ඔහුට අවට පරිසරය පිළිබඳ අවබෝධයක් තිබුණේ නෑ. වටපිට බැලුවේ යම් අදහසක් ගන්න. තමා ඉන්නේ රෝහලක බව නම් තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
ඒත් සිදු වූයේ කුමක් ද යන්න ගැන නිච්චියක් නැතිව දෑස් අයා කැරකෙන විදුලි පංකාව දෙස බලා උන්නා... එය තරමක් පරණ වර්ගයේ සිවිලිම් ෆෑන් එකක්. රවුම් කිහිපයක් කැරකෙද්දී කිරි කිරි ගාලා හඬක් ඇහෙන්න ගත්ත. ඔහුගෙ දැහැන බින්දේ ඒ හඬ.
දළද මාලිගාවේ දි කුමක් උනා ද , කොහොමද මම මෙතෙන්ට ආවේ, ඔහුගේ හිත සිතුවිලි දැහැනක පැටලුණා. දළදා මාලිගාවේ දි කුමක් හෝ සිදු වෙලා තියෙනවා කියලා ඔහුට තේරුණා. පහුගිය දින කීපය පුරා නොයෙක් විදියේ අද්භූත අත්දැකීම් මාලාවකින් ඔළුව කුරවලු වී ගොස් ඇති බව සූරිට වැටහුණා. ඒත් ඒවායේ අගක් මුලක් හොයාගන්න තරම් හැකියාවක් තිබුණේ නෑ
........................................................................
" නංගියේ මට වැදගත් කාරණාවක් උඹට කියන්න තියෙනවා ."
"ඉතින් අක්කේ කියන්න ... "
"මේවා එහෙම කියන්න බෑ. බිත්තිවලටත් කන් තියෙනවා කියලා අහලා නැද්ද?"
"ඉතින් මොකක්ද කරන්නේ එහෙනම් "
"ඕන් මගේ චීත්තය ඇති ඔතැන. නාලා අදින්න මොකක් හරි අරන් වරෙන් ළිඳ ගාවට යන්න. මං එහෙදි කියන්නම් අමුතු කතාවක්. හා හා ඉක්මන් කොරහං..."
ඕපාදූපයක්, අලුත් කතාවක් අහන්න ගෑනු රුසියොලුනේ. ඒක අහනකම් නින්ද යන්නෙත් නෑ වගේ නිර්මලීටත් පුදුම නොසන්සුන්කමක් තමයි තිබුණේ.
"උඹ සබන් පෙට්ටිය ගත්ත ද ..."
"ආනේ කලබලේට ඒකත් අමතක උනා..."
හිරු ටිකෙන් ටික බටහිර අහසේ කෙළවරට ඇවිත් තිබුණා. ඔවුන්ගේ සෙවණැලි ඔවුන්ට වඩා ගොඩක් දිගට ඇදෙනවා. යසවතී හා නිර්මලී නාන ළිඳට යමින් හිටියේ. ළිඳ තිබුණේ නිවසට වඩා ටිකක් දුරින්. ළිඳට යන පාර දෙපස ම තරමක් උසට වැඩුණු ගස් වවලා තිබුණා. ඒ නිසා පාළු බවක් මෙන් ම ඇඟට සනීපෙකුත් දැනෙනව.
ළිඳ ආසන්නයේ විශාල කුඹුක් ගසක් තිබුණා. ඒ නිසා ම ළිඳේ වතුර ගොඩක් සීතල යි. නිල් කැටේට වතුර පිරිලා ආසාවේ බෑ. නාන්න අදහසක් නැති කෙනෙකුට උනත් එය දැක්කා ම නාන්න නම් හිතෙනවා ම තමයි.
දෙදෙනා ම කතාබහක් නැතුව ළිඳට ආවත් හිත් ඇතුළෙන් නම් ගොඩක් දේවල් කතා උනේ පිළිවෙළක් නැතුව. වටපිට බැලූ යසවතී මහා කතාවක් කියන්න සැරසෙන විත්තිය නම් නිර්මලීට වැටහෙන්න එච්චර වෙලා ගියේ නැ.
