ම්ම් ...මට තේරෙනවා. මං හිතන්නේ මීට කලින් එන්න තිබුණේ. දැන් ඉතින් කමක්නෑ. මං උනත් කී දොහක් ජීවත් වෙයි ද කියලා කව්ද දන්නේ. තණ අග පිනි බිඳක් නේ ජීවිතේ. සූරී ළමයගෙ.."
ඉතිරි ටික ඔහු ගිල ගත්තෙ හදිසියෙ ම යමක් සිහිවූ නිසා ය.
"බයවෙන්න කාරී නෑ. හැබැයි ... දවස් දෙකක් ළමයට ඉන්න වෙනවා. පස්සෙ ඇවිත් එක්ක යන්න පුළුවන්. මොකද මේවා කලබලේට කරන්න පුළුවන් දේවල් නෙවෙයි ."
"වෙද මහත්තය, මේ මගේ දරුවා. මෙයාටත් තියෙන්නේ සූරී මල්ලිට තියෙන ප්‍රශ්නෙ ම තමයි. සමහර වෙලාවට කිසිම සද්දයක් නෑ. සමහර තැන් දැක්ක ම මොනවා කරනවද කියලා එයා ම දන්නැහැ. අපි කාටවත් නැති ලක්ෂණ තියෙන්නේ. ගෑනු ළමයෙක් වගේ වැඩ."
මෙය අහඹුවක් ද ? පුදුමයක් ද ? අතිශයින් ම දුර්ලභ ගණයේ රෝගීන් දෙදෙනෙකු එක්වර මුණ ගැසී ඇත. විශ්වයේ සැඟවුණ රහස් නිමක් නම් නොවනු ඇතැයි ඔහුට සිතිණි. ඔහු එවැනි පොතපත කොතෙකුත් කියවා ඇත. එහෙත් සැබෑ ලෙස එය අද්දකින්නට ලැබේ යැයි සිතන්නට නැත.
"හ්ම්ම් ඔය ළමයත් හිටියා නම් තමා හොද. දෙන්නට ම සුව කරගෙන යන්න බැරි ය. පුතාට පුළුවන් නේ අම්මලා එක්ක යන්න . . මේක මගේ විශේෂ ම වෙදකමක් වෙයි" ඔහුගේ දෑස් දිලිසෙන්නට පටන් ගත්තේ ය.
"මේං මෙයාලට කාමරේ පෙන්නුව නම්. ඇඳුම් එහෙම මාරු කරගෙන ඔහොම ම ගඟට ගොහින් නාලා කියලා එන්නකෝ. නිවිහැනහිල්ලේ හවස්වෙලා යන්න බැරි යැ. මොකෝ මහ දුරක් තියෙනවා කියලයැ"
"ඇත්තට ම මෙහාට ආව ම හිතට පුදුම සහනයක් දැනෙනවා. ඒක කියාගන්න නම් තේරෙන්නෑ ."
"ඕන් නිවුඩු හාලේ බතට හොද ගුණ කෑම ටිකක් කෑ හැකි අද කට්ටියට ම මම දැක්කා මැස්සේ කරිවිල ටික හොදට කොළපාට වෙලා තියෙනවා."
** ** **
"ඔය මෝරාපු නැති ඒවායෙන් කඩලා ගන්න."
"මාමේ, මේ කරිවිල තුවාල එහෙම හොද වෙන්න යස කෑමක් ලු නේ."
"කරිවිල ද ... හ්ම්ම්... ඔව් ...ඔව්... කරිවිල කියන්නේ දිව්‍ය ඔසුවක් දරුවෝ. අහපු එකේ කියාදෙන්නම්කෝ."
"ඒක වටිනවා මම හරි ම ආස කෑමක් ."
"ලේ පිරිසිදු කරන්න පංකාදු. කුෂ්ඨ රෝගවල ඉදිමුම් නැතිවෙනවා. තව දෙයක්. හොදට කොළපාට වෙච්ච මේ වගේ ... කරල් අරගෙන හීනිවෙන්න කපාගන්න ඕන. රෑට වතුර වීදුරුවක දාලා තියනවා. උදේට මිරිකලා බොන්න පුළුවන්. මධුමේහයට(දියවැඩියාව ) හරිම ගුණයි. ඒ විතරක් නෙවෙයි අම්ල පිත්තයට (ගැස්ට්‍රයිටිස් ) බොහොම හොද යි. තව ගුණ ගොඩක් තියෙනවා. ඒත් දැන් උදවියට මේවායෙ අගයක් නෑ"
"මාමේ, මම ආසයි මේ වට්ටක්කා දලු කොළ මැල්ලුමට."
"හා කඩා ගන්න. ඔය වැල් හොදට හෙවිලා තියෙන්නේ. තව අර මිටි කොස් ගහෙන් පොළොස් ගෙඩි දෙකක් කඩාගන්නකෝ. ගෙදර ඇති කව්පි වෑංජනේකුත්.. මයෙ හිතේ කිරි අම්මා වැව් මාළු බැඳල ඇති ."
"අහනකොටත් කටට කෙළ උනනවා මාමේ,"
** ** ** **
තමා කාලයක් සිටියේ මේ කළුවර කාමරේ නොවේද? ඒ අතීතය කෙතරම් බියකරු ද? ඒත් දැන් සිතට නැගෙන්නේ රසයකි.
"කෝ මෙහාට ආව නම්. මම ඔයා අතීතයට ගෙනියනව. මේ අභිරහස විසදුමක් කරගන්න ඕන. පන්සිල් සමාදන් වෙලා. හොඳට ඇස් දෙක පියාගෙන ඉන්නවා ."
ඔහු ඒ අද්භූත ලෝකෙට පිවිසීමට සූදානම් විය. මව්කුස පිළිසිඳගත් දා සිට ක්‍රම ක්‍රමයෙන් ඔහු විමසීම පටන්ගත්තේ ය. ඒ ඔහු ජ්‍යෙෂ්ඨ පන්තියේ උන් කාලයයි. හිටි හැටියේ ඔහු අමුතු ප්‍රීතියක් පෑවේ ය.
සියල්ලෝ ම විස්මිත ව ඈ දෙස බැලූහ. ඔහුගේ මෙතෙක් වශී නොවූ දෑස් යුග්මය මොකක්දෝ අමුතු හැඟුම් සමුදායකින් පිරී යන්නට විය. ගතින් දහදිය බිඳු රූරා වැටෙන්නට විය. ඈ ළංවත් ම ලැජ්ජාවෙන් පිරි දෑස් ඇගේ ඇස් අගින් මිදී පන්තියේ කොනක ගසා තිබූ වැකියක් වෙත යොමු විය...
ලොවේ නැත අන් රසදුනා... ආදරේ සේ සුවදෙනා ...
*******************
යොවුන් ප්‍රේමය හද පොපියවන සුන්දර ද කෙතරම් ... එන්න ඔවුන්ගේ සැඟව ගිය ආදර අන්දරය හා ඒකාත්මික වන්නට...
ලබන සතියට