මගේ පවුල නැති වෙනව කියන්නෙ මගෙ ආයු කාලයත් අඩු වෙනවා (169 වන ලිපිය)

post-title

මීට පෙර ගජනායක සමඟ මුලින්ම Room- 13 වෙත එමින් සිටියදී ඈ දුටුවේ පෙරකී ශාලාවේ එක් කෙළවරක සිට තැනින් තැන දමා තිබූ ඇඳන් රැසකි. ඒ සෑම ඇඳක්ම වීදුරු ආවරණයකින් සම්පූර්ණයෙන්ම වටකර තිබුණු අතර ඒ කලාපයම නැවතත් වීදුරු බිත්තියකින් වෙන් කර තිබිණි. වැදගත්ම කරුණ වූයේ සෑම ඇඳකම පාහේ වැතිරී සිටියේ අමුතු වර්ගයක සතුන් කොට්ඨාසයක් වීමය. ප්‍රමාණයෙන් තරමක් කුඩා මිනිස් හැඩයකට සමාන සිරුරැති ඔවුන් දුටු හැටියේම මායා ක්ලාන්ත වූයේ ඇයි දැයි සිතාගැනීමට අපහසු නැත. එසේ වුවත් ගජනායකද කී පරිදි එය සිහිනයක් ලෙසම සිතාගැනීමට තව දුරටත් ඉඩක් තිබුණා නම් කොතරම් සහනයක් දැයි මායාට නොසිතුණාම නොවේ.

තමා මොහොතකට පෙර දුටු ජීවියා පෘථිවියේ ජීවියෙක් නම් විය නොහැකි බව ඇයට ස්ථීරය. එසේනම් තමා පෙර දුටු වීදුරු තුළ සැතපී සිටි ජීවීයෙක් එළියට පැමිණියා විය යුතුය. සැබවින්ම පිටසක්වළ ජීවින් මෙලෙස රඳවා තබා ගන්නවානම් අනිවාර්යයෙන් ම අධි ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ එය සිදු විය යුතුව ඇත. ලොව රහසිගතම හා බලවත්ම ගුවන් හමුදා කඳවුර වන මෙහි ආරක්ෂාව සම්බන්ධ ව විවාදයක් පැවතිය යුතුද නැත. එහෙත් එවන් ක්‍රමවේද තිබියදීත් තමා දුටු ජීවියා නිදැල්ලේ සැරිසරන්නේ කෙසේද ? එයින් පිටතට පැමිණියේ කෙසේද ? ඇරත් තමා වටාම සිදුවන මේ අබිරහස කුමක්ද..? 

"දෙවෙනි පාරටත් දැක්කෙ හීනයක් වෙන්න බැරි බව ස්ථීරයි...ඒත් දැකපු යුද්ධෙ නම් හීනයක් වගේමයි..."

ඇය තදින් දෑස් පියා ගත්තේ මනස සන්සුන් කරගැනීමට සිතාය. එහෙත් පියාගත් ඇස් ඇතුළේ සිටියේ පෙර කී කාන්තිමත් නෙත් සඟළයි. අවිහිංසක බැල්මකින් ඌ මායා දෙස බලා සිටියේය. ඇයට පියාගත් දෙනෙත යළි විවෘත කිරීමට ඇවැසි වුවත් එයට කිසිදු ශක්තියක් ඇගේ ගතට හෝ සිතට තිබුණේ නැත. දීප්තිය වෙනස් වෙමින් දිදුළන අලු නිල් පැහැ ඒ ඇස් තුළ වූ නොදන්නා ලෝකයක මායා ගිලී යන බව ඇයට හැඟිණි.

* * *

වසර ගණනකට පෙර ආක්ටික් කලාපයේ හිම මතට රහසිගතවම කඩා වැටුණ " HERA - I " පිටසක්වළ අභ්‍යවකාශ යානය සොයාගැනීමත් සමග අභ්‍යවකාශ යානා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති වී තිබිණි.