"නංගී මෙව්වා විශ්වාස කොරයි ද කියලා නම් දන්නෑ. ඒත් මම සහසුද්දෙන් ම දැකපු දේවල් "
"හොල්මං කතාවක් වගේ. මට නම් බයත් හිතෙනවා "
"අනේ මන්දා වෙලාවකට හිතෙනවා මහ විකාර කියලා. ඒත් අහක් කරන්න බෑ මේවා "
"මටත් මේ ටික දොහක ඉදලා යංත යංතං එක එක නොතේරෙන දේවල් වෙනවා වගේ දැනුණා. කියන්න ඉතින් අක්කේ ඒ කතාව ."
"මේක දැන් අවුරුදු විසිදෙකකට විතර ඉස්සරහ වෙච්ච දෙයක්. එතකොට මේ ගම්මාන මෙච්චර දියුණු නෑ. අපි බැන්දේ ටිකක් වයසට ගිහින්. ගොඩක් කල් ආදරේ කළා. දෙන්නට දෙන්න පණ වගේ හිටියේ. බැඳල අවුරුදු හතක් ගියා. ඒත්.. . අපිට දරු පැංචෙක් හිටියේ නෑ. නොකළ දෙයක් නෑ. එයත් ගොඩක් දුකින් හිටියේ. නොගිය දේවාලයක් නෑ. නොකළ බලි තොවිලයක් නෑ. ඒත් දරුවෙක් තියා ලකුණක්වත් පහළ උනේනෑ. පුදුම කියන්නේ අපි දෙන්නගේ කිසිම වරදක් නෑ කියලා දොස්තරලා කිව්වා."
නිර්මලීට මොකුත් නොකියා කතාවට කන්දී ගෙන හිටියා. යසවතී කියන්න හදන්නේ අමුතු කතාවක් කියලා ඈට තේරුණා. ඒ නොඉවසිල්ලෙන් ඈ නිහඬ වෙලා ම හිටියා.
"නවගමු දේවාලෙට ගිහින් පත්තිනි මෑණියන්ට කියලා එන ගමන් ඕන්නම් හතට වගේ ඇති මයෙ හිතේ. හන්දියේ ඉදලා ටෝච් එක පත්තු කරන් අපි කතා කර කර පයින් ආවේ. එකපාරට වෙල් යායෙන් ගෑනු ළමයෙක් කෑගහන සද්දයක් ඇහුණා."
"මොකක්ද අක්කේ. හොල්මන් ද "
"නෑ නෑ ඇත්ත ම දැරිවියක්. අපේ උන්දැ ඒ දවස්වල බොහොම හැන්ඩියා. ආයේ දෙතුන් දෙනෙක්ට තනියෙන් වග කියාවී. මෙයා සරම කැහිපොට ගහලා මට කීවා 'හාමිනේ චුට්ටක් ඉන්න 'කියලා."
" එච්චරයි ... සටපට ගාලා සද්දෙ ඇහුණා. වාහනයක් වේගෙන් යනවා ඇහුණා."
"ඉතින් එයාට කරදරයක් නැද්ද ."
"එයා ආවේ ...අනේ...දැනුත් ..මට ඒ..ඇස්...මුහුණ ....."
"අනේ අක්කේ අගේ නොකර කියන්න කෝ. "
නිර්මලී ඒ වෙනකොට කතාවට වහවැටිලා උන්නේ..
"පුදුම ලස්සන ගෑනු ළමයෙක් ඇස් බෝල දෙක දිලිසෙනවා. අහිංසක කම උතුරනවා. ඒත් ඒ වෙලාවේ මහා බයකින් වෙවුලුවා. මගේ උරහිසේ ඔලුව ගහගෙන අඬන්න පටන්ගත්තා ."
