කාල සරන්නී කාලාවකාශයේ වීරවරිය - 01 කොටස

post-title

"හෙලෝ ගුඩ් මෝනින් මැඩම් ..."

"ගුඩ් මෝනින් ශාන්.  ඔව් කියන්න..."

" මැඩම්, final approval එක හරි. SASAO  president දැන් තමයි project එක sign කරල තියෙන්නෙ.. Dr. Shiv Narayan මේ දැන් කතා කරල කිව්වෙ.."

" නියමයිනෙ ශාන්.. ඒ කියන්නෙ මේ පාර සමුළුවෙදි ලංකාවෙන් ලෝකෙම හොල්ලන Topic එකක් එළි බහිනවා නේද .."

" ඔව් මැඩම්..මැඩම්ගෙ දක්ෂතාව තමයි ඉතින්. Wish u all the best මැඩම්. ශ්‍රී ලංකාව වෙනුවෙන්ම.. මැඩම්ට ලැබෙන සම්පූර්ණ කාලය පැය පහක්. Presentation එක වගේම Practical experiment එකටත් Chance එකක් ලැබෙනවා. Ready වෙන්නකො එහෙනම් මැඩම්. මං තියන්නම්.."

" හරි ශාන්..තැන්ක් යූ..බායි..."

  

                                                                * * * * * * * *

දුරකථන ඇමතුම විසන්ධි කර දැමූ මායා කරමින් සිටි වැඩය නවතා දමා බිත්ති ඔරලෝසුව දෙස නෙත් හෙලුවාය. මධ්‍යම රාත්‍රිය එළඹෙමින් පැවතිණි. " එකොළහටත් කිට්ටු වෙන්න ඇවිත් ... අදට මේ ඇති "  තමාටම කියාගත් ඇය හුනස්නෙන් නැඟී සිටියේ ඇඟ මැලි කඩමිනි.

ආසියාතික රාජකීය තාරකා හා අභ්‍යවකාශ විද්‍යාර්ථීන්ගේ සංගමයේ 18 වන සැසි වාරය රුසියාවේ මොස්කව් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා තව ඉතිරිව ඇත්තේ සති දෙකක පමණ කාලයක් පමණි. ඒ පිළිබඳව සිහිවන සෑමවිටම මායාගේ සිත සතුටින් පිරී ඉතිරී ගියා ය.

එයට හේතු වූයේ සමස්ත විශ්වයේම ඉතා සුලු ප්‍රමාණයකින් අඩංගු ව පවතී යැයි නිගමනය කර තිබූ " ප්‍රති පදාර්ථ" ( Anti- matter ) පිළිබඳව භෞතික විද්‍යා මෙන්ම තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ නියම ඇසුරින්  පර්‍යේෂණ කරමින් ඇය විසින් දීර්ඝ කාලයක් කළ කැපවීමේ හා මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් කාලයක් සොයාගැනීමට අතිශය අසීරු මෙන්ම  දුර්ලභ වූ ප්‍රති පදාර්ථ සාම්පලයක් ඇය ඇගේ විද්‍යාගරය තුළ අතිශය සාර්ථක ලෙස කෘතීමව නිපදවීමයි.

ප්‍රති පදාර්ථ වූ කලී ඉතාමත් වටිනා සොයාගැනීමක් වීමට හේතු කිහිපයක් පැවතියද ඉන් සිත් අදනාම කරුණ වන්නේ " කාල තරණය " සම්බන්ධ කතාන්දරයට ඈඳුණ විටය. කාල තරණය සඳහා යොදා ගැනෙන " කාල යානය" ක් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට අඩුවක්ව පැවති දේ අතුරින් පළමු තැන හිමිව තිබුණේ මේ පෙර කී ප්‍රති පදාර්ථ වලටය. ලොව ප්‍රමුඛ පෙළේ රටවල්වල අති නවීන විද්‍යාගාර පහසුකම් සහිත ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන්ට පවා මහත් ප්‍රෙහෙළිකාවක්ව තිබූ මේ හිසරදය ලංකාවේ ආධුනික තාරකාවියක් විසින් නිපදවීම පිළිබඳ පුවත ඔවුන් කෙලෙස නම් අදහා ගන්නද..?  එයට අවස්ථාවක් දැන් එළඹෙමින් පවතී.

හදිසියෙන් යමක් මතක් වූ කළෙක මෙන් සිහින් සිනාවක් ඇගේ මුවේ ඇඳී ගියේ නිමේෂයකිනි.

" DDW - 29 " ඇය මුමුණා ගත්තේ තනිවමය.  ඒ ඇය තාවකාලිකව ඇගේ නිපදවීම නම් කළ නාමය යි. එය කෙතරම් කදිම නමක් දැයි ඇය කල්පනා කරන්නට විය. එය එසේ නම් කිරීමට හේතු වූ සැබෑ කාරණය අසරණ  ලෝකයා දැනගත්තේ නම් ඇතිවන තත්ත්වය පිළිබඳ සිහි වූ ඇයට නැවතත් සිනා පහළ වූයේ ඉබේටමය.

