මට ඕන තරම් නිදහස තියෙනවා. ඒත් සතුට… එක්ව (නො)යන රේල් පීලි සත්වන ගමන...(195 වන ලිපිය)

post-title

හිතූවට වඩා වේගයෙන් කාලය ගොස් ඇත. සියල්ල වෙනස් ය. සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ යන්න සැබෑ සත්‍යයක් ම ය. ධර්මසිරි තනි ව කල්පනාවේ ගිලී සිටියේ ය.

"ආ මේ ළමයනේ...මොකෝ සද්දයක් නැතුව හිටියේ ."

"නෑ මාමා වැඩක හිටිය නිසා කරදර කරන එක හොද නැති හන්දා මෙහෙන් ඈඳි ගෙන උන්නා. කොහොමද දැන් සූරිට."

 

සූරී ඒ ළෙන්ගතු නම ය. ඔහු පියතිලක ධර්මසූරිය යි. ඒ නම තැබුවේ වෙදමහතා ය. දැන් ඔහු දන්නේ ද ඒ නම පමණි.

"ඇත්තටම දැන් ගොඩක් ගුණයි. කිසිම දෝෂයක් නෑ ඇගේවත් හිතේවත්. ඕන දෙයක් කරගෙන ජීවිතේ ගැටගහගන්න පුළුවන්. හැබැයි..."

ඔහු එසේ කියා බුලත් කෙළ පහරක් ගසා ධර්මසිරිගේ මුහුණ දෙස බලා උන්නේ ය.

"ඇයි මාමා මොකක්ද ප්‍රශ්නය...?"

"හ්ම්ම්.... ඇත්තට ම ඒක නම් ප්‍රශ්නයක් තමයි. මගේ සෑස්තරේට වුණත් කරන්න පුළුවන් හරියක් තියෙනවා. ආන් ඒකයි පුරස්නේ..."

"අනේ මාව මට නම් තේරෙන්නෑ කිසිම දෙයක්" 

"මෙහෙමයි මේ දරුවට කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳින් ජීවත් වෙන්න පුළුවන්... හැබෑ ම පුරස්නේ වෙන්නේ මතකය තමයි ."

"ඒ කිව්වේ මාමේ..."

"ඔව් මේ දරුවගේ අතීතය නම් කවදා මතක් වෙයිද දන්නෑ. ඒකත් එක්ක තමයි පුරස්නෙයක් වුණොත් වෙන්නේ."

"ප්‍රශ්නයක් වුණොත් කියන්නේ, හරිම අපරාධයක්නේ ඒක. අතීතයක් නැතුව ජීවත් වෙලා මොකටද ? ඊට හොඳයි මැරෙනවා ."

එය ඔහු කීවේ දැඩි ශෝකාකූල බවකිනි.

"දුක් වෙලා වැඩක් නෑ ළමයා ජීවිතේ බේරුණ එක ම මැදෑ."

"ඒ වුණාට මාමේ අතීතයක් නැති ජීවිතේ මොකක්ද .?"

"එහෙම හිතන එකේ වැරැද්දක් නෑ . මං අහලා තියෙනවා මෙහෙම. අතීතයේ ජීවත් වෙන්නෙපා. අනාගතේ සිහින මවන්නෙපා මේ මොහොතේ ඉන්න එක තමයි ජීවත් වෙනවා කියන්නේ කියලා ."

"අප්පේ මාමා එක්ක වාද කරලා දින්නට පුළුවනෑ ඉතින් අපිට "

"නෑ නෑ ළමයෝ. ඇත්තට ම අතීතය ජීවත් වෙන්ට ඕන. ඒකේ වාදයක් නෑ. ඒත් ඔය ළමයට ඒවා අහිමි වෙලා. ඒක මැරෙන්න කාරණයක් නෙවෙයි. ඒකයි කීවේ. ආ...ඔය සමහරු නාහෙන් අඬන්නේ...අනේ අතීතය මට වද දෙනවා කියලා. ඉතින් අපේ සූරී ට පුළුවන් අලුතින් ජීවිතේ අරඹන්න."

රටේ තත්ත්වය යහපත් අතට හැරීම සූරිගේ වාසනාව විය. ග්‍රාමසේවක සිරගත වීමත් සමග වෙදමහතාගේ අක්කගෙ පුතා ගමට පැමිණියේ ය. ඒ කාලය තුළ බොහෝ දෙනාගේ හැඳුනුම්පත් බලහත්කාරයෙන් තරුණයෝ ගෙනගොස් තිබිණි. අලුතින් හැඳුනුම්පත සාදා දුන් නිසා එය සූරීට මහඟු සහනයක් විය

 

එ නිසාත් ඩිංගිරාලගේ මැදිහත් වීම නිසාත් කරදරයක් නැතිව ඒ කටයුතු සිදුවිය.

"මේ ළමයට බොහොම අපූරු දස්කමක් තියෙන්නේ ඉතිහාසයට. විශේෂයෙන් ම ඔය අප්‍රකට ස්ථාන ගැන පුදුම උනන්දුවක්. මේ දේවල් කොහොමද ගැළපුණේ දන්නෑ. ඒත් මේ ළමයත් ඒ අංශෙමනේ ඉතින්."

"හ්ම්ම් බලමුකෝ මටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි සූරී ඉදිරියට ."