"මොකද හදියක් වෙලා ද ?"
"නෑ නෑ හොද වෙලාවට අපි ආවේ. එයාගෙ අවැස්ස මස්සිනාලු ඒ. ආදරේ ඉල්ලගෙන පස්සෙන් එනවලු. කෙල්ලට පණ වගේ ආදරේ කරන කොල්ලෙක් ඉදලා. මේ කොල්ලා වසවර්තියෙක්ලු. බෑ කීවම යාළුවෙක් එක්ක එකතුවෙලා ත්‍රීවිල් එකක බලෙන් දාන් ඇවිත් ".
"අම්මෝ අක්කෙ මගේ ඇගේ ලේ වතුර උනා"
ඈ දිග සුසුමක් වාතලයට මුදාහරිමින් කීවා.
"එතකොට එයාගෙ දෙමාපියන්. එයාලා මේක දන්නැද්ද?"
"ඉතින් අහගන්නකො කතාව. ටික වෙලාවක් යනකං ඒ දැරිවිගෙන් හරි විස්තරයක් දැනගන්න බැරි උනා. පස්සේ කිව්වා විස්තරේ"
"අනේ අක්කේ මොකක්ද වෙලා තියෙන්නේ ? "
එවර නම් නිර්මලීට ඉවසීම නැති උනා.
"කිලෝමීටර් දහයක්, දොළහක් දුර ගෙවාගෙන මහ රෑ අපි දෙන්න ගියා. අම්මා දැක්කා විතරයි වැලහින්නක් වගෙ බදාගෙනෙ ඇඩුවේ. මගෙ බඩ පපුව දාලා ගියා. මට පුදුම ලෝබකමක් ඇති උනා. ඒ වගේ දරුවෙක් වාසනාවක් කියලා හිතුණා."
"එයාලා ගොඩක් බයවෙලා ඉන්න ඇත්තෙ."
"මොනවා අහනවද ඇස්වලින් බය බේරෙනවා මම දැක්කා. පව් දුප්පත් මිනිස්සු. අපි එන්න හදනකොට කකුල් දෙක ළග වැඳ වැටිලා අඬන්න ගත්තා."
"අනේ අම්මේ , තාත්තෙ මම ඔයාලට ජීවිතේ ණයයි. මම කොහොමහරි ඒකට උදව් කරනවා. මැරෙන්න කලින්. ඔයාලට වාසනාවන්ත බබෙක් අනිවාර්යයෙන් ලැබෙයි දළදා හිමිගෙ පිහිටෙන්."
"ඒත් අපිට ඒක ඒ වෙනකොට හීනයක් වෙලා තිබුණේ."
"එතකොට ඊට පස්සෙ ද රසංජන ලැබුණෙ."
"ආ... අහන්නකො ඊට පස්සෙනේ ලස්සන ම සිද්ධිය උනේ."
මේ කතාව එන්න එන්නම රසවෙනවා. මේ දෙන්නා ළිඳ ළඟ ගල උඩ වාඩිවෙලා කතා කියනවා. නාන පාටක් නම් පේන්නෑ.
"ඔය සිද්ධිය වෙලා හරියට දවස් හතයි. මට හොදට මතකයි. පෙබරවාරි පහළොව උදේ හතරට විතර ඇති..."
"මොකක්ද පෙබරවාරි පහළොව ..."
"ඔව් ඇයි මොකද බයවෙලා .."
"නෑ නෑ කියන්න කෝ."
"සුදු සාරියක්. හරිම ලස්සනයි . එයා මෙහෙම කිව්වා "
"අම්මේ, මම ඔයා ළඟට එනවා. මාව ආදරෙන් බලාගන්න"
"ආ...ඕ...මාරයි නේ ඉතින් ... "
..........................................................................
ඊට පස්සෙ මොකද උනේ.... තව ටිකක් දුර යන්න වෙනවා...යමුද ...
ලබන සතියට