කර්ම 2 කොටස : ඔයාලගෙ ගෙදරට කවුරු හරි හූනියමක් කරලා (506)

post-title

" ආ මේ එන්නෙ.. උදේ ඉඳන් කල්පනා කරන එකමයි වැඩේ කල්ප.. ඇහුවට මුකුත් කියන්නෙත් නෑ.. පැය ගානක් මෙතන මාත් එක්ක හිටියට මාව විශ්වාස නෑ මෙයාට.. "

මම ගේට්ටුව ළඟට ගිය ගමන් අමායා කීවාය. 

" එහෙම මුකුත් නෑ බං.. අපි ගිහින් එන්නම්.. බුදු සරණයි.."

ඇගෙන් බේරෙන්න බැරි බව දන්නා නිසා මම හිනැහෙමින් බයික් එකට නැග්ගෙමි. 

" ඔය ක්ලිප් එක.."

කල්ප පිටුපස හැරී මගේ හෙල්මටය සැකසුවේය. 

"ඔය අමායව නම් මට දිරවන්නෑ සුදූ.. "

ටික දුරක් ගිය පසු කල්ප කීවේය.

"එයාගෙ කියවිල්ල අහන් ඉන්න අමාරු උනාට හරි හොඳයි අනේ.."

"මට නම් කිසි හොඳක් පේන්නෑ.. හදිස්සියක්‍ උනොත් කතා කරන්න කියලා මට ෆෝන් නම්බර් එක දෙන්න හැදුවෙ.. මට මොකටද ඒකිගෙ නම්බර්.."

කල්ප කේන්තියෙන් කියවයි.

"ඒ නරක හිතකින් නෙවෙයි අනේ.. එයා හැමෝටම ඔහොම තමයි.. හදිස්සියෙ ඔයාගෙ ෆෝන් එක ඕෆ් උනොත් මම ඔයාගෙ යාලුවෙක්ගෙන් කතා කරලා අහන්නෙ.. ඒ වගේ තමා මෝඩයො.."

ඒ උරහිස මත නිකට තද කරගෙන මම කීවෙමි. 

"යාලුවොන්ව සුද්ද කරන්න එන්නෙපා මාත් එක්ක.."

"ඉතින් ඔයත් ඔයාගෙ යාලුවොන්ව සුද්ද කරන්නෙ.."

කන ළඟට කර සද්දෙන් මම කීවෙමි. 

" උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ.. 

කල්ප හිනැහෙමින් මගේ අතැඟිලි සිපගත්තේය.

ඔහු බයික් එක නතර කලේ මුහුදු වෙරළ අසලය. 

"යමු.."

ඔහු මගේ අතකින් අල්ලාගෙන ඉස්සර වූයේය. 

"ගෙදර ගියාම මට හරියට කේන්ති යනවා කල්ප.. මට තේරෙන්නෑ ඇයි කියලා.."

මුහුදු රළ දෙස බලාගෙන මම හිමින් කීවෙමි. කල්ප මගේ මුහුණ දෝතට ගෙන මගේ දෑසට එබුනේය. 

"මට නොකියන මොකක් හරි ප්‍රශ්නයක් තියනවද හස්නා.. "

"එහෙම දෙයක් නෑ කල්ප.. ඒත් අම්මත් හරි වෙනස්.. අපි දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියෙ.."

මම සුසුමක් හෙලුවෙමි. 

" මම ඉරිදට එනවනෙ ගෙදර..ආවම මං අම්මත් එක්ක කතා කරන්නම්.. ඔයා කිසිම දේකට කේන්ති ගන්න එපා.. අම්මා එක්ක රණ්ඩු කරන්න එපා.. තේරුණාද.."

"හ්ම්ම්.. "

මම නිවසට යද්දී අම්මාත් මල්ලීත් පෙනෙන්නට සිටියේ නැත. අම්මාගේ කාමරයේ වසා තිබූ දොර ඇරගෙන මම කාමරයට ගියෙමි. හඬමින් සිටි අම්මා මා දැක වහා ඉවත බලා කඳුලු පිස ගත්තාය. මගේ පපුව හිරිවැටී ගියේ ඇස් වලට කඳුලු පිරෙද්දීය. අත් බෑගය මේසය මත තබා ඇඳ ළඟ බිමින් වාඩිවූ මම අම්මාගේ උකුලෙන් හිස තියා ගත්තෙමි. 

"මහන්සිද.."