ධර්මසිරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කළ නිසා සූරී හා ඔහු අතර සම්බන්ධතාව බොහෝ සමීප විය. ඊට ප්‍රබලතම හේතුව වූයේ සූරීට අසීමාන්තික ව තිබූ ඉතිහාසය පිළිබඳ ආසාවයි.

 

සුළු සේවකයෙකු ලෙස සේවයට බැඳී අධ්‍යාපන සුදුසුකම් ඉතා ඉක්මනින් ඔහු සපුරාගත්තේ සියලු දෙනා මවිතයට පත් කරමිනි. මෙවන් තරුණයෙකු රටට පමණක් නොව සිය පරපුරට ම අභිමානයක් බව වටහාගත් ධර්මසිරි සිය ලොකු අක්කාගෙ දියණිය ඔහුට කරකාර බන්දා දුන්නේ ය.

 

 නිර්මලී විවාහ කරගත් දා සිට ගාල්ලේ බද්දේගම ඔහුගේ නවාතැන විය. ජීවිතේ ණය ගෙවන්නට මෙන් ධර්මසිරිගේ කීමට ඈ හා විවාහ වුව ද ආදරය පිළිබඳ කිසිම හැඟීමක් ඔහුට නොවිණි. රටේ විවිධ දිසාවන්හි ඇවිදිමින් ඒ අතර නිහඬව කල් ගෙවමින් ලබන සතුට නිවසේ කරදරකාරි පරිසරයේ නොවී ය. විවාහ සම්ප්‍රදායට අනුව රශ්මික මෙලොව එළිය දුටුව ද ඔහු කිසිම දිනක ආදරයෙන් හුරතල් කළේ නැත.

ඔහුගේ සංයමය හා අවංකකම නිසා සියල්ල සිතින් දරා නිර්මලී කඳුළු බොන්නට වූවා ය.

"ආ නිර්මලී, මොකෝ බං අද මේ ෂොපින් වගේ. කෝ බං උඹේ අර මහා දේශන දෙන තරුණ හිත් අමන්දානන්දයට පත් කරන සූරී..."

"අනේ, සුනීතෝ, උඹ මට කෝචොක් කරනවා ද ?"

"පිස්සු ද බං උඹලා ජීවත් වෙන විදියට ඉරිසියා හිතෙනවා බං. ඒකට අපේ උන්දැ. මාව ගැටගහලා බං ගෙදරට. සැකෙන් බලන්නේ. ඒත් සූරී කොච්චර අහිංසක කෙනෙක් ද. වචනයක් ඇහෙන්න කතා කරනවා ද ?"

"හ්ම්ම් උඹ හිතන්නෙ එහෙමද බං. ඔව් අමු අඹ ගෙඩියක් කනකොට බලන් ඉන්න උන්ගෙ කටට කෙළ උනනවා. කන එකා තමයි ඒකේ රඟ දන්නේ. උඹ දන්නෑ මම හිතින් කොච්චර පිච්චෙනව ද කියලා. මට තේරෙන්නෑ .... බං.. ඒක ..."

ඈ එක්වර අඬන්නට පටන් ගත්තා ය.

අනපේක්ෂිතව සිදු වූ දෙයින් සුනීතා මහත් අසරණ තත්ත්වයට පත් වූවාය. නිර්මලී තමාගේ හොඳ ම යෙහෙළියක්. ඒත් විවාහ ජීවිතේ ගැන කතා කිරීමට අවස්ථාව උදාවී නොතිබිණි. තමා වැරැද්දක් කළා යැයි යන වරදකාරි හැඟීමක් ඇයට දැනෙන්නට විය.

 

"අඬන්නෙපා බං මේ මිනිස්සු බලනවා. වරෙන් වරෙන් මේ අර පැත්තට යමුකෝ."

වෙරළ අයිනේ බංකුවක ඈඳි ගත් ඈ සිය ශෝකී යුග දිවියේ අරුත් පවසන්නට වූයේ හිරකරගෙන හිටි කඳුළුවලට නිදහසේ ගලායාමට ඉඩ දෙමිනි.

 සැමියා කියන්නේ බිරිදගේ දෙවියලු. ඔව් ඒක ඇත්ත. කිසිම ගෑනියෙක් එයාගෙන් පූර්ණ නිදහස අපේක්ෂා කරන්නෑ. ඒ දරදඬුකමට යටි හිතින් ආසා කරනවා. හැබැයි ඒක උඩින් පෙන්නන්නෑ. පිරිමිකම කියන්නේ ඒක. ඒකෙන් කියන්නේ වහල්වෙනව කියන එක නෙවෙයි අනවශ්‍ය විදියට. මට ඕන තරම් නිදහස තියෙනවා. ඒත් සතුට .. නෑ. නෑ.. කවදාවත් මට තිබුන්නෑ...ලෝකෙට විතරයි බං ඒක ."

හරි ඉතින් නාඩා හිටහංකෝ ...

"බෑ බෑ මට අඬන්න දීපං. මට හිරකරං ඉදලා දරාගන්න බෑ කෙල්ලේ. නිර්මලී ඇයගේ උරහිසේ හිස තබා හිත නිවෙනතුරු හැඩුවාය...

** ** **

කඳුළක් ආව ද ...දැන් ඉක්මනට ඔක්කොම තේරේවි...ඒ ටිකත් යමු නේ...

ලබන සතියට

Top