ඒ මත පදනම්ව පෘථිවියේ විද්‍යාර්ථීන්ගේ දස්කමින් නිමැවුණ "ෆීනීක්ස් TX0 23 " දැවැන්ත යානයට පෘථිවියේ සිට ආලෝක වර්ෂ ට්‍රිලියන හයකටත් එහා පවතින, පෘථිවි බසින් " ආවුරෝරා " ලෙස හැඳින්වෙන සරුසාර ග්‍රහලොවට ලඟා වීමට ගතවී තිබුණේ පැයකටත් අඩු කාලයකි. ගමනේ අරමුණ වූයේ සාමාන්‍ය අභ්‍යවකාශ චාරිකාවක් අත් හදා බැලීම පමණි. "HERA - I " තුළ අන්තර්ගතව තිබූ අති විශාල දත්ත ගබඩාව හා විස්කම් තාක්ෂණය නිසා නොවෙන්නට මෙබඳු හපන්කමක් කිරීමට පෘථිවිය ට නම් තවත් අවුරුදු ගණනාවක්ම ගතවෙනු ඇත. පෘථිවි වැසියන් ආවුරෝරාවට සාදරයෙන් පිලිගනු ලැබ තිබිණි. ස්වභාවයෙන්ම ආවුරෝරාවරු මෘදු සිත් ඇත්තෝ වූ බව විශ්වයම දන්නා රහසක්ව තිබිණි.

ආවුරෝරා පෘථිවිය ට සාපේක්ෂව කුඩා ග්‍රහලොවකි. ලා දම් පැහැයෙන් දිස්වන වායු ගෝලයක් හා ජලය සහිත මේ ග්‍රහලොව සමන්විත වන්නේ වෙනමම ජෛව සංයුතියක් සහිත ජීවී ප්‍රජාවකිනි. ඔවුන් හැඩයෙන්, පැහැයෙන්, පැවැත්මෙන් මෙන්ම සන්නිවේදනයයෙන් පවා මිනිසුන් වෙතින් සෑහෙන්න වෙනස් විය. හරිත ශාක හෝ එවැනි ප්‍රභාසංස්ලේෂීන් මෙහි දක්නට නොවූ අතර ආහාර පාන ගැනීමක් ද නොවුණි. ඔවුන් ස්වාභාවිකවම පරිසරයේ ඇති ශක්තිය භාවිතා කළා පමණි. අවකාශයේ ඇති ශක්තිය ඔවුන් තුළින් නිරන්තර ගලනය වෙමින් පැවතීම නිසා කාබනික ආහාර හෝ එයින් ලබාගත් ශක්තීන් ඔවුන්ට අවශ්‍ය නොවීය.

සියල්ල මෙසේ වුවද මීටත් වඩා සිත් බඳනා තවත් සුවිශේෂී ලක්ෂණයක් මේ ග්‍රහලොව සතුව තිබිණි. එනම් මේ ලෝකයේ පොළොව ඉතා වටිනා එමෙන්ම අතිශය දුර්ලභ ඛණිජ හා පාෂාණ වල රජ දහනක් වීමය.

පෘථිවි වාසීනට ධනයේ හෝ සැපයේ ලද දෙයින් තෘප්තිමත් වීමක් කවදාවත් නැත. අහඹු පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස ගොඩ වැදුණු මේ ආගන්තුක ලොවේ බිම නිධන් වී ඇති මහා ධන උල්පත පිළිබඳ කෑදර සිතක් හටගත්තේ පෘථිවියේ දියුණුතම යැයි කියන රාජ්‍ය වල ඉහළ පෙළේ තනතුරු දරණ එක් අයෙකුට දෙන්නෙකුට නොවේ.

