"ආ මේ ධර්මසිරි අයියනේ, මොකෝ මේ කලබලෙන්...ඒක නෙවෙයි අද රස්සවට ගියේ නැතෙයි."
"අනේ, සේතුපාල මල්ලිනේ. දැක්කේ නෑ. මම වෙන කල්පනාවකින් ආවේ. උදේ ලේස්තිත් උනා. එකපාරට ඇග පණ නැති උනා. කරකැවිල්ලත් වගේ."
"ඈ අයියේ කොලොස්ටරෝල්, ප්‍රෙෂර් චැක් කර ගත්ත නම් හොඳයි නේ."
"ඒක නම් හොඳයි තමයි. ඊට ඉස්සෙල්ලා යනවා ඩිංගිරාල මාමා හදිගැහෙන්න. ඉංග්‍රීසි බේත් හොදා තමයි. පුංචි එකා කාලේ ඉදලා අපේ හැම ලෙඩක් ම බැලුවේ මාමා තමා. අපිට දැන් මේවා පත්තියං වෙලා බං."
"ඔව් මේ ගමේ පිනකට උපන් දේවතාවෙක්නේ අපේ වෙද මාමා. ඒත් රටේ උන්ට අගේ නැති උනා. අර මොකක්ද පිළිකා නාශකේකුත් හොයාගත්තනේ."
"නැතුව වට්ටෝරුව සල්ලිවලට ගන්න නම් පොදි බැඳන් ආවා. ඒත් උදව් කරන්න කවුරුවත් නෑ. ඒකට ඕන එක බේතක් දුර්ලභ ලු. මාමට තනියෙන් කරගන්න බෑ කීවා. ඒත් පුළුවන් හැටියට ගමේ කීදෙනක් නම් සනීප කොළා ද ..."
"ආ කතාවෙන් මට පරක්කු උනා අයියේ, පොඩි එකා බලාගෙන ඇති මං එනකම්. හන්දියට ගියා මේන් මේ දියසායම් පෙට්ටිය ගේන්න. රෑ කීවේ... කොහෙද එළියට බහින්න පුළුවනෑ රෑට ."
"හොඳයි හොඳයි මං යන්නම්"
ධර්මසිරිගේ හිතේ යම් යම් සැක සංකා පහළ නොවුණා නොවේ. ඇත්තටම ඒ මිනිහා කවුද? ඔය කියන සහෝදරයෙක් ද ? නැත්නම් හමුදා නිලධාරියෙක් ද ? සහෝදරයෙක් නම් හමුදාවෙන් නොසොයාවි ද ? හමුදාවෙ නම් සහෝදරයන් නොසොයාවි ද? කළ හොද පස්සෙන් එන්නට ද බැරි නැත. මිනීමැරුම්, පැහැරගැනීම්, අතුරුදන්වීම් ගැන කොතෙකුත් දෑ පුවත්පත් හා රේඩියෝවෙන් දකින්න අසන්න ලැබේ.
ඒත් ඔහු ජීවියෙකි. රෝගියෙක් ඔය කුමන ගණයටවත් දැමිය හැකි ද ?
ධර්මසිරි එනවිටත් වෙදරාල ලෙඩෙක් බලමින් උන්නේ. උදේ පාන්දර උනත් උන්දැගෙ ඇබ්බැහිය නම් ඇරී නැත. වරදක් කියා කරන්නේ එපමණකි. දකුණතින් ඔහොම ඉන්න යැයි ලෙඩාට සන්කළ ඔහු මදක් එහාට ගියා. සිය වම් අතේ දබරැඟිල්ල හා මැදඟිල්ල දෙතොල් අතර රදවා ඇගිලි අතර තිබූ හිඩැසින් රක්ත වර්ණ බුලත් කෙළ පහර ඈතට විහිදි ගියේ ය. නැවැතත් ඔහුගේ මුව රිද්මයට උස්පහත් වේ.
"බයවෙන්න කාරි නෑ. මේ සාමාන්‍ය උණක් මම කිව් විදියට බේත් ටික කොළා ම හරි. මේන් මේ කැඳ හරියට දීපංකො ළමයට."
