කාලසරන්නී - 05 කොටස

post-title

*  *  *

මායා, ඔයා ලෑස්ති නම් ඒ සේරටම උත්තරයක් ගන්න අපි යමු අපේ ලැබ් එකට ඉස්සෙල්ලම .. ඔයාට පුලුවන් නම් විතරයි ... තාම ඇඟට අමාරු නම් ඔයාට ටිකක් රෙස්ට් කරන්න පුලුවන් තව..

නෑ ...මං හොඳින්...හරි අපි යමුකො..

මායා සූදානම් විය..ඈ හැඳ සිටියේ පෙර දින හැඳ සිටි ඇඳුමම විය..දිගු කලු පැහැ කලිසමේ වූ තුත්තිරි කිහිපයක් ඇලී තිබෙනු දුටු මායාට යන්තමින් සිනා ආවාය..

"සීගිරියෙ තුත්තිරි ..දැන් ඇමෙරිකාවේ .." ඈ තනිවම සිනාසුණාය..

ගජනායක පෙරටු කරගත් මායා කාමරයෙන් පිටවූයේ සිතේ තිබූ දැඩි කුතුහලය හා  වික්ෂිප්ත බව කැටිවූ උදාසීන හැඟීමකිනි.

"මායා, මේ තමයි ඇමෙරිකාවේ තියෙන රහසිගතම ගුවන් හමුදා කඳවුර..දැන් දන්නව ඇතිනෙ කොහෙද කියල ..?" ගජනායක ඇසුවේ වැඩි ගණනකට නැතිවමය..

"Area 51"

ඇයගේ දෙනෙත විසල් විය..ගජනායක හිස සලා එය පෙරසේම වැඩි ගණනකට නැතිව අනුමත කළේය ..

ඔයා මේ කාර්තුවෙ මෙහාට ආගන්තුකව ආපු දොලොස් වෙනියා මායා..ලෝකෙ අති විශේෂිතම සහ රහසිගතම මෙහෙයුම්  කීපෙකම මව් පර්‍යේෂණාගාර තියෙන්නෙ මේ කෑම්ප් එක ඇතුළෙ...මේකෙ කෙරෙන සමහර පර්‍යේෂණ වලට ඕන කරන බුද්ධි සම්පත් ලෝකෙ කොහේ තිබුණත් මෙතනට ගේන්න ක්‍රම මෙතන ඉහළ නිළධාරීන් ළඟ තියෙනවා..ඒවට විරුද්ධව තර්ක කරන්න හඬ නඟන්න බෑ මායා..එහෙම කරොත් එයාලා හරි ඉක්මනට නිහඬ වෙලා යනවා..මං මේ කියන්නෙ ඔයාව බය කරන්න නෙමෙයි හොඳද..? 

ඔයාට තියෙන හිතවත්කමට කිව්වෙ.මං ..කොහොම වුණත් බාහිර හැම සබඳතාවෙකින්ම අයින් වෙලා ඔයාට පැවරෙන රාජකාරිය හරියට කරල  මෙහේ හැමදෙයක්ම රහසිගතව තියාගනීවි කියන විශ්වාසෙ මෙහේ උඩ පුටුවලට අඟවලා පුලුවන් ඉක්මනින් මෙහෙන් යන්න බලන්න...එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඔයාට ..." ගජනායක කීවේ සැබෑ හිතවත් ස්වරයකිනි..

මායාට සෑම දෙයක්ම ඕනවටත් වඩා හොඳින් අවබෝධ වෙමින් තිබිණි..