මෙසේ දින කිහිපයක් ඇතුළත ගොඩ නැංවුණ සැලසුම් ක්‍රියාත්මක වීමට ගතවූයේ සුලු මොහොතක් පමණක් වූ අතර ඒ උදා වූ දෛවෝපගත දිනයේ යානය ගොඩ බස්වා තිබූ ප්‍රදේශය ආශ්‍රිත සියල්ල ගිනි බත් වීමට කටයුතු සලස්වා තිබිණි. දහස් ගණනක් ජීවීන් ගින්නෙන් දැවී පිළිස්සී යද්දී ඔවුන් නඟන විලාප මායා ගෙ දෙසවන් තුළ වේදනාවෙන් පුපුරු ගැසුවේය. මේ සියල්ල අතර වහලුන් ලෙස අල්ලා යානයට දමා බැඳ දමා තිබූ එහි ස්වදේශීය ජීවීන් සිව්දෙනා තම නිජබිමට වන විනාශය දෙස බලාගෙන සිටියේ කඩා වැටුණ හදවතිනි. සියල්ල විනාශ වූ කල ඒ අවට ප්‍රදේශයම හාරා මතු කරගත් මහා ධන නිධානයත් රැගත් යානය නැවත පෘථිවිය කරා එන්නට පිටත් වන අයුරු මායා ද බලා සිටියේ දොම්නස් හදිනි.

ඈටත් නොදැනීම ඇගේ තදින් පියැවුණ නෙතින් කඳුලු කඩා වැටෙන්නට ඇත.

සීතල එහෙත් මෘදු දෑතකින් ඇගේ දෙනෙත් අග පිරිමදිනු ඇයට දැණිනි.. ඈට දෙනෙත් විවර කිරීමට අවසර ලැබී තිබිණි.

ඒ ඇස් තවදුරටත් ජීවමානවම ඇය දෙස බලාසිටියාය. ඇයට බියක් හෝ චකිතයක් නොදැනුණු අතර ඒ වෙනුවට තිබුණේ ආවුරෝරාවරු කෙරෙහි උපන් දයානුකම්පාවක් පමණි. මේ ද ෆීනික්ස් රැගෙන ආ සිව් දෙනාගෙන් එක් අයෙකි. තවත් ආවුරෝරා වැසියෙකි.

" එහෙනම් මෙයා තමයි මාත් එක්ක මේ සෙල්ලම් කරේ.." මායා ගේ සැකය නිවැරැදි ය.

" ඒත් ඇයි ? මොකටද ??" ...

ඒ පැනය ඈ ඇසුවේ ඇගෙන්ම නමුත් තමා අබියස ඇති දෙනෙත් දෙස ඍජුව බලමිනි.

ඌ නෙත් පිය සැලුවේ යමක් කීමට මෙනි. ඇහිපිය සැලීමෙන් පමණක් ඒ කී දේ මායාට වැටහුණේ ද පුදුම සහගත ලෙසිනි. තවත් මොහොතක් හෝ දෙකක් ඒ ඇස් වල කිමිදෙමින් මායා තමන්ට වූ ප්‍රශ්නවලට පිළිතුරු සෙව්වාය. මායා පිටසක්වළ ජීවියා සමඟ මැනවින් අදහස් හුවමාරු කරගනිමින් උන්නාය. සිත තුළ තිබූ බිය වෙනුවට දැන් ඇත්තේ කුතුහලය හා අනුකම්පාවක් පමණි. ආවුරෝරාවරු කෙරෙහි ඇගේ සිතේ හටගත්තේ මහත් දුකකි. පෘථිවිය තුළ මහා පරිමාණයෙන් මානව හිමිකම් වෙනුවෙන් හඬනඟන ඇතැම් සුදු රෙදි වලින් වැසුණ ප්‍රබල රාජ්‍යයන් යැයි කියාගන්නා බහුතර රටවල සැබෑ තත්ත්වය මෙය බව ඈට හැඟී ගියේ ඈ පැහැර ගත් දිනයේදීමය. තමා මෙන්ම අසාධාරණ පැහැර ගැනීමකට ලක්වූ මේ අසරණයා කෙරෙහි කුමට බිය වන්නටද..? 