"වී පොරි තුන් මිටක් විතර අරගන්න... තුනී රෙදි කෑල්ලක පොට්ටනිය වගේ හදාගෙන ඔය වතුර කෝප්ප, අඬු කෝප්ප හතරක් විතර දාලා හොදට තැම්බෙන්න අරිනවා. පස්සෙ පොට්ටනිය හොදට මිරිකලා අයින් කරන්න. පැහිච්ච වතුරට ලුණු ටිකක් දාලා පොවන්න ආයේ බුදුසරණින් ඇගේ අමාරු ඔක්කොම සුවයි."
බොහොම පින් මාමේ."
"හා... හා... කිව් විදියට බේත් කොරහකෝ. තෙරුවන් සරණයි ."
"වාඩිවෙයංකෝ මෙහෙන්. මේ උදේ පාන්දර කීපදෙනෙක් ආවා. උණ හැදිලා. බෝවෙන උණක් තියෙනවා දැන් ."
කොපමණ රෝගීන් මෙහි පැමිණ සුවය ලබා යන්නට ඇද්ද? මේ අපූරු මිනිහා දෙස ඔහු බලා සිටියේ උතුරා ගිය බැතියෙනි. පණස්විය නොඉක්මවූ ඩිංගිරාල බැලූ බැල්මට හතළිහකට වඩා පෙනෙන්නේ නැත. කායික මෙන් ම මානසික යහපැවැත්ම ඊට හේතුවන්නට ඇත. ඔහු පිල මත වාඩි විය.
"මේ මොකෝ ළමයො කල්පනාව."
"කල්පනා කරන්න නම් දේවල් ඉවරයක් නෑ මාමේ. ඒක නෙවෙයි කොහොමද ලෙඩාට."
"ස්ස්ස්ස්ස්..... " ඔහු සිය දබරැඟිල්ල මුවමත තබා කීවේ මෙතැන ඒවා කතා කරන්න එපා බව ඔහුට පැහැදිලි විය."
"වරෙන්.. වරෙන්.. මාත්තෙක්ක. සුගුණො, ඩිංගිත්තක් පාර බලහං."
ඔහු වෙදගෙදර නොදන්නා තැනක් නැත. පුංචි සන්ධියේ සිට එහි උන් හැටි මතකය. ඒ පවුල් අතර වූ දැඩි හිතවත්කම නිසා ය.
"මේං මෙහෙන් ඉක්මනට වරෙන්."
ඔහු කුඩා මිටි කාමරයකට ඇතුළු වන්නට කීවේ ය. පුදුමෙකි.
"ඔන්න ඔය කබඩ්ඩෙක චුට්ටක් එහාට කරන්න උදව් වෙයං."
තනිකර කළුවර ලීයෙන් තැනූ කැටයම් කළ අපූරු කබඩ් එකකි එය. ඒ යටින් තරප්පු පේළියක්. උමං කාමරයක්. ඔහු විමතියෙන් ඒ දෙස බලා සිටියේ ය.
"හා ... හා ... පුදුම වෙන්න කාරිනෑ . මං කියන්නම් ඒවා ගැන පස්සෙන් පහු. දැන් බහින්න පරෙස්සමින් ."
"ඔය ඉන්නේ ලෙඩා. මේකේ ලයිට් නෑ. මේං මේ පැට්ට්‍රෝල් ලාම්පුව තමයි ඒ කාලේ ඉදලා මේක එළිය කරේ. ඒක දැන් අබලන්. ඕං ඔතැන චිමිණිය ඇති. පොඩ්ඩක් ගනින් මෙහාට."
චිමිණි එළියෙන් ඔහුගේ මුහුණ යාන්තං පෙනුණි. උදේ කලබලේට ඒකවත් බලාගන්න බැරි වී ඇති බැව් ඔහුට වැටහිණ.
"ඈ මෙයා නාඹර තරුණයෙක් නේ. මම හිතුවෙ."
"හ්ම්ම්... ඇගපත පුරෝදාලා හිටියට අවුරුදු දහනමේක විස්සක කොලුගැටයෙක්. වාවගන්න බැරි උනා අප්පේ. මොන හිතකින් මෙහෙම කරා ද කියලා ."