" දසුන් දිල්ෂාන් වනසිංහ - 29 " 

ඔව්.. ඒ ඇගේ ජීවිතය වෙනස් කළ අසහාය නාමයයි.. 29 යනු ඔහු හා බැඳුණු ආදරණීයම දිනයයි. දහසක් කැපකිරීම් මධ්‍යයයේ සොයාගත් තම ජීවිතයේ කළ වටිනාම සොයාගැනීමට , තම ජීවිතයේ හරි අඩක් වන් පුද්ගලයාගේ නාමය තැබීමේ කිසිදු වරදක් ඇය දුටුවේ නැත.මෙසේ හදිසියේ සිහිපත් වූ ඒ වේදනාත්මක අතීතයට අතත් මතකය විසින් ඇගේ සිත පෑරුණු නිසාදෝ නෙත තුළට මෝදුවන්නට සැරසුණු කඳුලක් ගැන ඉව වැටුණු ඈ ඊට ඉඩක් නොතබාම ඉක්මනින් කාමරයෙන් පිටවූයේ මිදුලට බසින අටියෙනි.

අපිළිවෙල ලෙස වවා ඇති විවිධ තණකොළ වර්ගවලින් සුසැදි තණ පලස උඩින් කළුවරේම ඇවිද ආ මායා ගෙමිදුලේ කෙළවර ඇති තරමක් විශාල පොකුණ අසල වූ ලී බංකුවේ ඉඳගත්තාය. සිත එකඟ කරගැනීමට මෙන් මොහොතක් කළුවර දෙස හිස් බැල්මෙන් බලා සිටි ඈ ඊළඟට සිය නෙත් නතර කළේ තාරකා පිරුණ පැහැදිලි අහස වෙතය.පසළොස්වක පොහොය පසුවී දින ගණනක් ගතවී ඇති බැවින් සඳේ එළියෙන් සැංගී නොයාමට පින් කර ඇති දහස් ගණනක් තාරකා දඟ කරන අහසට ඇය වශීකෘත විය. ඒ සමඟම හමා ආ සිහිල් සුළං රැල්ලක් ඇගේ වත හරහා ඇදී ගියේ ගත මෙන්ම සිතද පුබුදාලමිනි.

තරු එකිනෙක දිගේ නෙත් යැවූ ඇයගේ දෙනෙත් නැවතුණේ එක් දීප්තිමත් විශාල රක්ත තාරකාවක් අබියස ය.

 " ඇන්ටාරස් ", ( Antares ) , ගෝනුස්සාගේ හදවත.." ඈ තමාටම ඇසෙන සේ මිමිණීය.

"ගෝනුස්සා කියන්නෙ විෂ පිරුණ සතෙක්. විෂ පිරුණ කෙනෙක්ගෙ හදවතත් හරියටම ගිනි දැල් ඇවිළෙන අපායක් වගේ.. ඒකයි ඇන්ටාරස් ඔච්චර රතු.."

කොහෙන්දෝ පොතකින් ඇහිඳගත් වචන පේළි දෙකක් ඇගේ දැහැන බින්ඳේය.

"කොච්චර විෂ පිරිලා තිබුණත් මං ආසම රතු තරු වලට" ඇගේ සිතින්ම පෙර තර්කයට පිළිතුරු බැන්ඳේය.

 පුංචි සන්දියේ පටන්ම තරු පිරුණ අහස ඇයට සිහින ලෝකයක් බඳු විය.රතු කහ කොළ නිල් සුදු නෙක වර්ණ වලින් දිළෙන තරු අතර ඈ මනසින් අතරමංවූ දින ගණන මෙතෙකැයි නිශ්චිතව කිව නොහැක. දවසේ සියලු කතන්දර ඈ කීවේ තරුවලටය. කුඩා කල ඇය සිතා සිටියේ ඒ තරුවල දෙවියන් ඇතැයි කියාය. හාස්‍යට කරුණ වන්නෙ විසිපස් හැවිරිදි තරුණියක් වූ පසුවද ඇය අහස දෙස බලන්නෙ කුඩා කල මෙන්ම වූ විශ්වාසයකිනි. තමා තාරකා සමඟ හෘදයාංගම ලෙස බැ‍ඳෙන සෑම මොහොතකම විශ්වයේ සිටින මනසින් දියුණු යම් ජීවින් කොට්ඨාසයක් තමන්ගේ සිතුවිලි වලට ඇහුම්කන් දෙමින් සිටිය හැකි බව ඈ දැනුදු තරයේම විශ්වාස කරයි .

ඇගේ මේ සමහර සිතුම් පැතුම් නිසාම බොහෝ විද්‍යාර්ථීන් සිතුවේ ඇය උග්‍ර මානසික රෝගයකින් පෙළෙනු ඇති බවටය.එහෙත් ඈ සතු දැනුම් සම්භාරය හා සලකන විට ඈ හා සමතැනක් ගැනීමට ඇගේ සමකාලීනයන්හට පුලුවන් වේද යන්න ගැටලුවකි 

"මායා.."

ඇය තිගැස්සුණාය.. මේ අවේලාවෙ කවුද..? ඈ නැඟී සිටින්නට සැරසුණේ හඬ ආ දෙසට හැරෙමින්මය...

 

#####################

 

Top