ඔහු මායාට පැවසූ පරිදි, ඇය දුටුවේ සත්‍ය සිදුවීමක මතකාවර්ජනයකි. තවත් ලෙසකින් කියතිත් එය සියැසින් දුටු ආවුරෝරා වැසියාගේ මතකය තුළට ඇය පිවිසීමකි. ඔහුගේ හැඟීම් තුළින් එය විවරණය කළ මායාගේ සිතේ ඇතිවූ කම්පාව පිළිබඳව පුදුම විය යුතු නැත. 

මීට මාස අටකට පෙර සැබැවින්ම සිදුවූ මේ සිදුවීම නුදුරේම නැවත සිදුවීමට නියමිතව ඇති බව මායා දැනගත්තේ මිතුරු ආවුරෝරා වැසියාගෙනි. වඩාත් වැදගත්ම මෙන්ම ඛේදනීයම කාරණය වූයේ දැන හෝ නොදැන මෙවර එයට ප්‍රධාන තාක්ෂණික සහය සපයන්නේ මායා වීමය. කොටින්ම කිවහොත් මායා සහ ඇයගේ සොයාගැනීම නැතහොත් මෙවර නැවත පෘථිවි වාසීන් ආවුරෝරා ආක්‍රමණය නොකරනු ඇත. 

එහෙත්,

මින් පෙර ලෙසටම ආවුරෝරා තරණයට මොවුන්ට නොහැකි වී ඇත්තේ ඇයි ?? 

ඊට හේතුව මෙයයි. මින් පෙර භාවිත වූ කඩාවැටුණු ෆීනීක්ස් (කෙටි නමින් හඳුන්වමු ) යානය සතුව එම ගමනට අවශ්‍ය වූ සියලු මූලික අවශ්‍යතා කලින්ම සැපිරී තිබිණි. තවත් ලෙසකින් කිවහොත් යානය මොවුන් සතු වූයේ එම ගමනට අදාළව අවශ්‍ය වන සියලු භෞතික සම්පත්ද සහිතවය. මෙහි වැදගත්ම අංගය වූ "ප්‍රති පදාර්ථ" පැවතියේ සීමා සහිතව බැවින් මෙවර ගමනට එය ප්‍රමාණවත් නොවන බව මෙහෙයුම භාර නිළධාරීන් කල් තියාම දෑ සිටියහ. ඊට අවශ්‍ය ප්‍රති පදාර්ථ නිපදවීමට සිය සම්පූර්ණ කාලය ධනය හා ශ්‍රමය වැය කරමින් ඒ සඳහා අවුරුදු දෙකක කාලයක් ඇස්තමේන්තු ගතකර වෙහෙසෙමින් සිටි මොවුන්ට ඒ සියල්ල කණපිට පෙරළවමින් මායාගේ නව සොයාගැනීම කණ වැටුණ මොහොතේ සිට මේ ක්‍රියාත්මක වන්නේ තවත් ඉක්මන් ආවුරෝරා ගමනයක් වෙනුවෙන් වූ වැඩ සටහනය.

ඇත්තෙන්ම කිවහොත් මායා දැනටමත් දන්නා පරිදි මායාගේ පර්‍යේෂණාගාරය තුළ තිබූ නිදර්ශක සාම්පලය පවා මේ වනවිටත් මෙහි බලධාරීන් විසින් රැගෙන විත් තිබූ අතර තවත් අවශ්‍ය වූයේ මිලිග්‍රෑම් ගණනක පමණ පදාර්ථ කොටසකි. මායාගේ මූලිකත්වයෙන් මේ වනවිට " room -13 " තුළ නිපදවෙමින් පැවතුණේ එම කොටසයි. මේ වනවිටත් එහි මූලික සියලු කටයුතු සම්පූර්ණ වී ඇති අතර මෙතනින් එහාට මායා නැතත් පර්‍යේෂණයේ ඉතිරිය කරගෙන යාමට හැකියාව room -13 හි විද්‍යාර්ථීන් කෙරෙහි ඇති බව මතක් වුණු මායාට දැනුණේ තමා ගැනම දැඩි පසුතැවිල්ලකි..