අම්මා මගේ හිස අතගාමින් ඇසුවාය. 

"නෑ අම්මෙ.. කෝ මල්ලි.."

"පන්ති ගියා පුතේ.."

"ඇයි මේ කාමරේට වෙලා තනියෙන් අඬන්නෙ.."

මම හිස ඔසවා අම්මාගෙන් ඇසුවෙමි. බලා සිටියදීම අම්මාගෙ ඇසින් තවත් කඳුළක් වැටුණි.

"දවසටම ඔයා කෝල් එකක්වත් දුන්නෙ නෑ.. බත් කටක් උගුරෙන් පහළට දාගන්නෙ කොහොමද මං.. ඒත් මගෙ වැරැද්ද.. පුතා වැඩට යන්න ලෑස්ති වෙද්දි මම රණ්ඩු උනා නෙ.."

"අම්මා වැරදි නෑ.. මමනෙ රණ්ඩුව පටන් ගත්තෙ.. මට සමාවෙන්නෙ.."

මම ඇඳෙන් වාඩි වී අම්මාගේ උරහිසට හිස තියාගෙන කීවෙමි. 

"දවල් බත් එක ඔක්කොම කෑවද.."

"ඔව් ඔව්.. ඔක්කොම කෑවා.. කෝ දැන් හිනාවෙන්නකො.."

අතවත් නොතිබූ බත් මුල අම්මා දකින්නට කලින් බෑගයෙන් ඉවත් කරන්නට මම සිතාගත්තෙමි. මට දැනුනේ අමුතුම වේදනාවකි. උදෑසන නයි මුගටින් මෙන් රණ්ඩු කරගත් අම්මාත් මමත් දැන් තුරුළු වී එකට හඬයි. එහි තේරුම අපි දෙදෙනාම උදේ සිදුවීම ගැන පසුතැවෙන බව නොවේද..? සිනා හඬින් පිරී තිබූ අපේ නිවසේ දැන් වැඩිපුර ඇසෙන්නේ හඬා වැටීම් සුසුම්ලෑම් අඬදබරවීම් ය. මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත සිදු වූ මේ විපර්යාසය නිසා මම මනසින් පීඩාවට පත් වී සිටියෙමි. 

පසුදා උදෑසන පුස්තකාලයට ගොස් මම අම්මාට ඇමතුමක් ගත්තෙමි. 

"අම්මෙ.. මම පරිස්සමින් ආවා.. වෙලාවට කන්න.. පරිස්සමින් ඉන්න.. බුදු සරණයි.."

"හා පුතේ බුදු සරණයි.. ඊයෙ වගේ බත් එක ඉතුරු කරන් එන්නෙපා.. ඔක්කොම කන්න.. "

"හා අම්මෙ.."

මට සිනාත් නැගුණි.. ඉවත දැමූ බත් මුල අම්මා දකින්නට ඇත. ඊයෙ රැයින් පසු අම්මාත් මමත් ආයේ බහින්බස් වීමක්වත් වූයේ නැත. ඒ ගැන සැනසීමක් දැනුනත් , අම්මාට වෙනත් මොන යම් හෝ ප්‍රශ්නයක් තිබේදැයි මම සිතුවෙමි. එසේ නම් මටත් ඒ තරම් කේන්ති යන්නේ ඇයි දැයි මට ආයේ සිතුණි. 

"මොකක්ද හස්නා ප්‍රශ්නෙ.. ඇයි මට කියන්න බැරි... ඔයාට මාව විශ්වාස නැද්ද.."

අමායා මේසය ළඟ හිටගෙන දුක් මුසු මුහුණින් ඇසුවාය. මා සමග පැය ගාණක් එකට රැඳෙන මිතුරිය ඇයයි. ඇයව අවිශ්වාස කිරීමට මට හේතුවක් නැත. එනිසා නිවසේ තත්ත්වය මම ඇය සමග කීවෙමි. 

"හස්නා.. මට නම් හිතාගන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියලා.."

මම ඇය දෙස බැලුවේ පුදුමයෙනි. මටවත් හේතුවක් ගළපන්නට බැරි වූ ගැටලුව ගැන ඇය දැන ගත්තේ කෙසේදැයි මට සිතුණි. 

"ඒ කිව්වෙ.. මොකක්ද වෙලා තියෙන්නෙ.."

"ඔයාලගෙ ගෙදරට කවුරු හරි හූනියමක් කරලා.."

Top