"ඉතින් එයාට අමාරුයි ද ගොඩක්. තාම සිහියක් නෑනේ."
"සෑහෙන ලේ ගිහින්. පුදුම වාසනාවක් තිබිලා පණකෙන්ද රැකගන්න. නැත්නම් මෙලහට ..".
"එච්චරට ම... " ඔහු සුසුමක් හෙළුවේය.
"මම විජහට ලේවරැල්ල, කළුවැරණිය, අමුකහ කොටලා මතුරලා හැමතැනකම ගෑවා. දෙයියන්ගේ පිහිටෙන් ඒ සැණින් ලේ යන එක නැවතුණා. තුවාල නම් වේලෙයි ඉක්මනට. "
"ආ එහෙනම් ඉක්මනට හොදවේවි ද? මාමේ"
"නෑ ළමයෝ, එච්චර සැහැල්ලුවෙන් හිතන්න එපා. දරුණු විදියට පහර දීලා. හැමතැනම කපලා. මට මෙයා ව හොද කරන්න පුළුවන් ඒත් ..."
"ඇයි ඒත්..."
"හිසේ පිටුපසට දරුණු පහරක් වැදිලා. ඒක ගොඩක් භයානකයි. සමහර විට මතකය නොඑන්නට පුළුවන්. එක්කො කාලයක් ගිහින් එන්න පුළුවන්. ඒකට නම් ඉවසන්න වෙනවා. එතකම් මෙයා ව හංගගෙන ඉන්න වෙනවා. මට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා"
"එතකොට මාමේ, හැඳුනුම්පත තිබුණෙ නැද්ද ළග "
"මොන... කිසිම දෙයක් නෑ.මේ හදිය කරපු උන් සේරම ගන්න ඇති . ඒවා පස්සෙ බලමුකො. දැන් මෙයා බලාගන්න එක තමයි පුරස්නේ. සුගුණපාල මෙහේ දැම්මොත් එහේ වැඩ හබක්...හ්ම්ම්... බලමුකෝ... බලමුකෝ."
"මාමේ, අපේ ආරස්සාවටත් එක්ක ග්‍රාමසේවකට කිව්වොත් මොකෝ."
අඳුරේ ම ඔහුගේ උපහාසයෙන් පිරි දෑස් තමා වෙත එල්ල වූ බව ධර්මසිරිට පෙනිණි.
"විකාර ද? මට නම් මමවත් විශ්වාස නෑ මේ වෙන දේවල් හැටියට. ගමේ උන් කුටුකුටු ගානවා ඇහුණා හොරෙන් හොරෙන් අරුන්ට උදව් දෙන්නේ මහලොකු ග්‍රාමසේවක කියලා"
"හරි අපි පුළුවන් විදියට පුළුවන් දෙයක් කරමුකෝ."
"මේ ළමයා උනත් නිතර මෙහෙ එන්නෙපා. වටේ ම අඳුරන්නැති උන් දවසෙම හක්කලං කොරනවා. සැකයක් ඇති උනොත් ඔක්කොම වතුරේ."
"මට තේරුනා . ඒත් ඕන උදව්වක් කියන්න. අනික මම හෙට කොළඹ යනව. අනේ මන්දා එහෙත් කොහොමද දන්නෑ."
පෝයට ඇත්තේ දින දෙකකි. එහෙත් හඳ නම් අහසට එන්න කැමැත්තක් නොදක්වන පාටකි. අහස මහා අඳුරේ ගිලී ඇත. ඒ ඝන වලාවක් අරියාදුවට ඇවිත් හෙයිනි. යාංතං හත උනා පමණි. ගෙවල දොරවල් වැසී නිහඬතාවේ ගිලී ඇත.
ටක් ටක් ටක් ටක්
දොරට කවුරුන් හෝ ගසන සද්දෙ නිහඩතාව බිඳ මතුවිය. කාගේත් හිත් මොහොතක් නැවතිණි...
...............................................................................
ඔබටත් එහෙමද ...එන්න ඒ ආවේ කවුදැයි බලන්න ...
ලබන සතියට