ෆීනීක්ස් දුටු මොහොතේම තමාට හැඟුණු අමුතු හැඟීම මායා සිහිපත් කළේ වේදනාවෙනි. තමාට මේ බව කලින් සොයාබැලීමට තිබුණා නොවේද ? එහෙත් අසරණ තමා තනිවම මෙහි මොනවා කරන්නද..? 

" තව කොච්චර කාලයක් තියෙනව ද මේ ගමනට ?" මායා සිතින් පැනයක් මතු කළේ තමා ඉදිරිපස තවමත් සිටගෙන සිටින මේ අරුම පුදුම ජීවියා දෙස බලමිනි. ඔහුගේ ඇස් නැවතත් දිදුළන්නට පටන් ගත්තේය..

" එක දවසයි " මායාට පිළිතුර දැණිනි. ඒ පිළිතුරත් සමඟ ඇය වඩාත් කලබලයට හා වික්ශිපිත භාවයට පත් විය. ඒ බව ජීවියාටද දැණිනි.

"දුක් වෙන්න එපා. කරන්න එක දෙයක් ඉතුරු වෙලා තියෙනව ... මේක කරන්න පුලුවන් එකම කෙනාත් ඔබතුමිය විතරයි ... මායා ... ඔබ කැමති නම් ටිකක් සංකීර්ණ ඒත් ක්ෂණික පියවරකින් මේ හැමදේම වෙනස් කරන්න පුලුවන් ... මගේ ලෝකය දෙවෙනි වතාවටත් විනාශ වෙන එක වළක්වගන්න පුලුවන් "

"මගේ පවුල තවමත් ජීවතුන් අතර ඉන්නවා මගේ ලෝකයේ. එයාල හැමෝම මැරෙන්නයි යන්නෙ. මගේ ශක්තිය එයාල අතර හුවමාරු වෙලයි තියෙන්නෙ. අපි ශක්තිය ආහාරයට ගන්න ශක්තිය බෙදාගෙන බැඳීම් හදාගන්න ජීවියො. ඉතින් මගේ පවුල නැති වෙනව කියන්නෙ මගෙ ආයු කාලයත් අඩු වෙනවා. මාවත් දුර්වල වෙනවා. එහෙම ජීවත් වෙන එක ආවුරෝරා වැසියන්ට අනුව විශාල වේදනාවක්. දැනටමත් අපි අතර පවතින දුර නිසා මං වගේම එයාලත් ශක්තියෙන් හීන වෙලා දුකට පත්වෙලයි ඉන්නෙ... දවසින් දවස අපි තව දුර්වල වෙනවා. මාත් එක්ක ආව අනික් තුන් දෙනාගෙන් දෙන්නෙක්ම මේ වෙනකොටත් අඳුරේ මහා ශක්ති වළාවට බිලි වුණා. ඒ කියන්නෙ එයාලා අපිව දාල ගියා. 

ඉතිරි මගේ ආවුරෝරා සහෝදරයත් ජීවිතයත් මරණයත් අතර සටන් වදිනවා මේක ඇතුළෙම. 

මායා, අපිට උදව් කරන්න... ඔයාට අපේ විශ්වයේ බලගතුම ආලෝකයේ මහා ශක්තියෙන් ආශිර්වාද ලැබේවි.."

මායා පැටලී උන්නාය..මේ ඇසෙන්නේ මොනවාද..?? ...

ලබන සතියට

Top