කාමරයෙන් පිටවූමොහොතේ සිට පටු කොරිඩෝ ඔස්සේ විවිධ දිශාවන්ට හැරෙමින් දිගින් දිගටම ගමන් ගත් මායාගේ ඇස් ,  වේගයෙන් හතර අතට දුව ගියත් අඳුරු පැහැ බිත්ති ,වසා තිබූ දොරවල් හා පොළොවට ආසන්නයෙන් බිත්ති පාමුලින් ඇදෙන විසල් ලෝහ නළ ඇරෙන්නට වැදගත් කිසිවක් ඇගේ නෙතට හසු නොවීය ...එසේම අතරින් පතර බිත්තිවලට සවි කළ , දුරකථන වලට මඳක් සමාන අභ්‍යන්තර සන්නිවේදන ජාලයට අයත් ඇමතුම් උපකරණ සවි කර තිබිණි..

*   *

මොන වංකගිරියක්ද මේ..යනව යනව ඉවරෙකුත් නෑනෙ..මායා නුරුස්නා ස්වරයෙන් තනිවම මිමිණුවාය...

තව ටිකයි මායා..ඔය පේන දොරෙන් ලොකු  හෝල් එකකට යනවා..ඒ කෙළවරින් වමට හැරුණම අපේ තැන.. ගජනායක කීවේ මායාගේ මිමිණීම ඇසුණාක් මෙනි..

මායා, තව දෙයක්..මෙතනින් එහාට ඔයා දකින කිසි දෙයක් ඔයාගෙ මතකෙට ගන්න ඕන නෑ..ඔයා මොනදේ දැක්කත් ඒක අමතක කරන්න උත්සාහ ගන්න..ඒක ඔයාට හොඳයි ගොඩක්...

*     *

"මායා...මායා..ඇස් අරින්න මායා...

කොහොමද දැන් ඔයාට ? 

මොකද වුණේ මායා ? කලන්තෙ වගේද තාම ?."

මේ මොන කරදරයක් ද..මායා එසේ සිතමින් දෙනෙත් සෙමින් විවර කළාය ..

හීනයක් වත්ද..? ඇයට එසේ සිතෙමින් තිබිණි..

ගජනායක ඈ දෙසට නැමී හුන්නාය..

දෙවියනේ ...ඒක හීනයක් නෙමෙයි ද ?? මොනවද මං ඒ දැක්කෙ..නෑ නෑ ඒක ඇත්තක් නම් වෙන්න බෑ..

ගජනායක , කියන්නකො මං දැක්කෙ හීනයක් නේද.." මායා උමතුවෙන් මෙන් කියවනු දුටු ගජනායකගේ සිත ඈ කෙරෙහි අනුකම්පාවෙන් බරවිණි..

" ඔව් මායා, ඔයා හීනයක් දැකල මාත් හිතන්නෙ.."

මායා නැවතත් ඇස් දෙක තදින් පියාගත්තීය..

"  අනේ දෙවියනේ ඒ ඇස්..මොනවද මට කියන්න හැදුවා වගේ..ඒත් කවුද ඒ...කවුද මෙහේ මේ දේවල් කරන්නෙ.." 

මායා..මං ඔයාට කිව්වා නේද ..හැමදේම මොහොතෙන් අමතක කරන්න පුරුදු වෙන්න..ඒක ඔයාට හොඳයි ගොඩාක්..විශේෂයෙන් මෙහෙදි.."

*  *  *  

මේ තියෙන්නෙ ..අපේ ෆීනීක්ස් කුරුල්ලා..ගජනායක කීවේ ප්‍රීතියෙන් ඉපිළෙමිනි...

ඔයා දන්නවද මායා..මේකෙ සම්පූර්ණ බාහිර බඳ කොටසම මගේම නිර්මාණයක්...

මායාට ඒ කිසිවක් ඇසුණේ නැත..ඈ මීට පැය කීපයකට පෙර ඈ සිටින්නේ ඇමෙරිකාවේ යැයි ඇසූ තැන සිටම දිගින් දිගටම පුදුම වීම් වලට දරුණු ලෙස මුහුණ දෙමින් සිටියාය ..දැන් එහි තවත් අලුත් පුදුම කිරීමක් ඈ ඉදිරිපිට විසල් වේදිකාවක් මත තබා තිබිණි..

කාල යානයක්..? මේ ඇත්තක්මද ??

Top